2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා

නෙළුම් කුළුණට අත තිබ්බේ ඉලංගෝ හින්දා... - Priyantha Sirikumara

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 47

ඔබ කාලයක් ලංකාවේ හිටියේ නැහැ. කොහෙද ගියේ?
අපි 2024 වසරේ ඉඳන් යුරෝපා රටවල සංචාරයක් යොදාගෙන තිබුණා. ඒ ගයාන් කනිෂ්ක රාජපක්ෂගේ “මිස්ටර් ප්‍රසිඩන්ට්”‍ වේදිකා නාට්‍යයත් එක්කයි. මීට පෙර අපි ඔස්ට්‍රේලියාව, නවසීලන්තයෙත් මේ වේදිකා නාට්‍ය සමඟ සංචාරය කළා. ලංකාවේත් මේ වේදිකා නාට්‍ය වේදිකාගත කළා. ඉතින් ඒ නිසා තමයි ටික දවසක් ලංකාවේ හිටියේ නැත්තෙ.

යුරෝපා රටවලදී අපේ වේදිකා නාට්‍යවලට ලැබුණු ප්‍රතිචාර කොහොමද?
ගයාන් කනිෂ්ක රාජපක්ෂගේ “මිස්ටර් ප්‍රසිඩන්ට්”‍ වේදිකා නාට්‍යයට යුරෝපයේදී හොඳ ප්‍රේක්ෂකාගාරයක් ලැබුණා. ප්‍රංශයේ ඉන්න අපේ මිත්‍රයෝ අපිට උදව් කළා. ඉතාලිය, ප්‍රංශය, නවසීලන්තය ඇතුළු රටවල් කිහිපයකටම අපි සංචාරය කළා. ඒ වෙනුවෙන් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. වේදිකා නාට්‍යයක් විඳින්න, දකින්න බලාගෙන හිටපු ප්‍රේක්ෂකයන්ට මේ හොඳ අවස්ථාවක් කියලා ඔවුන් කිව්වා. ඒ නිසා උණුසුම් ප්‍රතිචාර ලැබුණා. ඉතා හොඳ බුද්ධිමත් ප්‍රේක්ෂකයන් අපිට මුණගැහුණා. අපේ නිර්මාණය රසවිඳින්න බොහෝ දෙනා ප්‍රේක්ෂකාගාරය වෙත ඇවිත් තිබුණා. අපිට ඔවුන් එක්ක කතාබහ කරමින් ඒ උණුසුම බෙදාගන්න අවස්ථාව ලැබුණා. ඔවුන්ට වේදිකා නාට්‍ය නරඹන්න උනන්දුව තියෙන බව තේරුණා. විදේශීය ජීවත් වෙන අපේ ශ්‍රී ලාංකික රසවතුන් බොහෝ දෙනා අපිට ඒ ගමනේදී මුණගැහුණා.

ප්‍රියන්ත නැති අතරේ නෙළුම් කුළුණ house full. මොකද හිතෙන්නෙ?
නෙළුම් කුළුණ තිරගත වෙන ඒ කාලයේදී ලංකාවේ ඉන්න බැරිවීම ගැන පොඩි දුකකුත් තිබුණා. මේ වෙද්දී දර්ශන වාර “හවුස් ෆුල්” වෙමින් චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතරේ ගමන් කරනවා. ඒක විශාල සතුටක්. අවුරුදු ගණනාවක ඉඳලා සිනමාව තුළින් අපිට ප්‍රේක්ෂකයන් අතරට යන්න විශාල වුවමනාවක් බලාපොරොත්තුවක් තිබුණා. ඒ වෙනුවෙන් අපි දීර්ඝ කාලයක් මේ ක්ෂේත්‍රය තුළ වැඩ කළා. දැන් එහි ප්‍රතිඵල තියෙනවා. මේ වසර ආරම්භයේ ඉඳන්ම චිත්‍රපටවලට ලංකාවේ ඇතුළේ හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒක සමස්ත චිත්‍රපට ක්ෂේත්‍රයේ ජයග්‍රහණයක් හැටියට මම දකිනවා. ඒ ජයග්‍රහණයේ යම් කොටස්කරුවෙක් හැටියට මේ නිර්මාණය ඇතුළේ ඉන්න එක ගැනත් විශාල සතුටක් තියෙනවා.

