2025 පෙබරවාරි 08 වන සෙනසුරාදා

ආදරය දැන් මට එහෙම හැඟීමක් දෙන්නෙ නැහැ - Lakmal Darmarathna

 2025 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 53

ඇතැම්විට ලෝකය බිහිවන්නට ඇත්තේ අරුත් දිය නොහැකි දෑ, අරුත් ගන්වන්නට දැරූ උත්සාහයක එක්තරා ඵලයක් ලෙස විය හැකිය. එහෙත් තවදුරටත් භාෂාත්මකව අරුත පැහැදිලි කළ නොහැකි දෑ, මෙහි කොපමණ ඉතුරු වී ඇද්ද? ප්‍රේමය ද එවැන්නකි.

මෙය ලක්මාල් ධර්මරත්න නම් අපූරු කලාකරුවා සමඟ වූ අප සිදුකළ සංවාදය කෙළවර ඉපද මියැදුණු හැඟු‍මකි.
ප්‍රේමය නම් කිමැයි? සහෘද සංවාදයේ මෙවර සගයා බවට පත්වූයේ චලන රූ සිත්තරකු වන ලක්මාල් ධර්මරත්නය. ඔහු පිළිබඳ පොදු රසික ලෝකයට හඳුන්වා දීමට මහප්‍රාණ භාෂිත අවැසි නොවේ. ඔහු “කූඹියෝ හැදූ ලකා”‍ නම් වූ අමුතු මිනිසාය.
අපි ඔහුගෙන්ද පළමුව සුපුරුදු මංමුලා සහගත පැනය විමසාලීමු.

“ප්‍රේමය නම් වදන සවන් වැකුණුවිට, ඔබ තුළින් ඒ නමින් ජනිත වන හැඟු‍ම කුමක්ද?”
ලකා නම් වූ මේ සහෘද මිනිසා ප්‍රේමය විෂයෙහි ද ාර්ශනික අදහස් අප මත තවරාලීම ඇරඹුවේ මේ විපරීත පැනය සවන් වැකුණු ඇසිල්ලේමය.
“මට දැන් ආදරය කියන අකුරු හතරෙන් එහෙම හැඟීමක් ඇති කරවන්නෙ නැහැ. ඔය වචනය පිළිබඳ හැඟීම අයිති වෙන්නෙ අපේ අවුරුදු පහළොවෙ දහසයෙ යුගයටනෙ. දැන් ඒ ආදරය කියන වචනයට තිබුණු ග්‍රැවිටි එක වෙනස් වෙලා.”‍
අයෙක් සදාතනිකයි කියා කියන, තවඑකෙක් බරසාර වදනින් පැහැදිලි කරන්නට උත්සාහ කරන “ප්‍රේමය”‍ මෙවර අනපේක්ෂිත බර අවි ප්‍රහාරයකට ගොදුරු වූයේය.
“දැන් මම විවාහ වෙලා ආදරය කියන එක්සයිට්මන්ට් එක ඉවර වෙලා, ආදරය කරන කෙනා හැම තත්ත්පරේම හම්බවෙන කෙනෙක් බවට පත්වෙලා, එයා එක්ක ජීවිතේ බෙදාගන්න පටන් අරගෙන, දරුවො දෙන්නෙක් ඉපදිලා. එදා මම ආදරය කියලා හිතන් හිටපු එක කිසිසේත්ම ඒක නෙවෙයි කියලා පැහැදිලි වුණාට පස්සේ, ඇත්තටම ආදරය කියලා කියන්නෙ මට හරි දුර අදහසක්. මම මේ කියන්නෙ ආදරෙයි කියලා අකුරු හතර එකතු කරලා හදලා තියෙන සමාජ අර්ථය ගැන. ඒක මට හරිම දුරස්ථයි මචං.”‍
තවදුරටත් එය වචනයක් නොවන බවත්, එය ව්‍යාකූල දෙයක් බවත් ඔහු කියා සිටී. ඔහුට අනුව ඒ වදන හුදෙක් ‘අමර’ ‘සාමා’ ‘සල් මල’ වැනි තවත් වදනක්ම පමණි. සැබවින්ම එම වදනින් විශේෂිත හැඟු‍මක් තමන් තුළ ජනිත නොකරන බවට ලකා පවසනුයේ වංක නොවූ සිතිණි.

