2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

ආදරය දැනෙද්දී ම​ගේ ඇස් දෙකට කඳුළු එනවා - Ishan Mendis

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 36

ආදරය කියන දේ ඔයාට දැනෙන විදිය කියන්න. ආදරයට නිර්වචනයක් දෙන්න?
මට දැනෙන විදියට ආදරය කියලා කියන්නෙ අත්හැරීමයි. නීති රීති දාලා, කොටු කරලා, හිර කරලා, තියාගන්න එක ආදරය නෙවෙයි. ඒක තව කෙනෙකුට කරදරයක්, හිරිහැරයක්. ඒ හිරවීමත් එක්ක පනින්න තියෙන, යන්න තියෙන, තැන්වලින් යන්න උත්සාහ ගන්නවා. ඒක හරියට හිර කූඩුවේ ඉන්න කෙනෙක් එළියට යන්න උත්සාහ කරනවා වගේ දෙයක්. අත්හැරලා නිදහසේ තිබියදී ආදරයක් තියෙනවා නම් ඒ කෙනා කැමැත්තෙන් නතර වෙනවා. එතැන තමයි සැබෑ ආදරය කියන දේ තියෙන්නෙ.

ආදරය නිසා ජීවිතයට ලැබුණු ජයග්‍රහණ හා වටිනාම දේවල් මොනවාද?
ආදරයේදී ආදරය හිමිවීම වගේම ආදරය අහිමිවීමත් ආදරයම තමයි. මගේ ජීවිතයේ දැන් මේ ඉන්න සාර්ථක කෙනා ගොඩනැගෙන්න මට අහිමිවුණු ආදරය වගේම හිමිවුණු ආදරයත් හේතු වුණා. මගේ ජීවිතේ මම බලාපොරොත්තු වුණු ඉලක්ක හැම දෙයක්ම අද වෙද්දි සපුරාගෙන ඉවරයි. දැන් තියෙන එකම බලාපොරොත්තුව තුන්වේල කාලා සතුටින් සාමාන්‍ය මනුස්සයෙක් විදියට ජීවත් වීම විතරයි. අද වෙද්දි මට ලොකු ඉලක්ක නැහැ. මම මගේ ඉලක්ක සැබෑ කරගෙන ඉවරයි. මගේ මේ ඉලක්කවලට එන්න පළමු දේ වුණෙත් ආදරයම තමයි. ලැබුණු ආදරයත් එක්ක සමහර දේවල් මම ජයගෙන තියෙනවා. නොලැබුණු ආදරයන්ගෙන් යම් හයියක් ලැබිලා එයාට පේන්න, එයාට දැනෙන්න, හරි හිතලා මම මගේ ඉලක්කවලට ගිහින් තියෙනවා.

ආදරය නිසා ජීවිතයට ලැබුණු රිදුම් අහිමිවීම්?
ජීවිතේ මට අද වෙද්දි එක රිදුමයි හිතේ තියෙන්නෙ. අනිත් දේවල් අනිත් අයට රිදුණු තැන් තමයි තිබිලා තියෙන්නෙ. මට ප්‍රේම සම්බන්ධතා කිහිපයක්ම තිබිලා තියෙනවා. ඒ අතරින් එක ප්‍රේම සම්බන්ධයක් මගේ ජීවිතය සෑහෙන්න වෙනස් කළා. ඒක මගේ ජීවිතයේ අලු‍ත් පිටුවක් පෙරළුවා. ඒක ජීවිතය සෑහෙන්න කඩා වැටුණු, ජීවිතේ තනියම නැගිටින්න උදව් කරපු ප්‍රේම සම්බන්ධතාවයක්. ඒක මම රැවටුණු ප්‍රේමයක්. මම සැබෑ ප්‍රේමයක් නතර කරලා තමයි ඒ ආදරය පටන් ගත්තෙ. හැබැයි මම රැවටුණා. ඒකෙන් මම සෑහෙන කාලයක් කඩා වැටුණා. මම වසර ගණනාවක් ඒ වෙනුවෙන් දුක් වින්දා.

