කුවේණිය...
ආඥාදායක රැවටිලිකාර පිරිමි පපුවක් අස දණ ගසාගෙන මුනිවර ප්‍රේමයක් ඉල්ලා හිඳි පළමු සහ අවසාන ගැහැනිය ඔබ නොවන වග මම ඉඳුරාම දනිමි.
කුවේණිය...
ජීවිතය දැනෙන්නේම ප්‍රේමයක් ඇති තැනක
ප්‍රේමයක් නැති තැනක් දඩඉමක් හැමදාම
හදගැස්ම නොඅසාම පයෝධර තුඩු සිඹින
පිරිමි පපුවක කොහෙද කුවේණියේ ආදරය...
පිරිසිදුම පිරිමියෙක් හමුවුණේ නෑ තවම...
අහන්න කුවේණිය...
පිරිසිදුම පිරිමියෙක් හමුවුණේ නෑ තවම...
නුඹට විතරක් නෙවෙයි තමන්ගේ සනුහුරේම ප්‍රේමය වෙනුවෙන් අමතක කරලා අත්හැරලා තමන් ආදරය කරපු පිරිමියාගේ සිරස මත රජකමේ කිරුළ පළඳවන්න ආල අනුවේදනාව වෙනුවෙන් අංශුමාත්‍රයක්වත් තමන්ට ඉතිරි කර නොගනිමින් හැමදේම තමන් පෙම් කරපු පිරිමියා වෙනුවෙන් දන් දුන්න ඒ ලේ කුස දරාගෙන ගැහැනියක් දරන අසීමිතම විලිරුදාවේ වේදනාව ඉවසාගෙන විජයගේ ලෙයින් දරු පැටවුන් දෙදෙනකුත් බිහිකර අවසානයේ තවත් ගැහැනියක් ඔහුට අවැසි වූ කල්හි සියල්ල අහිමි වූ ගැහැනියයි කුවේණිය. ඒ ගැහැනියට, ඒ රැජනට, ඒ බිරිඳට, ඒ මවට, සොඳුරු ආදරවේදයක් ලියනු වස් අක්ෂර වියමන් සෑදූ, ඒ කිවිඳියට අවසානයේ ප්‍රේමය වෙනුවෙන් ලැබුණු හිමිකම, අහිමිවීම සහ මරණයයි. කුවේණියගේ පටන් ගුස්ටාව් ප්ලෝබෙයාර්ගේ එමා බෝවාරි නවකතාවේ හුස්ම ගන්නා ප්‍රංශ ගැහැනිය දක්වා, ආදරය අංශුමාත්‍රයක් හොයාගෙන ජීවිතය පුරාම ඇවිදලා ඇවිදලා අවසානයේ මරණය තුරුල්ලට ඉල්ලා ගත්ත එමා බෝවාරි දක්වා දන්න දන්න හුඟාක් ගැහැනුන්ට පිරිසිදුම පිරිමියෙක් හමුවුණේ නෑ තවම...
ආදරය ජීවිතයම බවට පරිවර්තනය කරගන්න පුළුවන් පිරිමි පපුවක් ඉල්ලන, හඬන ගැහැනියකගේ හදගැස්ම ඇයි - ඇයි කුවේණියේ හුඟාක් පිරිමින්ට නොතේරෙන්නේ. ගන්න හුස්මක් හුස්මක් ගාණේ ආදරණීය ගැහැනියක් පිරිමි පපුවක් කණිමින් හොයන ආදරය මොකක්ද කියලා තෙතක් රැඳිච්ච හදවතකින් තේරුම් ගන්න පුළුවන්, පියයුරු තුඩු වෙනුවට පපුව අස්සේ හදවත පිරිමදින්න පුළුවන්, හදවත පිරිසිඳ ලේ නහරයක් නහරයක් නහරයක් ගාණේ ආදරය වත් කරන්න පුළුවන් එදා කුවේණියගේ ඉඳන් හැම ගැහැනියක්ම ඉල්ලුවේ සොඳුරු පුරුෂාධිපත්‍යය පිරිමිකම අස්සේ නිර්වචනය කරගන්න දන්න පිරිසිදුම පිරිමියෙක්! ඒත් හමුවුණේ නෑ තවම...