“ප්‍රේමය කියන වචනය පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. ප්‍රේමය කියලා දෙයක් දැනෙනවද? දැනෙනවනම් ඒ ගැන තියෙන හැඟීම මොකක්ද?”
ප්‍රේමය පිළිබඳ නේක සෞන්දර්යාත්මක වැනුම් ඇසූවකු කම්පිත කරවන පිළිතුරෙන් පසු, නැවතත් අප ඔහු හමුවේ තැබුවේ වැරදි පැනයකි. වැරදි පැනයකට නිවැරදි හෝ වැරදි පිළිතුරක් ලබා දිය නොහැකි නිසාම, ලකාගේ පිළිතුර තවත් අපූරු එකක් විය.
“මේ මගේ ඇත්තම උත්තර මචං. මට ප්‍රේමය කියන දේ එහෙම වෙන්කරලා ගන්න තේරෙන්නෙ නැහැ. මට ප්‍රේමය කියන්නෙ වෙන්වුණු දෙයක් නෙවෙයි. එක සමස්තයක් එක්ක පවතින පැතිරිච්ච අදහසක්. ඒ කියන්නෙ මගේ බිරිඳ චමරිට ආදරෙයිද කියලා දෙයක් නෑ ඒක ඇතුළේ. ඒක පැතිරිලා තියෙන්නෙ.”‍
ලකාගේ අදහස ද භාෂාත්මකව විග්‍රහ කරනු හැක්කක් නොවන බව අපට හැඟී ගියේ මෙම අදහස ඔහු කෙරෙන් පළවීමත් සමඟය. ඒත් මේ අපූරු කලාකරුවා පවසනුයේ, අපිට සමීප මිනිසුන් සහ විවිධ දෑ සමඟ ගනුදෙනුවේදී සුව පහසු සනීපදායක හැඟීමක් ඇතිවන බවයි.

ඒ හැඟීම එක්තරා විෂයක් මත උත්කර්ෂයට නැංවී ඉතා සුව පහසු බවක්, තමන්ට තමන් ලෙසම පැවතිය හැකි බවක්, සනීපදායක බවක් රැගෙන එන සුවිශේෂී මොහොතක් උදා කරයි. එහිදී නිර්මාණය වී සමස්තය මත පැතිර යන යමක් හෝ සමස්තයම “ප්‍රේමය”‍ විය හැකි යැයි මේ පැහැදිලි කිරීමෙන් අපට හැඟී යයි.
ලක්මාල් ධර්මරත්න නම් කලාකරුවා විසින් බිහි කරන ලද කලා කෘති විෂයෙහිද ඔහු මේ පවසන අපූරු ස්වභාවය හඳුනාගත හැකිය. ඔහුම පවසන පරිද්දෙන් ප්‍රකාශිත ප්‍රේමය වැනි දෑ, ඔහුගේ නිර්මාණ තුළ අන්තර්ගත නොවේ. ලකා නිර්මාණය කළ “කුඹියෝ”‍ ටෙලිය තුළද, ඔහුගේ නවතම සිනමා සිත්තම “වාලම්පුරි”‍ තුළ ද, ඔහු පවසන මෙම ප්‍රේමයට සම්බන්ධ වූ හැඟු‍ම් කලාපය පැතිරුණු ස්වභාවයක් ගෙන රැඳී පවතින බව අපගේ විශ්වාසයයි.
“ඒක අපේ ජීවිතෙත් එක්කම බද්ධ වෙලා. ජීවිතෙත් එක්කම ගමන් කරන යමක්.”‍
ලක්මාල් ධර්මරත්න, නිරන්තර සාම්ප්‍රදායික විශ්වාස පද්ධතීන්ගේ සීමා අතික්‍රමණය කොට, සිය චින්තනය මෙහෙයවන්නෙකි. ඔහු සමාජ මාධ්‍ය තුළ වරෙක මෙවන් සටහනක් තබා තිබුණි.
“මිනිස් ලෝකය සංකීර්ණ වී ඇත්තේ “හැසිරීම්”‍ වලින් නොව... ඒ “හැසිරීම්”‍ පිළිබඳව මිනිසාම ගොඩනගා ඇති ”‍අර්ථ දැක්වීම්”‍ වලිනි...”‍

සැබවින්ම අප උත්සාහ කරමින් සිටින්නේ “ප්‍රේමයට”‍ එවන් අර්ථ දැක්වීමක් සොයා යනු පිණිස නොවේද?
සංවාදය එක්තරා මංසන්ධියකින් වෙනත් පසෙකට හරවාලන්නට යත්න දැරුවෙමු.

