ධනුෂ්ක... මුලින්ම ඔබ ගැන හැඳින්වීමක් කරමු?
තවමත් මම ඒ ප්‍රශ්නයට උත්තර හොයන ගමන් ඉන්නෙ. සරලව කිව්වොත් කලාත්මක නිර්මාණ කරන්න උත්සාහ ගන්න කෙනෙක් කියලා තමයි කියන්න වෙන්නෙ. ඒකට හේතුව යම් යම් අවධිවල, කාලවකවානුවල මම විවිධ වූ භූමිකා නියෝජනය කරන නිසා. ගී පද රචනය, අධ්‍යක්ෂණය, ඡායාරූපකරණය, සංස්කරණය, කැමරාකරණය සහ තවත් බොහෝ දෑ එකතු වුණු කලාව ඇතුළේ යම් අත්හදා බැලීම් කරන්න උත්සාහ කරන කෙනෙක් විදිහට කියන්න පුළුවන්. මම ඉපදුණේ මාතලේ සහ මූලික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වාම අධ්‍යාපනය ලැබුවෙ මාතලේ විජය විද්‍යාලයෙන්. මූලිකවම කලාවට පෙළඹවීම ලැබුණේ පාසල් වේදිකාවෙන්. වේදිකා නාට්‍ය ලියන්න, අධ්‍යක්ෂණය කරන්න වගේම වේදිකාවේ රංගන ශිල්පියෙක් වශයෙන් මූලික අඩිතාලම වැටුණේ පාසල් වේදිකාවෙන්. පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු සමඟ තාක්ෂණික දේවල් ඇතුළු සිනමාව පිළිබඳ ශාස්ත්‍රීය හැදෑරීම ලැබුවෙ කැලණිය විශ්වවිද්‍යාලයෙන්. මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කරමින් ඉන්නවා.
මේ දවස්වල ඔබගේ වැඩ කටයුතු කොහොමද?
මේ දිනවල මගේ අධ්‍යාපන කටයුතුවලට විවේක කාලයක් ලැබුණා. විශේෂයෙන් ඊළඟට කරන නිර්මාණය සඳහා පෙර නිෂ්පාදන කටයුතුවල නියැලිලා ඉන්නවා. ඒ නිසාම අලුත් ගීත රූප රචනා කිහිපයකට සූදානම් වෙමින් ඉන්නවා. චිත්‍රාල් සෝමපාල කලාවේදියාගේ “ඇහැරෙන්න” ඇල්බමයේ නිර්මාණ දායකත්වයෙන් පසු මීළඟට එළිදැක්වීමට බලාපොරොත්තු වෙන අලුත් ඇල්බමයේ වැඩ කටයුතු සමඟ ව්‍යාපෘති කිහිපයක් කරමින් ඉන්නවා. ඒ වගේම මම දන්නා දේ නවකයන්ට බෙදා දීමට ඡායාරූප වැඩමුළු හා දේශන විශ්වවිද්‍යාල කිහිපයකම පසුගිය වසරේ පැවැත්වුණා. එම වැඩසටහන්වලට සම්බන්ධ වෙමින් සතුටින් කාලය ගත කරනවා.
Reset කෙටි චිත්‍රපටය ගැන හැඳින්වීමක් කළොත්?
