“ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත” යන වැකිය මුසාවක් කළ ඔහු, විටෙක අතිදක්ෂ රංගවේදියෙකි. තවත් විටෙක හඬකැවීම් ශිල්පියෙකි. තවත් අවස්ථාවක කැමරාව දෝත දරාගත් දක්ෂ ඡායාරූප ශිල්පියෙකි. අද වනවිට තම සුමියුරු හඬ පෞරුෂයෙන් රසික හදවත් වසඟයට ගත් ලක්ෂ්මන් කුමාරතුංගයන් දශක ගණනාවක් පුරා තම අනන්‍යතාවය තහවුරු කළ කලා ලොව දීප්තිමත් තාරකාවකි. ඔහු හදසර අපත් සමඟ සිදු කළ කතාබහයි මේ.
ලක්ෂ්මන්... කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
ගායකයෙක් වශයෙන් පසුගිය කාලයේ ප්‍රසංග කිහිපයකට සහභාගි වෙමින් මම කාර්යබහුල වුණා. එළඹෙන නත්තල් සමය නිසා මේ වන විටත් මට ප්‍රසංග කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒවාට සූදානම් වෙමින් තමයි මේ දවස් ගත වෙන්නෙ.
ඔබ රංගන ක්ෂේත්‍රයට ප්‍රවේශ වෙන්නෙ කොහොමද?
වේදිකා නාට්‍ය ඔස්සේ තමයි මම රංගන ක්ෂේත්‍රයට ප්‍රවේශ වෙන්නෙ. මම රංගනයෙන් දායක වුණු පළමුවැනි වේදිකා නාට්‍ය තමයි අම්බපාලි. එතැනින් පටන් ගත්තම තොටිල්ල කැඩිලා, මාතලන්, ජූලියේ විලාපය වැනි වේදිකා නාට්‍ය ගණනාවකටම රංගනයෙන් දායක වුණා. මගේ පළමු ටෙලිනාට්‍ය තිස්ස අබේසේකර මහතා අධ්‍යක්ෂණය කළ “තුන්කල් සිහිනය”. ඉන් පසුව එතුමාම අධ්‍යක්ෂණය කළ දොළොස්මහේ ගංගාව, එකගෙයි අවුරුද්ද, පිටගම්කාරයෝ, වැනි නිර්මාණ රැසකට දායක වුණා. ඒ වගේම එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “වෙල්ල වැහුම්” ටෙලිනාට්‍යයටත් මට රංගනයෙන් දායක වෙන්න අවස්ථාවක් ලැබුණා. මන්දාරම් එළි, අවිදු අඳුර, අපූරු යාළුවෝ වැනි ටෙලිනාට්‍ය රාශියකට දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. මෑතකදී මම සහභාගි වූ අලුත්ම ටෙලිනාට්‍යයක් තමයි කුමාරසිරි අබේකෝන් අධ්‍යක්ෂණය කරන “ගව් දහසක්” කියන ටෙලි නිර්මාණය.
සිනමා නිර්මාණවලට ඔබගේ දායකත්වය ගැන සඳහන් කළොත්?
දයා විමලවීර මහතාගේ “චායා” චිත්‍රපටය ඔස්සේ තමයි මම සිනමාවට ප්‍රවේශ වුණේ. එහි උප ප්‍රධාන චරිතයකට දායක වුණා. ඉන් පසුව ඔහුගේම “රජ දරුවෝ” කියන චිත්‍රපටයේ නිවේදකයෙකුගේ චරිතයෙන් රංගනයට දායක වීමට අවස්ථාව ලැබුණා.
ඔබ වෘත්තීය ඡායාරූප ශිල්පියකු සහ හඬකැවීම් ශිල්පියකු වශයෙන්ද කටයුතු කරනවා. ඒ ගැනත් යම් සඳහනක් කළොත්?
සිරස නාලිකාවේ විකාශය වූ “ප්‍රගති” සහ “ශාන්ති” දීර්ඝ ටෙලිනාට්‍ය මාලා ඔස්සේ තමයි මම හඬකැවීම් ශිල්පියකු ලෙස කටයුතු කිරීම ආරම්භ කරන්නෙ. ඒ වගේම වෙනත් රූපවාහිනී නාලිකා කිහිපයක විකාශය වූ නිර්මාණ ගණනාවකට හඬකැවීම් ශිල්පියකු ලෙස සම්බන්ධ වුණා. වෘත්තීය ඡායාරූප ශිල්පියකු වශයෙන් මගේ භූමිකාව ආරම්භ වෙන්නෙ “අරටුව” කියන ව්‍යාපාරික පුවත්පතෙන්. එහි ප්‍රධාන ඡායාරූප ශිල්පියා ලෙස මම වසර තුනක් පමණ කටයුතු කළා. ඒ අතරතුර මගේම ඡායාරූපාගාරයකුත් ආරම්භ කිරීමට පෙළඹුණා.
ඔබ ගීත ගායනයට ප්‍රවේශ වෙන්නෙ කොහොමද?
