2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා

මුලදී මට එක තැනක්වත් හරිගියේ නැහැ - Chathura Rajapaksha

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 52

 

චතුර... මේ දවස්වල සම්බන්ධ වුණු නිර්මාණ මොනවාද?
මේ දවස්වල මම රංගනයෙන් දායක වන ටෙලිනාට්‍ය දෙකක් විකාශය වෙනවා. ඒ අසංක සායක්කාර මහතා අධ්‍යක්ෂණය කරන සින්ටෝ ටෙලිනාට්‍ය සහ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරන රාග ටෙලි නාට්‍යයි. ඒ ටෙලිනාට්‍ය දෙකේ එකිනෙකට වෙනස් චරිත දෙකකට මම රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම තිසර ඉඹුලාන මහතා අධ්‍යක්ෂණය කළ “මෝඩ තරිඳු”‍ චිත්‍රපටයටත් රංගනයෙන් දායක වුණා. ටික කාලෙකින් ඒක තිරගත වේවි. ඒ නිසා ඒ ගැන ලොකු බලාපොරොත්තුවකින් බලාගෙන ඉන්නවා.

මේ සැබෑවෙලා තියෙන්නේ පුංචි කාලේ දැකපු හීනයක්ද?
ඔව්... මේක මගේ පොඩි කාලේ ඉඳන්ම දැකපු හීනයක්. චූටිම කාලේ ඉඳන් මම කැපීපෙනෙන චරිතයක් වෙන්න ආසා කළා. පාසලේදී අපි වේදිකා නාට්‍ය කළා. හය වසර හත වසර පන්තිවල ඉගෙන ගනිද්දී “විශ්මි”‍ කියලා නාට්‍යයක් රූපවාහිනියේ විකාශය වුණා. ඒකෙ ප්‍රධාන චරිතයට රඟපෑවේ රොෂාන් රවීන්ද්‍රයි. ඔහු කළ චරිතය මට මාර විදියට හිතට දැනුණා. ඒ වගේ නළුවෙක් වෙන්න මම ආසා කළා. රොෂාන් රවීන්ද්‍ර අයියා මගේ ආසම නළුවා වුණා. මම අයියා ගැන හෙව්වා. ඒ හොයද්දි ඔහු මහේන්ද්‍ර අයියාගෙන් (මහේන්ද්‍ර පෙරේරා) රංගනය ඉගෙන ගත්ත, විෂය හදාරපු කෙනෙක් කියලා මට දැනගන්න ලැබුණා. ඒක මගේ හිතේ තිබුණා. පසුකාලීනව මමත් මහේන්ද්‍ර අයියා යටතේ රංගනය හැදෑරුවා.

පාසල් අධ්‍යාපනය ලැබුවේ කොහේද?
මම පාසල් තුනකින් අධ්‍යාපනය ලැබුවා. මගේ ගම මරදාන, මාලිගාවත්ත. ඒ නිසා මුලින්ම මාලිගාවත්ත බාරෝන් ජයතිලක විද්‍යාලයෙනුත්, හය වසරේ සිට එකොළහ වසර දක්වා බණ්ඩාරවෙල ධර්මාශෝක මහා විද්‍යාලයෙනුත් ඉගෙන ගත්තා. නැවත උසස් පෙළට කොළඹ රාජසිංහ මහා විදුහලට ඇතුළත් වුණා. මගේ තාත්තා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළා. තාත්තාට ලැබුණු මාරුවීමත් එක්ක අපි හැමෝටම බණ්ඩාරවෙල යන්න සිදුවුණා. ඒ නිසා තමයි පාසල මාරු කරන්න සිදුවුණේ.

චතුර පාසලේදී මොනවගේ චරිතයක්ද?
මට උගන්වපු පාසල් ගුරුවරුන් දැන් මුණගැහෙද්දී සමහර වෙලාවලට එයාලටත් පුදුමයි. ඒ කාලේ මම දඟයා, දඩබ්බරයා, විසේකාරයා කියලයි කිව්වේ. පාසලේ හැමදේටම මම හිටියා. චිත්‍ර තරගවලට සහතික දෙද්දී මමත් සහතික ගන්න හිටියා. ඒ වගේම පාසල් දෙකක් රණ්ඩු කරලා ගහගනිද්දී ඒ කට්ටිය අතරෙත් මම හිටියා. ඉතින් පාසලේ හොඳ නරක දෙකටම මම ඉස්සරහින් හිටියා.