නෙළුම් කුළුණට සම්බන්ධ වෙන්නේ පිටපත නිසාද? අධ්‍යක්ෂවරයා නිසාද?
නෙළුම් කුළුණට සම්බන්ධ වෙන්නේ එහි අධ්‍යක්ෂ, ඉලංගෝ රාම් නිසයි. ඔහු කාලයක් තිස්සේ ක්ෂේත්‍රයේ අත්දැකීම් ලබමින් ගමන් කරන පුද්ගලයෙක්. ඔහුත් එක්ක කාලයක් තිස්සේ යම්කිසි හඳුනා ගැනීමක් තිබුණා. ඊට පස්සේ ඔහුගේ කෙටි චිත්‍රපටයකත් වැඩ කළා. ඒ අය කෙටි චිත්‍රපට උළෙලවල් නියෝජනය කළා. අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමට ලක්වුණා. සම්මාන දිනා ගත්තා. ඒ චිත්‍රපටයට මමත් මගේ බාල දුවත් රංගනයෙන් දායක වුණා. චිත්‍රපටයක් කරන්න පෙර සිටම ඉලංගෝ සූදානමින් හිටියේ. මේ චිත්‍රපටයට කලින් වෙනත් චිත්‍රපටයකට අපි සූදානම් වුණා. නමුත් ඉලංගෝ හදිසියේම මේ නිර්මාණයට ලෑස්ති වුණා. රංගන ශිල්පීන් විදියට මෙයට දායක වීමට ලැබීම හොඳ අවස්ථාවක් වුණා. ඉතින් ඒ අවස්ථාව මටත් උදා වුණා. ඉලංගෝ සිනමාව තුළ ගමන් කරන මාර්ගය ගැන පුද්ගලයෙක් විදියට මම සතුටු වෙනවා. අපේ රටෙන් විදේශ රටවලටත් අපේ සිනමාව ගෙන යාම සඳහා ඉලංගෝ දරන උත්සාහය ගැන මම ගොඩක් සතුටු වෙනවා. අනාගතයේදී ඔහු තවත් ලංකාවේ සිනමාව තුළ ඉදිරියට ගමන් කරාවි කියලා විශ්වාස කරනවා.

මෙහි පිටපත වෙනස් විදිහේ කතාවක්. එය කියවද්දි ඒ ගැන මොකද හිතුණේ?
නෙළුම් කුළුණ චිත්‍රපටයේ පිටපත විශේෂ සිනමා පිටපතක් විදියට මම දකිනවා. ඒ චිත්‍රපටය වගේම චිත්‍රපටයේ තේමාව සහ ඒ තේමාව සඳහා ඔවුන් සකස් කරගත් තිර නාටකයේ මම විශේෂත්වයක් දැක්කා. එය අපේ ශිල්පීන් හැමෝම හඳුනාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න අපි උත්සාහ කළා. එහි ප්‍රතිඵලය තමයි මේ. ඒ නිසා ඉලංගෝ රාම්ගේ අධ්‍යක්ෂණය වගේම එහි පිටපත නිසාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගනිමින් ඉන්නවා.

චිත්‍රපටයට රංගනයෙන් දායක වන අය සිනා නොවී අපිව සිනහ ගස්වනවා?
අපි තිර පිටපත කියවද්දීම ඒ පිටපතේ ලියවුණු දේ අපි තේරුම් ගත්තා. ඔහු මෙය කොමඩි ශානරයෙන් ලියවුණු පිටපතක් විදියට හැඳින්වුවා. කතා තේමාව ඉතා සරල විහිළුවක් බවට පත් නොවී ප්‍රේක්ෂකයන්ට බුද්ධිමය ගනුදෙනුවක් ඇතුළත් කිරීමට ඉවහල් වුණු චිත්‍රපටයක් බවට පත් කරගන්න පිටපත ලියවිලා තිබුණා. ඕනෑම පිටපතක් සිනමා පටයක් වෙද්දී පිටපතින් එහාට අපිට හිතන්න තව බොහොමයක් තියෙනවා. ඒ නිසා ඒ නිවැරදි ගමන් මාර්ගය ඇතුළේ නිවැරදි දිසාවට යන්න ඉලංගෝගේ අධ්‍යක්ෂණය බොහෝ දුරට වැදගත් වුණා. ඒ තුළ ඔහුට අවශ්‍ය කරන දේ අපි හැමෝම ශිල්පීන් විදිහට චිත්‍රපටයට එකතු කළා. මේ මළ ගෙදරක් වටා ගෙතුණු කතාවක්. සාමාන්‍ය මළ ගෙදරකට වඩා වෙනස් ගැටලු‍වකට මේ ගෙදර මිනිස්සුන්ට මුහුණ දෙන්න සිදු වුණා.