ආදරය නිසා රිදෙන තැන් දරාගන්න හොඳම විදිහ?
ආදරය නිසා රිදෙන තැන් දරාගන්න හොඳම විදිහ ඉගෙන ගත්තෙත් ඒ රැවටුණු ප්‍රේමයෙන්ම තමයි. මම ඒ හිත හදාගන්න මාව පුහුණු කළා. මම කාත් කවුරුවත් නැතුව ඒ ප්‍රේමයෙන් රැවටුණු වෙලාවෙ ඇති තරම් මත්පැන් පානය කළා. ඒකට මම ඇබ්බැහි වුණා. ඒකෙන් මම විනාශයටම යන බව මටම තේරුණා. ඒ එක තැනකදි මම මටම කතා කරන්න ඕනෑ කියලා තේරුම් ගත්තා. ඒ නිසා මම මගේ හදවතට තනියම කතා කරන්න පටන් ගත්තා. “ඔයා වෙන කෙනෙක් වෙනුවෙන් දුක් වෙන්න එපා. ඔයා මගෙන් අයින් වෙලා වෙන කෙනෙක් ළඟට ගිහින් තියෙන්නෙ. ඔයාට එහෙම යන්න බැහැ. මගේ ළඟම ඉන්න ඕනෑ. මාත් එක්කම දවසක මැරෙන්න ඕනෑ”‍ කියලා මගේ හදවතට මම කිව්වා. එහෙම උත්සාහ කරලා අමාරුවෙන් මම මගේ හිත නැවතත් මගේ ළඟට අරගෙන මටම ආදරය කරන්න පටන් ගත්තා.

‘සෙක්ස්’ හා ‘ලව්’ අතර වෙනස ඔයා දකින්නෙ කොහොමද?
‘සෙක්ස්’ කියන්නෙ අවශ්‍යතාවයක්. ‘ලව්’ කියන්නෙ හැඟීමක්. හැබැයි ‘සෙක්ස්’ කරන්න ‘ලව්’ ඕනෑ. ‘ලව්’ කරද්දිත් ‘සෙක්ස්’ ඕනෑ. හැබැයි මේක සියයට සියයක් අවශ්‍ය වෙන්නෙ නැහැ. ‘සෙක්ස්’ කියන්නෙ මිනිසුන්ගේ ජානවලින් එන අවශ්‍යතාවයක්. ඒ අවශ්‍යතාවය සුන්දර වෙන්නෙ ආදරය කියන දේ එකතු වුණාමයි.

ආයෙත් බලන්න ආසා හිතුණු ආදරණීය චිත්‍රපටයක් තියෙනවද?
මම ආසාවෙන් අදටත් බලන චිත්‍රපටයක් තමයි ‘ටයිටැනික්’ සිනමා පටය. මම ඒකට තාමත් ආසයි. කොච්චර බැලු‍වත් ඒ චිත්‍රපටය මට එපා වෙන්නෙ නැහැ. මේ වෙද්දි මම ඒක ගණන් කරන්න බැරි තරම් වතාවක් බලලා තියෙනවා. ‘ටයිටැනික්’ චිත්‍රපටය මුලින්ම බලද්දි ඒ රූප රාමු ගැන මට තේරුමක් තිබුණේ නැහැ. චිත්‍රපටය බලලා පුදුම දුකක් ඇතිවුණා. අද බලද්දි මම ඒ චිත්‍රපටය හදපු රූප රාමු ගැන බලනවා. තාක්ෂණය පැත්ත ගැන බලනවා. ඇත්තටම ඒක ලස්සන සිනමා පටයක්.

ආයෙ ආයෙත් අහන, නිතරම අහන්න කැමති ආදරණීය ගීතය?
මම එක ගීතයකට හරි කැමතියි. හැබැයි ඒ ගීතය මගේ ජීවිතයට සම්බන්ධ නැහැ. ඒ අමරසිරි පීරිස් මහතා ගායනා කරන ගීතයක්.

