ඔව්, ඔබ තුළ ඊර්ෂ්‍යාව පහළ වී නැති බව මට පෙනෙනවා. එයට හේතුව ඔබ කිසිවකුට ආලය නොකළ බවයි. එහෙත් පරිස්සම් වන්න. යම් කිසිදිනෙක දී ඔබත් ඔය ආලය නැමැති චණ්ඩ මාරුතයට අසුවන්නට පුළුවනි. මගේ වචන මතක තබා ගන්න. එදින හෙවත් එවිට ඔබගේ ජීවිත යානය ආලය නමැති චණ්ඩ මාරුතයා ගේ වේගයට අසුවෙයි.
කල්පනාකාරීව යානය නො පැදැවුවහොත් ඒ යාත්‍රාව ගල්පරවල හැපී බිඳී සුනු විසුනු වී යනු නියතයි. කල්පනාකාරී වුවහොත් යම්කිසි කරුණාවන්ත ස්වමියකු ඔබට ආධාර වී ඔබ ඒ බලවේගයෙන් බේරාගෙන නරන්තරයෙන් ම ඔබ සැපවත් කරනවා ඇත. මේ නිවෙස, තෝර්න්ෆීල්ඩ් පියෙස මා ප්‍රිය නොකරන තැනක්, මා තුච්ඡ කරන තැනක්, මට අපායක් බඳු තැනක්, එහෙත් මේ දවස මට ප්‍රියයි. අර පෙනෙන අහස මට ප්‍රියයි. මෙහි වන නිශ්චලත්වය මට ප්‍රියයි. අවසාන වශයෙන් තෝර්න්ෆීල්ඩ් පියෙස මට දැන් ප්‍රිය තැනක් මෙන් මට පෙනෙනවා මම නිශ්චල ව අසා ගතිමි. ( ජේන් අයර්)
මට මතකයි මම Convent එකේ ඉගෙන ගත්ත පුංචි කාලයේ හරිම ආසාවෙන් ජේන් අයර් කියෙව්වා. ඊට හුඟ කාලයකට පස්සේ මම ආයෙත් ජේන් අයර් කියවන්න ගත්තා.
ඒ ජේන් අයර්ගේ මතකයත් එක්ක මගේ හිත නැවතුණේ ජීවිතයට ආයුබෝවන් කියන පොත ළඟ. ඉතා මෑත කාලයේ මම කියවපු පොත් අතුරින් හිතට හුඟාක් සංවේදීව දැනුණු පොතක් තමා ජීවිතයට ආයුබෝවන් කියන්නේ.
මරණය අඬගසද්දී ඇය හොයන්නේ ජීවිතය. ඇය දෙවියන්ගෙන් නෙවෙයි තමන්ගේ ආත්මයට කතා කර කර ඉල්ලන්නේ ජීවිතය. මාරාන්තික රෝගයක් විසින් ඇගේ සියලු ශක්තීන් ගිලගන්නට උත්සාහ කරද්දී ඇය උත්සාහ දරන්නේ අපරාජිතයෙක් වෙන්න. නොවැටී ඉන්න. නොහඬා ඉන්න. ප්‍රාණය නිරුද්ධ වන අවසන් තත්ත්පරය දක්වා ජීවිතය සපුරාගන්න.
පසුගිය සතියක විතර කාලයේදී අපි ජීවත් වෙන රටේ තරුණ ජීවිත ගණනාවක් කෝච්චියෙන් මරණය ඉල්ලගෙන ගියේ රේල්පීලි උඩ බෙල්ල තියලා. මරණය හොයාගෙන යන්න ලේසියි. ඒත් ඒ විදිහට මරණය හොයාගෙන යන්නෙ පරාජිතයෝ. ඇයි අපට ජීවිතය වද දෙන්න වද දෙන්න ජීවිතය ජීවිතයෙන් ජීවිතය උදුර ගන්න උදුර ගන්න ජීවිතය ළග අපරාජිතයෙක් වෙන්න බැරි. ඇයි අන්තිම හුස්ම තෙක් ජීවිතයට ආදරය කරන්න බැරි.
ප්‍රශ්නවලට මුහුණ දෙන්න මුහුණ දෙන්න ප්‍රශ්නත් එක්ක හැප්පෙන්න හැප්පෙන්න දැවැන්ත ආත්ම ශක්තියක් හිත තුළ ගොඩනැගෙනවා. ජීවිතය කොතනකින් හරි හොයාගෙන දුවිලි විදිහට විසිරිච්ච ඒ ජීවිතය මහා කඳු ශිඛරයක ඉහළින්ම ඔසවලා තියන්න ඔයාට හිතිලා නැද්ද? අර වින්ද හැම දුකක්ම සරුංගලයක් වගේ නූල අතහැරලා අහස කියන අතීතයට නිදහස් කරලා හුඟක් සැහැල්ලුවෙන් ජීවිතය දිනාගන්න අන්න එදාට අපිට පුළුවන්.
මේ ඊයේ පෙරේදා දවසක කාලෙකට පස්සේ මම සිංහල නවකතාවක් කියෙව්වා. ඒ නවකතාවේ නම සඛී භාර්යා. ප්‍රේම් දිසානායකගේ ෆාස්ට් ෆබ්ලිෂිං සුරස පොතක්. මට හිතුණා ජීවිතයට ආයුබෝවන් තුළදී මුණගැසුණ ධෛර්යවන්ත ගැහැනිය වගේම තවත් ගැහැනියක් සඛී භාර්යා තුළදිත් මට මුණගැසුනා කියලා. හුඟක් ගැහැනුන්ට ජීවිතය වැරදෙන්නේ ජීවිතය හොයාගෙන යද්දී නෙවෙයි. ආදරය සොයාගෙන යද්දී. ජීවිතය මුණගැසෙන හැම තැනකදීම ආදරය මුණගැසෙන්නේ නෑ. අපි අඬලා ඉවරයි කියලා අපි කාටවත් කියන්න බෑ. කඳුළ කියන්නේ අනපේක්ෂිතයක්. මේ මොහොතේ මඟහැරලා ඊළඟ මොහොතේ යළි මුණගැහෙන්න පුළුවන්. ඒත් ඒ කඳුළ ආත්මය බවට පරිවර්තනය කරගන්න එපා. හැම මොහොතකම ඒ කඳුළු ජීවිතය අස්සේ හංඟලා තියන්න. ආත්මගත සැහැල්ලුවක් හදවතේ ගැඹුරින්ම ඉල්ලපු තත්ත්පරයකදී විතරක් ඔයා ඔයත් එක්කම අඬන්න. ඔයා ඔයත් එක්කම කතා කරන්න.
ඔබ රෝගිනියක් වෙන්න පුළුවන්. ආදරය ජීවිතය අත්හැරපු හුදකලා ගැහැනියක් වෙන්න පුළුවන්. ඔයා ළඟ හීන නැතිවෙන්න පුළුවන්. ඔයාට කාත් කවුරුවත් නැති වෙන්න පුළුවන්. ඒත් ඔයාට ඔයා නැතිවෙන දවසක් වෙනකම් ජීවිතය අත්හරින්න එපා. සියලු පරාජයන්, අහිමිවීම්, අත්හැරීම් අතරේ ජීවිතය හරි සුන්දරයි. අමතක කරන්න එපා. කටු අත්තක වුණත් මලක් පිපෙන්න පුළුවන් දවසක් එන්න පුළුවන්.
Sanju