“මේ ලෝකයේ ප්‍රේමය කියලා දෙයක් හඳුනාගෙන, නැත්නම් හඳුනාගන්න බැරිව එක එක දේවල් කරනවා. සෞන්දර්යක් ගොඩනගලා කවි සින්දු ලියාගෙන ප්‍රේමය විවිධ විදිහට අරුත් ගන්නවා. මිනිස්සු මේ කරන වැඩේ සමස්තයක් විදිහට අරගෙන විග්‍රහ කරගන්න උත්සාහ කරමුද?”
අපේ ප්‍රශ්නය තරමක් දීර්ඝය. පිළිතුර ඊටත් දීර්ඝය. මෙය පුවත්පත් පිටුවක ලියා අවසන් කළ නොහැකි සංවාදයක් බව, අපි සැක හැර දැන ගතිමු.
“මට තියෙනවා ඔය ගැන ඉතාම ක්ලිනික් අදහසක් සහ රොමැන්ටික් අදහසක්. ක්ලිනික් (Cynic) අදහසින් ගත්තොත්, කාලාන්තරයක් තිස්සේ අපි සමාජ පද්ධතීන් වගේ දේවල් හදාගෙන එද්දී ස්වභාවිකව අපිට ලැබුණු ලිංගික ආකර්ෂණයකට අපි වචන හොයන්න ගත්තා. ඒ වගේම අපි සංස්කෘතීන් ගොඩනැගුවා. ඒවා ඇතුළේ අපි ඒ දේවල් පැහැදිලි කරන්න අර්ථ නිරූපණ ලබා දුන්නා. ඒ ටික තමයි මේ අපි දකින්නෙ.”‍

ලක්මාල් ධර්මරත්න පැහැදිලි කර සිටින්නේ මිනිස් ශිෂ්ටාචාරය විවිධ පැතිකඩ ඔස්සේ ශීඝ්‍ර දියුණුවක් අත්පත් කරගෙන තිබුණද, මිනිස් හැඟීම් අවබෝධ කරගැනීම හෝ කියවා ගැනීම පිළිබඳ ලබා ඇති දියුණුව සාපේක්ෂව ඉතා පහළ අගයක් ගන්නා බවයි.
“මම ඇත්තටම මේ විසිරුණු පැතිරුණු මම පැහැදිලි කරන හැඟීම අත්වින්දේ මම විවාහ වෙලා අවුරුද්දකට එකහමාරකට විතර පස්සෙ. එක්තරා තැනකදී මට ආදරය කියන වචනය අහෝසි වුණා. ඒ පැතිරීම මට හම්බවෙනකොට අර සියලු‍ වචන ටික නැතිවෙලා ගියා. තවදුරටත් වචනවලින් සින්දුවලින් කිසිම දෙයකින් ඒක අර්ථ දක්වන්න බැහැ. දැන් නිර්වාණය කියන දේ අර්ථ දක්වන්න කියලා කාටහරි කිව්වොත්, ඒක හරි කන්ෆුෂන් එකක්නෙ. ඒක යම් තත්ත්වයක්.”‍

ජීවිතයේ යම් අවස්ථාවකදී උදාවන ඉතා සනීපදායක හැඟු‍ම් සමුදාය, යම් තත්වයක් හෝ ඵලයක් ලෙස පැහැදිලි කිරීම වරදක් දැයි අපි නොදනිමු. ඒත් ලකා කී කතා ඇසුරේ අප ප්‍රත්‍යක්ෂ කොටගත්තේ එවන් අදහසකි. අප සංවාදය වඩාත් දාර්ශනික සංදර්භයක් කරා අවතීර්ණ වන්නට වූයේ මෙම පැහැදිලි කිරීම් ඔස්සේය.

“ඒත් අපිට වෙලා තියෙන දේ තමා, අපිට කලින් හිටපු පරම්පරාවල් හදපු අර්ථ දැක්වීම ඔස්සේ ප්‍රේමය කියන දෙයක් හොයනවා. ඒත් ඔය හොයන්නෙ ප්‍රේමය කියන හැඟීම නෙවෙයි. අර අර්ථ දැක්වීම්වලට ගැලපෙන දෙයක්. මෙතැන වෙන්නෙ ඔයාට, ඔයාගේ ප්‍රේමවන්තිය හෝ ප්‍රේමවන්තයා පිළිබඳව අතීතයේ හිටපු අය අර්ථ දැක්වීම් ලබා දීලා තිබීම. ඔයා ගීත, කවි නිර්මාණ ඇතුළේ කලාවෙන් සාහිත්‍යය ඇතුළේ, ඔයා දැනෙන දේ අර්ථ දක්වන්න උත්සාහ කරනවා. ප්‍රේමයේ පටලැවිල්ල නිර්මාණය වෙන්නෙත් එතැනින්මයි.”‍