ඔයාගේ ඇස් අග්ගිස්සෙන් පොළොවට වැටිච්ච කඳුළු දහරාවක, එක කඳුළු බිංදුවක් පිහදාන්න, ඔයාගේ ළය ලෙය කැකෑරෙන ගින්දරට වතුර බිංදුවක් ඉහින්න, වියරු වැටිච්ච ආත්මයේ විලාපය, කෙඳිරිල්ල අහන්න, දඩයක්කාර පිරිමිකම ඉවසලා ඉවසලා ඉවසලා බැරිම තැන කාලි අම්මාගේ පපුවටම රිංගාගෙන යක්ෂ වේෂයෙන් දඟලන යක්ෂ ගැහැනු ආත්මයක අප්‍රමාණ රිදුනු තැන් සීරීම් ලේ තැලුම් පිළිකාවන් ගැන විමසන්න කවුරුත්ම මෙතුවක් හිටියේ නෑ කුවේණිය...
NOIR QUEEN KUWENI දිගහැරෙන්නේ ඒ සියල්ල අස ඔබ කියවූ පිරිමියකුගේ හදවතෙහිය... ඉඳින් කුවේණිය ඔබ හා හුස්මගත් ඔබට පෙම් බැඳි හදවතෙහි අයිතිකාරිය මේ තත්ත්පරයේ මා අසය.
ඔබ කුවේණියගේ ආත්මයටම හුස්මක් දුන් ගැහැනියක්... NOIR QUEEN KUWENI හා මා හුස්මගත් මොහොතේ පටන් මට හිතෙන්නේ එහෙම... නිරංජනී ඔබ කුවේණිය කියවන්නේ කොහොමද?
මම ඉස්සර ඉඳන්ම කුවේණි කියන චරිතයට හරි ආසයි. මාව ළඟින් ඇසුරු කරන හැම කෙනෙක්ම ඒක දන්නවා. ලංකාවේ මිනිස්සු මේ විඳවන්නේ කුවේණිය කරපු ශාපයෙන්, කුවේණි කරපු ශාප නවය තමයි ශ්‍රී ලංකාවේ මේ මිනිස්සු මේ පොළොවේ විඳවන්නේ කියලා. ඒක මම හැමතිස්සෙම කියන කෙනෙක්. මගේ යාළුවෝ සමහර අය ඒකට හිනා වෙනවා. මගේ යාළුවෝ, මගේ පවුලේ අය, මම බඳින්න ඉන්න කෙනා වුණත් අද ඔයා කුවේණිගේ ශාප ගැන නම් කියන්න පටන් ගන්න එපා කියලා කියන වෙලාවල් තියෙනවා. කුවේණියට මම හරි ආදරෙයි. මිනිස්සු එයාට වෛර කරන හේතුවටම තමයි මම කැමති. මිනිස්සු වෛර කරන්නෙ කුවේණියට ඇය රට පාවා දුන්නා, ජාතිය පාවා දුන්නා, එහෙමනේ. ඒත් මම ඇය දකින්නේ වෙනස්ම විදිහකට. ඇගේ කුඩා වියේදී ඇයව හදන්නේ ලෝකයෙන් හංගලා. දැරිවියක කාලයේ සිටම කුවේණියට ආදරය, ස්නේහය ලැබිලා නෑ. තමන්ගේ වර්ගයා අතර වංශය තුළ ඇයට ලැබෙන්න ඕනෑ තැන ලැබිලා නෑ. එවැනි හුදෙකලාවක් තනිකමක් අත්විඳින කෙනෙක් ජීවිතයේ බලාපොරොත්තු වෙන එකම දෙය ආදරය. ඇය ගැහැනියක ලෙස තම ඇතුළු හදවතින් ආදරයක් ඉල්ලා සිටිද්දී එක්තරා අහම්බයකදී ඇය වෙතට එන්නේ විජය. කුවේණියට උප්පත්තියෙන් පියයුරු තුනක් පිහිටලා තිබිලා තියෙනවා. ඒ එක් පියයුරක් අතුරුදන් වෙන්නේ ඇය විවාහ වෙන ස්වාමියා හමුවූ විට බව ඇයට කියා තිබූ අනාවැකියක්. විජය හමුවූ මොහොතේ පටන් කුවේණියට පෑ සෙනෙහස ආදරය තුළ තිබුණේ වංචනික පරමාර්ථ මිසක් අන් කිසිවක්ම නොවේ. ඕනෑම ගැහැනියකට ඇය රැජිනක් වුණත්, කුමරියක වුණත්, ඇයගේ වංශයේ අයිතිකාරිය වුණත් ආදරයක් රැකවරණයක් අහිමිවෙන තැන ඇගේ මුළු ජීවිතයම හිස්තැනක්. ඇගේ සමස්ත ජීවිතයම ඛේදවාචකයක්. කුවේණිය ආදරය යැයි හැඟවූ, ඒත් ආදරණීය නොවූ පිරිමි පපුවක ඉපදුණු ‘ආදරය’ යන මායාකාරී හැඟීමට රැවටුණේ ඒකයි.