උන්නු දා පෙර
අතපොවන්නට බැරි දුකින්
නින්ද මට නැති
දවස් තිබුණද කොයි තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

විරුද්ධ පාර්ශ්වයකට මුලින්ම ආදරයක් ඇතිවෙද්දි වයස කීයද? ඒ ආදරය මොන වගේ හැඟීමක්ද?
ඇත්තම කියන්නද? “ඔයා තමයි මම කවදා හරි කසාද බඳින්නෙ”‍ කියලා මම කියද්දි මම පහ වසර ඉගෙන ගන්නවා. ඒ ළමයා හරි ලස්සන, හොඳට ඉගෙන ගන්න ගැහැනු ළමයෙක්. මට කසාදයක් ගැන කිසිම තේරුමක් තිබුණේ නැහැ. හැබැයි ඒ ගැහැනු ළමයා ගැන මට මොකක්දෝ ආදරයක් ඇතිවුණා. ඔය අතරේ පස්සෙන් ගිහින් ආදරය කරන්න පටන් ගත්තෙ නවය වසර ඉගෙන ගනිද්දියි.

අදටත් තිබුණා නම් හොඳයි කියලා හිතෙන අහිමිවුණු ආදරයක් තියෙනවද?
එහෙම ආදරයක් නැහැ. අහිමිවුණු කිසිම දෙයක් දෙවැනි වතාවට තිබුණා නම් හොඳයි කියලා හිතුණු අවස්ථා නැහැ. මුලදී මම කිව්ව අහිමිවුණු ආදරය ආයෙමත් මට හිමිවුණා නම් හොඳයි කියලා ඒ දවස්වල නම් හිතිලා තියෙනවා. හැබැයි ඊට පස්සෙ මට ලැබුණු ආදරයත් එක්ක ඒ ලැබුණු ආදරය හොඳයි කියලා හිතුණා. ඒ නිසා කිසිමදාක ආයෙමත් බලන්න, කතා කරන්න, ආදරය කරන්න අහිමිවුණු ආදරයක් නැහැ.

ජීවිතයට වැඩියෙන්ම ආදරය දැනෙන තැන්වලදි ඔයා ඒකට ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද?
මම ඒවාට ප්‍රතිචාර දක්වන්නෙ කඳුළුවලින්. මට ආදරය දැනෙද්දි මගේ ඇස්වලට කඳුළු එකතු වෙනවා. වචනවලින් කියාගන්න බැරි හැඟීමක් ඒ කඳුළු අස්සෙ තියෙනවා.

ආදරේදී ලැබුණු වටිනාම තෑග්ග?
එහෙම තෑගි කිහිපයක්ම තියෙනවා. ඒ කාලේ මගේ පෙම්වතිය, ඒ වගේම මගේ බිරිඳ එයාට පුළුවන් විදියට සල්ලි එකතු කරලා මට දීපු පුංචි තෑග්ගක් වුණත් මට හරි වටිනවා.

ආදරය ඕනෑ කියලා වැඩියෙන්ම දැනුණු තැනක් තියෙනවද?
සමහර වෙලාවට බිරිඳ එක්ක පුංචි හිත් රිදීමක් ඇතිවෙලා මම දවස් ගාණක් කතා නොකර ඉඳිද්දි, එයත් මාත් එක්ක කතා නොකර ඉඳිද්දි ටික දවසකින් මට එයාගේ ආදරය ඕනෑ කියලා හිතෙනවා. ඊට පස්සේ මම ඉක්මනට එයා එක්ක කතා කරනවා.

ආදරය නිසා හිත රිදවන අයට වෛර නොකර ඉන්න කෙනෙකුට පුරුදු කරගන්න හොඳම විදිහ?
ආදරේදී අනිත් කෙනා ළඟ තියෙන හොඳ ටික ගැන හිතුවාම ඒ කෙනාට කවදාවත් වෛර කරන්න හිතෙන්නෙ නැහැ.

ආදරේදී සංසාරගත බැඳීම් විශ්වාස කරනවද?
ඔව්... එහෙම බැඳීම් ඇතිවෙලා තියෙනවා. කවදා හරි දාලා නොයා නතර වෙන්න හිතෙන්නෙත් ඒ සංසාරගත බැඳීම් නිසා වෙන්න ඇති.

• දිශානි ජයමාලි