තවත් අලු‍ත් නිර්මාණයක් තිරගත වෙන්න නියමිතයි. ඒ ගැනත් කියමු?
ඔව්... අප්‍රේල් මාසේ 25 වැනිදා ලක්මාල් ධර්මරත්න අධ්‍යක්ෂණය කළ “වාලම්පුරි”‍ චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතරට එන්න නියමිතව තියෙනවා. අරුණ ජයවර්ධනගේ “මාරියා”‍ චිත්‍රපටයත් මේ පෙළගැස්ම අතරේ තියෙනවා. මම තවත් චිත්‍රපට කිහිපයකටම දායක වුණා. ඒවාත් ඉදිරියේදී ප්‍රේක්ෂකයන් අතරට ඒවි. ඒ ගැන විශාල සතුටක් තියෙනවා.

පුංචි තිරයේ, වේදිකාවේ, සිනමාවේ එක වගේ දස්කම් පාන ඔබගේ වැඩි කැමැත්ත කොතැනටද?
වේදිකාව, සිනමාව, පුංචි තිරය කියන සියලුම විෂය ධාරා තුළින් යම්කිසි අත්දැකීම් එකතු කර ගනිමින් ගමන් කරන්න මට හැකිවෙලා තියෙනවා. ඒ විෂයන් තුනටම මම පෞද්ගලිකව එක සේ ඇළුම් කරනවා. නමුත් සිනමාවට මගේ වැඩි කැමැත්තක් තියෙනවා. ඒ පෞද්ගලික ආසාවක්. නමුත් ප්‍රේක්ෂකයන් අතරට ගමන් කරන ඕනෑම ධාරාවකට මම කැමතියි. ප්‍රේක්ෂකයන්ට යම්කිසි රසාස්වාදයක් ලබා දෙන්න ඒ තුළින් හැකිවෙලා තියෙනවා.

දියණියන් දෙදෙනා රංගනයට වැඩි නැඹුරුවක් නැද්ද?
කාලාන්තරයක් තිස්සේ මේ විෂය ක්ෂේත්‍රයේ රැඳීම ඇතුළේ මගේ පවුල ඇතුළෙත්, මගේ නිවස ඇතුළෙත් උනන්දුව තියෙනවා. මගේ දියණියන් දෙදෙනාත් ඔවුන්ට පුළුවන් ආකාරයෙන් අධ්‍යාපනය ලබන අතරේ මේ විෂය ක්ෂේත්‍රයට සම්බන්ධවෙලා කටයුතු කළා. අනාගතයේදී මොන විදිහට ඒ කලාව ඔවුන් තෝරාගනීද කියලා මම දන්නේ නැහැ. නමුත් ඔවුන් මාත් එක්ක කතා කරනවා. ඔවුන්ගේ ජීවිත ඇතුළේ කලාව ගැන උනන්දුව තියෙන බව මම විශ්වාස කරනවා. ඔවුන් කලාව ගැන උනන්දු වෙනවට මම කැමතියි. මගේ බිරිඳත් හැමවෙලේම නිර්මාණ රසවිඳලා ඒවා ගැන කතා කරන්න දැඩි උනන්දුවෙන් ඉන්න කෙනෙක්. දරුවන්ටත් ඒ උනන්දුව, කැමැත්ත ලැබිලා තියෙනවා.

මෙවර රයිගම් සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නළුවාට හිමි සම්මානය ගන්න ප්‍රියන්ත ලංකාවේ හිටියේ නෑ. ඒ මඟහැරුණු අවස්ථාව ගැන මොකද හිතෙන්නෙ?
කනගාටුයි, දුකයි. සෑහෙන කාලයක් පෙරුම් පුරලයි මේ සම්මානය ලැබුණේ. සම්මානය ගන්න හිටියේ නැතිවීම ගැන දුකක් තියෙනවා. මීට පෙර ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ “මේ වසන්ත කාලයයි”‍ ටෙලිනාට්‍යයේ ලොයිඩ්ගේ චරිතය සඳහා සහාය නළුවාට නිර්දේශ වුණා. ඊට පසුව ආනන්ද අබේනායකගේ “පීතෘ”‍ ටෙලිනාට්‍යයට හොඳම නළුවාට නිර්දේශ වුණා. මේ මොහොතේදී ජෝ. දිසානායකගේ backside නාට්‍යයට සම්මානය හිමිවුණා. ඉතින් සම්මාන ගන්න යෑමට නොලැබීම වගේම මගේ ක්ෂේත්‍රයේ අනිත් ආදරණීයන් එක්ක ඒ මොහොතේ ඉන්න නොලැබීම ගැන පුංචි දුකක් තියෙනවා.

• දිශානි ජයමාලි

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00