ආදරයක වටිනාකම, ආදරයක උවමනාව, ආදරයක අවශ්‍යතාව වැඩිපුරම දැනෙන්නේ ආදරය ලබපු ගැහැනියකට පිරිමියෙකුට නෙවෙයි. ජීවිතයේ අංශුමාත්‍රයක්වත් ආදරය නොලද ගැහැනියකට හෝ පිරිමියෙකුට. ඉතින් එවන් ගැහැනියක වූ කුවේණිය ඇය ආදරය යැයි සිතූ පිරිමි ආදරය කෙරේ බැඳී ගිය නිර්ලෝභී ලෝභකම හමුවේ ඒ ආදරය රැකගනු වස් කළ හැකි යැයි සිතූ සියල්ල කළා. ඒ ආත්ම පරිත්‍යාගය කොතෙක්ද යත් ඇයට යැයි කිසිවක්ම ඉතුරු කර නොගනිමින් ඇයට ඇයවවත් අහිමි කරගනිමින් සියල්ල ඔහු වෙත තිළිණ කළා. ප්‍රේමණීය ගැහැනියකට ප්‍රේමය කියන්නේ ජීවිතයේ අංශුමාත්‍රයක් නෙවෙයි, ජීවිතයේ සමස්තයම බව මම විශ්වාස කරනවා. ගැහැනියක් පිරිමියකුගේ ආදරය වෙනුවෙන් විතරක් නෙවෙයි මව්පිය සහෝදර ආදරයේ පටන් ලෝකයටම ආදරය කිරීමේ සිද්ධාන්තය දක්වා ළය ලෙයටම දැනෙන හැඟීමකින් කැක්කුමකින් ආදරය වෙනුවෙන් කළ හැකි සියල්ල කරනවා. සියයට අනූනවයයි දශම නවයක් ගැහැනුන් ආදරය කියන මනෝභාවයට, හැඟීමට, සංකල්පයට හරි ලෝභයි. ඉතින් මම පුංචි දැරිවියක කාලේ ඉඳන්ම කුවේණියට ආදරෙයි. මම කවදාවත් ඇයව වැරදියට දැක්කෙවත් මතු මතු දකින්නෙවත් නෑ.
ඇයි ඔබ ඒ තරම් ආදරයෙන් කුවේණිය කියෙව්වේ?