පවුලේ විස්තර ටිකක් කියන්න?
මගේ පවුලේ ඉන්නේ මමයි, අම්මයි, තාත්තයි, අයියයි. දැන් අයියා විවාහකයි. එයාලට ලස්සන චූටි පුතෙක් ඉන්නවා. අපි හැමෝම හරිම ලස්සනට ජීවත් වෙනවා.

පුංචි කාලේ දැකපු හීනය යම්තාක් දුරකට අද හැබෑවෙලා තියෙනවා. මේ තැනට එන්න කට්ටක් කෑවද?
ඔව්... ඇත්තම කිව්වොත් ලොකු කට්ටක් කෑවා. මට සාමාන්‍ය පෙළ කරන කාලේ ඉඳන්ම නළුවෙක් වෙන හීනය දරුණුවටම තිබුණා. උසස් පෙළ කරලා අපේ අක්කා කෙනෙක්ගේ මාර්ගයෙන් නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. ඒ දවස්වල BMICH එකේ තිබුණු “සුබාසිරි”‍ මනමාල දැක්මවල්වලට සහභාගි වුණා. එතැනට ගියාට පස්සේ නළු නිළියන් දකිද්දි තව තවත් නළුවෙක් වෙන ආසාව වැඩි වුණා. සාමාන්‍ය පෙළ කරපු දා ඉඳන් මම නළුවෙක් වෙන්න ආසා කළා. උත්සාහ ගත්තා. මම උසස් පෙළ කළා. පසුව මම නිරූපණ ක්ෂේත්‍රයට ඇතුළත් වුණා. නිවේදකයෙක් විදියට වැඩ කළා. නළුවෙක් වෙන්න ඕනෑ නිසා ටික කාලයක් සහාය අධ්‍යක්ෂවරයෙක් විදියටත් වැඩ කළා. ඒ හැමදේම අතරේ මේක විෂයක් කියලා දැනගෙන මහේන්ද්‍ර පෙරේරා මහතා යටතේ රංගන කලාව ඉගෙන ගත්තා. අනෝජා වීරසිංහ මිස්ලාගෙන් “අභින”‍ වෙත ගිහින් ඉගෙන ගත්තා. වසර දහයක් තිස්සේ මම පුදුමාකාර කට්ටක් කාලා නළුවෙක් වුණා.

මේ ගමනෙදි ඔයාව ප්‍රතික්ෂේප වුණු තැන් තියෙනවද?
ප්‍රතික්ෂේප වුණු තැන් බොහොමයක් තියෙනවා. මුලදී මට එක තැනක්වත් හරිගියේ නැහැ. නාට්‍යයකට සම්බන්ධ වෙන්න ගිහින් මාව තෝරාගත්තත් “ෂූටින් තියෙනවා එන්න”‍ කියන ඇමතුම මට ලැබුණු නැති අවස්ථා බොහොමයක් තියෙනවා. එහෙම මම සහභාගි වෙන්න තිබුණු නාට්‍ය විකාශය වෙද්දී, රූපවාහිනියෙන් දකිද්දී හිතට දුකක් දැනුණා. ප්‍රතික්ෂේප වුණු තැන් ගොඩක් තියෙනවා. ඒ නිසාම මම මාව අතහැරියේ නැහැ. දුක හිතුණු තැන් තිබුණා. හැබැයි ඒ දුක මම කොහොම හරි නාට්‍යයක ඉන්නවා කියන හයිය මගේ හිතට එක් කළා. ප්‍රතික්ෂේප වීමම මාව මෙතැනට අරගෙන ආවා.