Reset කෙටි චිත‍්‍රපටය කියන්නෙම පර්‌යේෂණාත්මක නිර්මාණයක්. විශේෂයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේදී හමුවුණු දක්ෂයන් කණ්ඩායමක් විසින් සිදු කළ නිර්මාණයක්. සමාජය තුළ ඔබ, මම සහ අපි සියලු දෙනා අත්විඳින යථාර්ථය සහ සමාජය කියවීම අතර ගැටුම මේ තුළින් කතාබහ කරනවා. මෙහි තිර පිටපත, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය මගේ පළමු සිනමාපටය ලෙස කරන්න හැකිවීමත් ඒ සියල්ලට සම්මාන හිමිවීමත් පිළිබඳ නිහතමානී සතුටක් තියෙනවා. මෙම චිත්‍රපටයේ චරිත දෙකක් මත දිගහැරෙන කතාව සඳහා රංගනයෙන් දායක වෙන්නෙ ලක්ෂ්මන් මෙන්ඩිස් සහ මධුසංක නුවන්. යම් අවස්ථාවක්, ගැටුමක් හෝ සිද්ධියක් පිළිබඳ අර්ථකථන ගෙන එන සමාජයට යළි තමන් පිළිබඳ හෘද සාක්ෂියට කතා කළ හැකි නිර්මාණයක්. විශේෂයෙන් මෙහිදී ලක්ෂ්මන් මෙන්ඩිස් ප්‍රවීණ රංගවේදියාට ස්තූතිවන්ත වෙන්න ඕනෑ, මාව විශ්වාස කරලා මේ නිර්මාණය කරන්න බාරගැනීම ගැන. ඒ වගේම අපේ කණ්ඩායමේ සියලු දෙනාගෙන්ම ලැබුණු සහයෝගය නිසයි මේ වගේ නිර්මාණයක් කරන්න ලැබුණේ.
මේ වගේ කෙටි චිත්‍රපටයක් කරන්න හිතුවෙ ඇයි? මේකට පසුබිම් වූ කතාවක් තිබෙනවාද?
මම නිරන්තරයෙන් කුමක් හෝ යම් නිර්මාණකරණයක නියැලිලා ඉන්න කැමති කෙනෙක්. මම දැනට සේවය කරන්නෙ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. පසුගිය දිනවල විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ ඇතිවූ වැඩවර්ජනය හේතුවෙන් යළි නිර්මාණයක් කිරීමේ පෙළඹවීම ඇති කළා. ඒ කාලය තුළ කලොප්සියා සහ Reset කියන කෙටි චිත්‍රපට දෙකක් කරන්න මට හැකි වුණා. Reset චිත්‍රපටයට පසුබිම වූයේ යම් ඩිජිටල් සාක්ෂරතාවක් නොමැති පුද්ගලයකුට ඇතිවූ සිද්ධියකට මට උදව් කරන්න හැකි වුණා. ඒ සිදුවීම පිළිබඳ කාලයක් කල්පනා කරමින් ගත කරන විට ඒ හරහා ගොඩනගන්න හැකි වූ තිර පිටපත තුළින් Reset නිර්මාණය කරන්න හැකි වුණා.
පසුගිය දිනක Reset සම්මානයන්ගෙන් පිදුම් ලැබුවා. ඒ ගැනත් කතා කරමු?
ඔව්. පසුගියදා පැවති මධ්‍යම පළාත් රාජ්‍ය කෙටි නාට්‍ය හා චිත්‍රපට උළෙලේදී සම්මාන රැසක් හිමිවුණා. එහිදී හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය, හොඳම තිර පිටපත, හොඳම නළුවා, හොඳම සහාය නළුවා, හොඳම කැමරාකරණය, හොඳම නිෂ්පාදනය, ජූරියේ විශේෂ කුසලතා - සංස්කරණ සහ හොඳම කලා අධ්‍යක්ෂණය සඳහා නිර්දේශ වුණා. ඒ වගේම මේ වෙද්දී ජාත්‍යන්තර යෞවන චිත්‍රපට උළෙලේ ජාතික කාණ්ඩයේ කුසලතා සම්මානය සහ අන්තර්ජාතික වශයෙන් සිනමා උළෙල කිහිපයකට තේරී පත් වී තිබෙනවා. මම හිතන්නෙ දායක වූ සියලුම දෙනාගේ කැපවීමට ඇගයීමක් ඒ තුළින් ලැබුණා. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිනමා සහ රුපවාහිනී පිළිබඳ හැදෑරීම තුළින් විශිෂ්ට සාමාර්ථයක් සහිතව ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ රන් පදක්කම මට ලබාගන්න පුළුවන් වුණා. එම අවස්ථාවේදී මගේ හැදෑරීම් ප්‍රයෝගික තලයේ සිනමාපටයක් තුළට ගෙන එමින් සාර්ථක වීම ඇත්තම සතුටක්.