ලක්මාල් ධර්මරත්න යනු සාමාන්‍ය මිනිසකු අත්විඳින ප්‍රේමණීය ඊරාවන් ඔස්සේ ගමන් කළ අයෙකි. ඔහුටද බාල වියේ සිටම පෙම්වතියන් සිට ඇත. එහෙත් එක්තරා මොහොතක ඔහු සඳහන් කළ ප්‍රේමයේ සමස්තය කරා ඔහු එළැඹී තිබේ. ඉන්පසු තමන් පෙර සිතූ දේවල්හි පවතින අසාධාරණ බව පිළිබඳවද ඔහුට සිතුවිලි පහළ වන්නට වූ බව කියැවේ.

කවරක් වෙතත් මෙම ගැඹුරු කියැවීම, හුදු මෙම ලිපිය මත පමණක් පිහිටා අවබෝධ  කරගනු පහසු නොවන බව අප සඳහන් කළ යුතුය.

“ඔය සමාජ අර්ථයේ තියෙන්නෙ හැඟීමක් නෙවෙයි, වචන ගොඩක්. ඒක දැනෙන මොහොතේ, ඔයාට බෑ ආයේ ඒක වචනවලින් පැහැදිලි කරන්න. ඒක දැනීමක්. සමහරක් සංවේදන තියෙනවා අපිට දැනෙන. අපි කොහොමද ඒවා පැහැදිලි කරන්නෙ?”
සමාජ අර්ථයෙන් ප්‍රේමය සොයා යාමේදී ‘මම සහ මම බලාපොරොත්තු වන ප්‍රේමය අතර නිර්මාණය වෙන හිඩැසක්’ පවතින බව ලකාගේ හැඟීමයි. ලස්සන අදහස් තිබෙන මිනිසා, ගී කවි නිර්මාණ ආදියෙන් එය පුරවාලන්නට උත්සාහ කරයි. ප්‍රේමය වටා මෙතරම් සෞන්දර්යක් නිර්මාණය වී ඇත්තේ එබැවිනි.

“එතකොට ඔය හිස්තැන් පුරවන්න, නිර්මාණ ටික බිහිවුණාම, ඒවා ඔස්සේ ආයේ අර්ථ නිරූපණ හොයාගෙන ගිහිල්ලා අපි ආයෙම හිරවෙනවා නේද?”
එය හිටිහැටියේම අප සිත පහළ වූ හැඟු‍මකි. අපි අපිටම සිනාසෙමින් ලකාගෙන් ඒ පැනය ඇසුවෙමු. පිළිතුරද ගැඹුරු නමුත් සිනහවෙන් පිරුණු එකකි.
“ඒ නිර්මාණකරුවන් වුණත් අපි වගේම කන්ෆියුස් වෙලා ඉන්න උන්නෙ... මචං.”‍
අප සංවාදය නොනැවතුණි. ප්‍රේමය නමින් වූ සමීපදායක සුව පහසු ඵලයට පත්වීමත්, ඉන් පසුව පවතින හැඟු‍ම් කලාපයත් අප සංවාදය පතුලක් නොපෙනෙන ගැඹුරු ඉසව්වක් කරා රැගෙන ගියේය. විටෙක මේ සියල්ල ඔබට කිවයුතු යැයි හැඟී ගියේය. එහෙත් එය ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කර ගැනීමට ඔබ සතු හැකියාවත්, එය නැවත පැහැදිලි කිරීමට අප සතුව ඇති හැකියාවත් ප්‍රශ්න කරමින් අපි නවතිමු.

“ලකා, මේ සනීපදායක සමස්තය මත පවතින ප්‍රේමණීය ඵලය පිළිබඳ ලිව්වොත් නරකද?”
සිනහවකින් අපි අපේ ප්‍රශ්නය ඔහුගේ කළෙමු. එහෙත් එය සැබෑවටම දුෂ්කර වූ කාර්යයකි. දැනීම් සහ අවබෝධය ඉදිරියේ භාෂාව කොතරම් දුප්පත්ද? දැනුණු, අවබෝධ වුණු දෑ දරා එහි සුව අත්විඳීම කොතරම් යහපත්ද? ඉඳින් අවසන අපි එම සුව අත්විඳිමු.

• චමිඳු නිසල්
• සුමුදු හේවාපතිරණ