මුලින්ම ඔයාව රූපවාහිනියෙන් දකිද්දී මොකද හිතුණේ?
මුලින්ම මම සම්බන්ධ වුණු ටෙලිනාට්‍ය “කිඳුරංගනා”‍ ටෙලිනාට්‍යයි. ඇත්තටම ඒකෙ මගේ මූණ පේන්නෙ නැහැ. දෙයියනේ කියලා මගේ අත නිසා මම මාව අඳුරගත්තා. ඒ නාට්‍යයේ මම වේටර් කෙනෙක් විදියට රඟපෑවා. ප්‍රධාන පවුලේ උත්සවයකදී මම ඇවිත් බීම එකක් දීලා යන කොටසක් රූගත කිරීම් කළා. ඒ කොටස ටීවී එකේ පෙන්නන දවසේ මම මගේ යාළුවන්ට, නෑදෑයන්ට කියලා එදා ටීවී එක ඉස්සරහ ඉඳගෙන ඒක දිහා බලාගෙන හිටියා. ඇත්තටම ඒ බීම එක දෙන වෙලාවේ මගේ මූණ පෙන්නුවේ නැහැ. අත තමයි පෙන්නුවේ. ඒ නිසා මුලින්ම රඟපෑවේ මගේ අතයි. එදා සතුටත් එක්ක දුකක් තිබුණා. මගේ මූණ පෙන්නන්න බැරිවුණේ ඇයි කියලා මටම හිතුණු වාර අනන්තයි. හැබැයි මම මාව විශ්වාස කළා. මගේ ආත්ම විශ්වාසයක් තිබුණා. මහේන්ද්‍ර පෙරේරා අයියා ළඟට, අනෝජා වීරසිංහ මිස් ළඟට ගියාට පස්සේ නළුවෙක් වෙන්න සුද ලස්සන තිබුණට මදි කියලා මම දැනගත්තා. ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග වගේ හැඩිදැඩි පෙනුමක් තියෙන නළුවන් එක්ක ජෝ අබේවික්‍රම, විමල් කුමාර ද කොස්තාලා වගේ දක්ෂ නළුවන් බිහිවුණා. ඒ නිසා නළුවෙක් වීමට රූපයම වැදගත් වෙන්නේ නැහැ කියලා මම තේරුම් ගත්තා.

චතුර රංගන ශිල්පියෙක් වගේම ටැටූ ශිල්පියෙක්?
ඔව්.. පුංචි කාලේ ඉඳන් මම චිත්‍ර අඳින්න ආසා කළා. ලංකාවේ වෘත්තීමය නළුවෙක් වෙන්න ටිකක් අමාරුයි. මම ටැටූවලට ආසා කළා. ඒ නිසා ටැටූ නිර්මාණ ශිල්පියෙක් වෙන්න ආසා කළා. මම පොඩි කාලේ හික්කඩුවේදී විදෙස් ටැටූ නිර්මාණ ශිල්පියෙක්ව දැක්කා. එයාගේ වෙනස්ම විලාසිතාවක් තිබුණා. ඒ රූපය මට අදටත් මතකයි. ඒ වගේ හැඩයක් වෙන්න මම ආසා කළා. පහු කාලේ කලාවට සම්බන්ධ වෘත්තියක් කරන්න මට ඕනෑ වුණා. මට කාගේවත් යටතේ වැඩ කරන්න අපහසුතාවයක් තිබුණා. ඔය කාලයේදී මට දෙමූ පෙරේරා නම් දක්ෂ ටැටූ නිර්මාණ ශිල්පියාව මුණගැහුණා. මම ඔහු යටතේ ටැටූ කලාව හැදෑරුවා. දැන් මම ටැටූ ශිල්පියෙක් විදිහටත් කටයුතු කරනවා.

අද වෙද්දී ආදරණීය හිතකට ආදරය කරන ආදරවන්තයෙක්?
ඔව්... දැන් මම ආදරවන්තයෙක්. අපි ආදරය කරනවා. ඒ හැමදේම අපි පස්සේ කියමු.

චතුර ඊළඟට තියෙන බලාපොරොත්තු මොනවාද?
බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ලංකාවේ දක්ෂතම නළුවා වෙන ආසාව තියෙනවා. ඒක ලොකු බලාපොරොත්තුවක්. ඒ වගේම කාටවත් කරදරයක් නැති හැම මනුස්සයා එක්කම හොඳින් ඉන්න, මාව දැක්කාම “මූ නළුවෙක්”‍ කියනවාට වඩා “මූ හොඳ කොල්ලෙක්”‍ කියනවා අහන්න මම කැමතියි.

• දිශානි ජයමාලි
• ගයාන් අමරසේකර