Reset කෙටි චිත්‍රපටයට අමතරව ඔබගේ අනෙකුත් නිර්මාණ ගැනත් කතා කරමු?
කලාකරුවෙක් වශයෙන් මාව දන්නා පිරිස හඳුනා ගන්නෙ ගීත රචකයෙක් විදිහට. පසුගිය කාලසීමාවේ ඒ වැඩවලින් ඈත්වෙලා හිටියා. ඉන්පසු ගිය වසරේ අවසාන කාලසීමාව තුළ ලොකු වැඩ කොටසක් කරන්න ලැබුණා. පසුගියදා ඉනෝජ් කරුණාරත්න සහ යුකී සමඟ ගීතයක් කළා. ඒ වගේම තවත් ජනප්‍රිය කලාකරුවන් කිහිප දෙනෙක් සමඟ කරපු ගීත කීපයක්ම නිකුත් වෙන්න තියෙනවා. මේ අවුරුද්දෙ ඒ ගීත සියල්ලම අහන්න පුළුවන් වේවි. ඒ වගේම ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 45 වැනි ජාතික ඡායාරූප තරගය සහ ප්‍රදර්ශනය 2024 දී ජංගම දුරකථන ඡායාරූප අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය සහ NPAS රන් සම්මානය ලබාගන්න හැකියාව ලැබුණා. ගිය වසර මම හිතන්නෙ ජයග්‍රාහී වසරක්.
අධ්‍යක්ෂවරයෙක්, ඡායාරූප ශිල්පියෙක් මෙන්ම පද රචකයෙක් ලෙස මෙතෙක් ආ ගමන් මඟ ගැන ඔබට තියෙන්නෙ මොන වගේ හැඟීමක්ද?
මම තවමත් මාව හොයනවා. මට හිතෙන විදිහට කලාව ඇතුළේ විවිධ වූ ආකෘතිවලින් නිර්මාණ විදිහට ප්‍රකාශන ඉදිරිපත් කරන එක තුළ තමයි විවිධ භූමිකා ඔස්සේ මම ප්‍රකාශන බිහි කරන්නෙ. කලාවට කිසිම සම්බන්ධයක් නැති පවුලකින් නිර්මාණවේදියෙක් වශයෙන් මේ වෙළෙඳපොළ ක්‍රමය තුළ නැගී සිටීම අමාරුයි. ඒ නිසා මට දැනෙන ප්‍රකාශනය කුමක් හෝ මාධ්‍යකින් මුදාහැරීම තුළින් මම තෘප්තිමත් වෙනවා. ඒ සඳහා ඇගයීම් ලැබෙනවාද නැද්ද යන්නට වඩා ඒ නිර්මාණ බිහි කිරීමයි වැදගත්.
ඔබගේ ජීවිතයේ සුන්දරම මතකයක් අවදි කරමු?
මම හිතන්නෙ පාසල් කාලය සුන්දරම කාලයයි. ඒ කාලය තුළ අධ්‍යාපනය වගේම විෂය බාහිර බොහෝ දේ, කලාව සහ ක්‍රීඩාව අපි හැමදෙනාම කළා. මම හිතන්නෙ ඒ නිසාම අපිට කණ්ඩායමක් විදිහට වැඩ කරන්න සහ පරාජය දරාගන්න හැකියාව ලැබුණා. අද සමාජයේ බොහෝ දෙනාගේ කාලය වැය කරන්නෙ තවත් කෙනෙක්ව පරාජිතයා කරන්න මිසක් ඉදිරියට යන්න නෙවෙයි. අපිට ලැබෙන හැම කාලයක්ම සහ අවකාශයක්ම සුන්දරයි. කාලය කොයි විදිහට බාරගන්නවද කියන තීරණය ගන්න ඕනෑ අපිමයි. කාලය තුළ වැඩ කරන්නත් ලැබෙන සන්දර්භය තුළ අත්දැකීම්, ඉගෙන ගැනීම් සහ ඒ ඔස්සේ හැඩගැහෙන්නත් අපිට පුළුවන් වෙන්න ඕනෑ. ඒ වගේම මට ලැබුණු හැම කාලයම වැදගත්. මොකද මම ඒ තුළින් මගේ ජීවිතයට හුඟාක් දේවල් උකහා ගත්තා.