අදටත් මම දන්නෑ මට කුවේණියව ඒ තරම් දැනුණේ ඇයි කියලා. මට හැමදාම කුවේණිය ගැන දැනුණේ ගෞරවයක්. මට හිතෙනවා සමහර හැඟීම් තේරුම් කරන්න තරම් අපේ ශබ්දකෝෂ දුර්වලයි කියලා. නැත්නම් ප්‍රමාණවත් මදි කියලා. හිතට දැනෙන හැඟීම් ඒ තරම් ප්‍රබල වෙන තැන් තියෙනවා. අපේ මිනිසුන්ට මේ රටට මේ ප්‍රශ්නවලින් මිදෙන්නනම්, මුදවන්නනම් කුවේණියගේ ශාප නැති කරන්න බලවේගයක් කොතැනක නිර්මාණය වෙයිද කියලා මම දන්නෙ නෑ. මම විශ්වාස කරනවා කුවේණියගේ ශාපයෙන් අපේ රටට සහ මානව සංහතියට මිදෙන්නට හැකි වූ දාට සියල්ල යහපත් වෙයි කියලා. මේ සමාජයේ හුඟාක් කුවේණිලා ඉන්නවා තමන් ආදරය කරන පිරිමියා වෙනුවෙන් තමන්ගේ ප්‍රාණය වුණත් දන් දෙන්න පේවෙච්ච කුවේණිලා ඕනෑ තරම් මේ සමාජයේ ඉන්නවා. මම කතා කරන්නේ මගේ රට ගැන. මම විශ්වාස කරනවා මේ රටේ පිරිමින්ට ගැහැනුන්ට අවංකවම ඇත්තටම ආදරය කරන්න පුළුවන් නම් කුවේණියගේ ශාපයෙන් යම් තරමකට හෝ මිදෙන්න මේ රටට පුළුවන් වෙයි කියලා. මේ රටේ වංචනික නායකත්වයන් බිහිවෙන බව, වසංගත රෝගවලින් පෙළෙන බව, මුහුදු වතුරෙන් මේ රට ගිලෙන බව, නීතියක් සදාචාරයක් නැති මිනිසුන් බිහිවෙන බව, පවුල් සංස්කෘතිය බිඳී යන බව ඒ ශාපයේ තියෙනවා. කුවේණියගේ ශාප නවයේ තියෙන්නේ එවන් අනර්තර්ගතයන්. මම කුවේණියගේ වචන සහ ඇගේ ශාපය විශ්වාස කරනවා. තත්ත්පරයක් ගාණේ මම ඒ සියල්ල විශ්වාස කරනවා.
ඒ තරම්ම ආත්මීය ආලයකින් කුවේණිය කෙරේ බැඳී ගිය ඔබටම චන්දන වික්‍රමසිංහ නර්තනාචාර්යවරයා කතා කරනවා කළු රැජින (NOIR QUEEN KUWENI) ඔස්සේ ඔබට කුවේණිය හා හුස්ම ගන්න. ඒ මොහොත කොහොමද නිරංජනී ඔබට දැනුණේ?
මට එකපාරටම හිතුණා කුවේණිය හා හුස්මක් ගන්න මා ලද ඒ වරම මට කුවේණියගෙන් ලැබුණු අවසරයක්ද කියලා. මම දන්නෙ නෑ සමහර අය සමහර තැන්වලදී හිතනවද කියලා නිරංජනී එක්තරා උමතුවකින් කියලා. ඒත් මම හිතන විදිහ, මම ජීවිතය දකින විදිහ අමුතුයි. වෙනස්. මම හැමදාම හිතන දෙයක් තමයි ඉතිහාසගත වූ චරිත හරියට කරන්නනම් ඒ චරිතවලට නිවැරදි සාධාරණයක් කරනවනම් ඒ චරිත නිවැරදිව ප්‍රතිනිර්මාණය කරනවනම් ඒ චරිතය විසින්ම තමයි එයට අවසරය ලැබෙන්නේ. චන්දන සර් ලංකාවේ මෙච්චර නිළියන් ඉද්දි මටම කුවේණියට හුස්ම දෙන්න කතා කළේ ඒ නිසා වග මම විශ්වාස කරනවා. මම ඒ මොහොතේම හිතුවා ඈ කෙරේ මේ සියලු හැඟීම් චන්දන සර් මට බාර කළ අභියෝගය ඔස්සේම ඔප්පු කර පෙන්වන්න. රංගනය තුළ භාව ප්‍රකාශනය ප්‍රබල සහ ප්‍රාණවත් කරන්න ජවසම්පන්න කරන්න පුළුවන් වචනවලට වැඩිය. 2020 තමයි කළු රැජින පටන් ගත්තේ. ඒත් කොරෝනා වසංගතය නිසා ඒ ප්‍රයත්නය මඟහැරුණා. මම හිතුවා මට කුවේණිය වෙන්න වාසනාවක් නැතුව ඇති කියලා. මේ චරිතය කරන්න මට අවසර නැතුව ඇති කියලා. මම එහෙම හිතලා තමයි හිත හදාගත්තෙ. නැවත 2024 වසරේ සර් කතා කරලා නිරංජනී අපි කුවේණි කරනවා කීවා. අවුරුදු හතරක් ගිහිල්ලත් චන්දන සර්ගේ මනසේ මම කුවේණිය නොවීමේ සිතුවිල්ලක් පහල නොවීම ගැන මේ මොහොතේත් මම සර්ට ස්තූති කරනවා. ඒක මට ආශ්චර්යයක් වගේ.