මම කුඩා කාලයේ සිටම ගීත ගායනයට ගොඩක් කැමති කෙනෙක්. මම වැඩිපුරම ගරු කරන ආදරණීය ගායකයන් දෙදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් විජය කුමාරණතුංග මහතා. අනිත් කෙනා තමයි එච්.ආර්. ජෝතිපාල මහත්මයා. මගේ ගායනාවලට නොසිතූ ප්‍රතිචාර හිමි වුණේ කොරෝනා කාලයේ මිනිස් ඇසුරෙන් දුරස්ථව සිටි අවධියේදී. ඒ කාලේ මම ගායනා කළ ගීතයක් මගේ මුහුණුපොතට යොමු කළා. එයට ලැබුණු ප්‍රතිචාර නිසා මගේ ගීත මා මුහුණුපොතේ දිගින් දිගටම පළ කරන්න පෙළඹුණා. මේ ජනප්‍රිය බව නිසාම විවිධ උත්සව අවස්ථා සඳහා ගීත ගායනා කරන්න මට ආරාධනා ලැබුණා. මගේ හැකියාව හඳුනාගත් විශාරද ප්‍රියන්ත වීරකෝන් ඔහුගේ නව සංයුක්ත ගී තැටියට මගේ ගීත දෙකක් තෝරා ගත්තා.
ඔබගේ “සුමියුරු ගී රාවේ” ප්‍රසංග මාලාව වර්තමානයේ බොහෝ ජනප්‍රිය වුණා. ඒ ගැනත් යම් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා?
“සුමියුරු ගී රාවේ” කියන්නෙ ගායන හැකියාව තියෙන නවකයන් ඒකරාශී කරගෙන පවත්වන ප්‍රසංග මාලාවක්. එහි පළමුවැනි ප්‍රසංගය ගංගාරාමය පන්සල අසල “ගාමිණී මාතා වැඩිහිටි නිවාසයේ” පියවරුන්ගේ රසාස්වාදය වෙනුවෙන් නොමිලයේ පැවැත්වුණා. දෙවැනි ප්‍රසංගය නොවැම්බර් 14 වැනිදා කිරිවත්තුඩුවේ සණස පරිශ්‍රයේ දී පැවැත්වුණා. මේ ප්‍රසංග මාලාව ඉදිරියේ දී මසකට වරක් දිවයිනේ විවිධ ප්‍රදේශවල පවත්වමින් ගායනයට කැමති නවකයන්ට දැනුම රසාස්වාදය සහ අවස්ථා ලබා දීමට බලාපොරොත්තු වෙනවා.
පසුගිය දිනෙක ඔබගේ අලුත් ගීතයක් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. ඒ ගැන ඔබගේ අදහස මොකක්ද?
ඔක්තෝබර් මාසයේ 07 වැනිදා මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි විසින් පද රචනා කළ මගේ අලුත්ම ගීතය වන “සුදු දුව” ස්වාධීන රූපවාහිනී මාධ්‍ය හරහා විකාශනය වුණා. එහි විශේෂත්වය තමයි මගේ දියණියගේ විවාහය වෙනුවෙන් නිර්මාණය වූ ගීතයක් වීම. ඇත්තටම එම ගීතය හරිම ලස්සන ගීතයක්. තමන්ගේ දියණියගේ විවාහ මංගල්‍ය උත්සවයේදී පියා විසින් දුවට කියන ගීතයක්. හරිම රසවත් සංවේදී භාවපූර්ණ ගීතයක් වශයෙන් එය හඳුන්වා දෙන්න පුළුවන්. “සුදු දුව” ගීතයට අමතරව මගේම තවත් ගීත දෙකක් තියෙනවා. ඒව තමයි “පෙරදා පැතූ ප්‍රර්ථනා” ගීතය සහ “හැටවිය පිරුණට” ගීතය.
ප්‍රවීණ කලාවේදියෙක් වශයෙන් අලුතෙන් කලාවට සම්බන්ධ අපේ නව පරපුරට ඔබ දෙන පණිවිඩය කුමක්ද?
මම හිතනවා දැන් කලාවට සම්බන්ධ වන අලුත් පරපුර තමන් කරන දේ පිළිබඳව මනා අවබෝධයකින් සම්බන්ධ වෙනවා නම් හොඳයි කියලා. යම් හැදෑරීමකින් කලාවට සම්බන්ධ වෙනවා නම් උසස් නිර්මාණ බිහිවීමේ ඉඩකඩ වැඩි වෙනවා වගේම නවකයන් අතින් කලාවට හානිවීමේ ඉඩකඩ අඩු වෙනවා. පොදුවේ මම කියන කාරණයක් තමයි මිනිසුන් වශයෙන් අපි නිහතමානී වෙන්න ඕනෑ. ඒ වගේම නවකයන් මේ ක්ෂේත්‍රයට එනකොට ඔවුන් ප්‍රවීණයන්ට ගරු කිරීම අත්‍යවශ්‍යයි කියලා මම හිතනවා.
• සටහන - මංගලා පවිත්‍රානි