ඔබ සංචාරය කරන්න ගොඩක් කැමති කෙනෙක්. ඒ ගැනත් කතා කරමු?
සංචාරය කරනවා කියන්නෙ අත්දැකීම් හා ආස්වාදයක් ලැබීමක්. අපි හැමදෙනාම කැමතියි නොලබපු අත්දැකීම් ලබන්න. ඒ අස්වාදය එකිනෙකාට වෙනස්. කෙනෙක් කෑම කන්න ආසා කරනකොට තව කෙනෙක් ක්‍රීඩාවට ඇළුම් කරන්න පුළුවන්. සංචාරය කියන දේට මම ආසා කරන්නෙ visual ලැබෙන impact එක නිසාම වෙන්න ඇති. මොකද මම යන හැමතැනකම ඡායාරූප එකතු කරන එක පුරුද්දක්. ඒ වගේ රට වටේම ගියපු තැන්වල ඡායාරූප එකතු කරලා විශ්වවිද්‍යාලය තුළ වෙනම කලාගාරයක් විදිහට හදන්න හැකි වුණා. මම දකින, අත්දකින දේ තවත් කෙනෙක් ඡායාරූපයකින් බලලා සතුටුවෙන එක ඊටත් වඩා සතුටක්. ඒ වගේ මිනිස් හැසිරීම්, ප්‍රකාශන සහ සොබාදහම, මේ හැමදේම තනියම අධ්‍යයනය කරන්න සංචාරය කරද්දි පුළුවන්. ඒ නිසාම ලැබෙන හැම ගමනකදිම, යන එන හැම තැනක්ම විඳින්න පුළුවන් වෙලා තියෙනවා.
මේ වෙනකොට කලා ක්ෂේත්‍රයට නවකයන්ගෙ දායකත්වය වැඩිපුර ලැබෙනවා. මේ ගැන ඔබේ අදහස මොන වගේද?
ඒකට හේතුව වේගයෙන් වෙනස්වෙන තාක්ෂණය හා තාක්ෂණයට හුරුවීමේ කාලය නවක තරුණයන්ට පහසු වීම. ඒක හොඳ ප්‍රවණතාවයක්. ලෝකයේ ඕනෑම ක්ෂේත්‍රයක අද වෙද්දී මේ හැසිරීම දකින්න පුළුවන්. හැබැයි තාක්ෂණය වගේම අත්දැකීම් සහ අන්තර්ගතයේ ගුණාත්මක බව ඇතුළත් නොවුණොත් අපි මේ තුළින් ඉවතට යනවා. ඒ නිසා හැදෑරීම සහ විෂය පිළිබඳ කියවීම අනිවාර්ය දෙයක්. පරම්පරා අතර කලාව පිළිබඳ විවිධ මත ගැටුම් සහ මේ වෙනස්වීම පිළිබඳ මතයන් ගොඩනැගෙන්නෙ ඒ නිසාමයි. ඒ අනුව නවක ප්‍රවීණ මේ සියලු දෙනාගෙන් එකතුව ගොඩනැගෙන නිර්මාණ සාර්ථක වෙනවා. ජේම්ස් කැමරන් ලෝක සිනමාව වෙනස් කරන්නෙ අන්න ඒ නිසාමයි.
අවසාන වශයෙන් ඔබගේ අනාගත සැලසුම් හා බලාපොරොත්තු ගැනත් කතා කරමු?
කලාත්මක චිත්‍රපටයක් කිරීම තමයි මගේ මූලික අරමුණ. මේ වෙද්දිත් ඒ පිළිබඳ යම් සැලසුම් සකස් කරමින් ඉන්නවා. ඒ වගේම මගේ අධ්‍යයන කටයුතු ඉදිරියට කරමින් වෙනස් නිර්මාණ කරමින් මම මාව හොයාගන්න උත්සාහ කරනවා.
• මංගලා පවිත්‍රානි