ඔබ ස්වභාවධර්මය සහ එහි තීරණ විශ්වාස කරනවද?
ඔව්... මම මේ ස්වභාවධර්මය සහ එහි තීරණ දැඩිව විශ්වාස කරනවා. අනිත් එක මම විශ්වාස කරනවා මේ පොළොවටම කියලා දෛවයක් පවතින බව. මේ භූමිය පාදකව සිදුවන සියල්ල සිදුවන්නේ ඒ දෛවය අනුව වග මම විශ්වාස කරනවා. මට හිතෙනවා මගේ කාලයත් මේ පොළොවේ කාලයත් සමගාමීව උදා වුණා. කුවේණිය නව ආත්ම කථනයක්, නව අර්ථකථනයක්, නව නිර්වචනයක් තුළින් උපද්දවන්න මොහොත ආවා කියලා. ඉතින් මා කුවේණිය බවට පත් කිරීම මා ලද ආශිර්වාදයක්.
කුවේණියට මෙතුවක් සහ මින් මතුවටත් පෙම් කළ හා පෙම් කරන ඔබට වේදිකාවට පය තබන්න පෙර තත්ත්පරයේත් කුවේණිය සිහිපත් වුණාද?
මම කුවේණිය පටන් ගන්න ඉස්සර වේදිකාවේ පසෙකට ගිහින් යාච්ඥා කළා. පළමුව මම අදහන දෙවියන් වහන්සේට සහ දෙවනුව කුවේණියට මම යාච්ඥා කළා. මම කීවා මම මේ කරන්නේ ඔබතුමියගේ චරිතය. මගේ අතින් වැරදි වෙන්න පුළුවන්. අපි සමහර විට ඔබතුමියගේ ඇත්ත ජීවිතය නොපෙන්වන්න පුළුවන්. හැබැයි මම ඔයා වෙනුවෙන් අද මේ ප්‍රේක්ෂකාගාරයේ ඇස්වලින් කඳුළක් ගන්නවා. ඒ කඳුළ තමයි මම ඔයාට දෙන ආදරය ගෞරවය හා තෑග්ග කියලා. මහාවංශයේ ඉඳන් කොන් කරපු, පහත් කරපු, අත්හැර දමපු අනාදරණීය කරපු ඔබට මම එක කඳුළකින් හරි සාධාරණය ඉටු කරනවා එය කරන්න මට ධෛර්ය දෙන්න කියලා මම කුවේණියට යාච්ඥා කළා.
ඒ හිතුවිල්ලත් එක්ක වේදිකාවට පය තබපු නිසාද ඔබ කුවේණිය වෙනුවෙන් රඟපාන බවක් නෙවෙයි, හුස්මක් ගන්න බවක් මට දැනුණේ?
ඔව්... මට හරි අමුතු හයියක් ඇඟට ආවා. හිතට ආවා. උදේ ඉඳන් මහන්සි වෙලා පුහුණුවීම් කරලා හිටියත් වේදිකාවට නගිද්දි පුදුම ප්‍රාණයක් ආවා. චන්දන සර්ගේ බලසම්පන්න මෙහෙයවීමෙන් මම කුවේණියට පණ දුන්නා.
අවසානයේ ඔබ ඇඬුවා නෙවෙයි ඔබට ඇඬුණා. ඒ කඳුළ කොයි තරම් බරද? වර්ණවත්ද? කියලා නිර්වචනය කරන්න පුළුවන්ද?
විශ්වාස කරන්න වේදිකාවේදි විතරක් නෙවෙයි, හැම පුහුණුවීමක් අවසානයේදීත් මම ඇඬුවා. ඇඬුවා නෙවෙයි ඔබ කියූ විදිහටම මට ඇඬුණා. ඒ පුහුණුවීම් බලාගෙන හිටපු හුඟාක් අයගේ ඇස්වලටත් කඳුළු ආවා. කුවේණිය මැරිලා වැටෙද්දි හුඟාක් ඇස්වලට කඳුළු ආවා.
වසර සිය දහස් ගණනක් මුළුල්ලේ ආදරයක් නොලද ගැහැනියකගේ කිසිවකු විසින් සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද යන ප්‍රේමණීය හැඟීමකින් නොකියවූ ගැහැනියක වූ කුවේණිය වෙනුවෙන් මුල් වරට ආදරයේ හා මනුෂ්‍යත්වයේ නාමයෙන් ගලා ගිය පළමු කඳුළ ඒ වග මම හිතනවා... මට දැනෙනවා.. නිරංජනී ඔබට?
ඒ කඳුළ දනවන්න හිටපු කෙනා මම, ඒ කඳුළ උපද්දවන්න මඟ හදපු කෙනා චන්දන සර් කියලා මටත් දැනෙනවා. මෙච්චර කාලෙකට කුවේණිය කුවේණිය විදිහටම දැනුණෙ නෑ. ආදරය වෙනුවෙන් තමන් සන්තක සියල්ල පරිත්‍යාග කළ අවසානයේ ඒ සියල්ල වෙනුවෙන් මරණය හැර කිසිත් නොලද ගැහැනියකගේ ආත්මීය වේදනාවේ විලාපය, ගින්දර, කෑගැහිල්ල, කෙඳිරිල්ල සහ නිහඬත්වය, මේ සියල්ල පළමු වරට හඳුනාගත් පිරිමියා චන්දන සර් කියලා මට හිතෙනවා. ප්‍රේමය දරා ගැනීමට අසීරු ලෙස බිඳුණු තැන බිඳවපු තැන ඇතිවන වේදනාව සහ ඒ වේදනාවන් විසින් ජනිත කරන සියලු පිළිබිඹුවන් අතිශය සාධාරණ වග තේරුම්ගත් පළමු පිරිමියා චන්දන වික්‍රමසිංහ සර් කියලා මට හිතෙනවා. ලෝකයට නොදැනුණු කුවේණිය මා තුළින් එළියට ගත් ගෞරවය චන්දන සර්ට හිමිවෙනවා. ඒ කුවේණිය වෙනුවෙන් මා ලද ඇගයීම් ප්‍රශංසා, සංවේදී ප්‍රකාශන, කඳුළු ඇස් ගැන ඇසූ කතා බොහෝමයි.
කුවේණියට ඔබව තේරීමට හේතුව චන්දන වික්‍රමසිංහ නර්තනාචාර්යතුමා ඔබට කීවාද?
කුවේණියගේ බර දරන්න බෑ හයියක් නැති නිළියකට. හයිය ගැහැනියකට විතරයි මේක කරන්න පුළුවන් කියලා චන්දන සර් කීවා. මට ඕනෑ හයිය ගෑනියෙක් කියන එක තමයි සර් කීවේ.
ඔබ විශ්වාස කරනවද මරණය මරණයෙන් කෙළවර නොවන බව, මිනිසුන් මිය යන්නේ සම්මුතික මරණය තුළ පමණක් බව, මරණය තුළ මිනිසුන් නොමැරෙන බව සහ කුවේණිය තවමත් මේ විශ්වය තුළ හුස්මක් ගන්න බව?
ඔව්... මේ සොබාදහම වගේම ඒ සියල්ල මම විශ්වාස කරනවා. මේ ලෝකයේ කිසිම දෙයක් අහම්බයක් නෙවෙයි. ආවට ගියාට කිසිම දෙයක් කරන්න බෑ. මේ සොබාදහම හැමදේටම ගණන් හිලව් බලාගෙන ඉන්නෙ. අවසරයකින් තොරව කිසි දෙයක් කරන්න දෙන්නෙ නෑ මේ විශ්වය. පපුව හාරලා කුවේණියගේ ළය ලෙයට දැනුණු වේදනාව ඇදලා ගත්තෙ චන්දන සර්. ඒ වේදනාව මම මගේ ආත්මය තුළ තවරා ගත්තා. මම හුස්ම ගත්තේ ඒ වේදනාව සහ ඒ ආත්මය එක්ක. ඇගේ හුස්ම මේ විශ්වයේ තිබෙන බව මේ මොහොතේත් මට දැනෙනවා. ඒක කවුරු කොයි විදිහට නිර්වචනය කළත් මට දැනෙන දේ තමයි ඒක.
• සංජීවිකා සමරතුංග
• හසිත නිලුපුල්