කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
මේ දවස්වල චුට්ටක් විතර කාර්යබහුලයි. මොකද ටෙලිනාට්‍ය තුනක් විතර මේ දිනවල විකාශය වෙනවා. ඒත් එක්කම අපි අලුත් චිත්‍රපටයක් පටන් ගත්තා. පොඩි ‘ආර්ට්’ වැඩක්. ලස්සන වැඩක්. ඒ දේවල් එක්ක මේ දවස්වල ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා. මේ අවුරුදු කාලෙනෙ. අවුරුදු කාලෙත් එක්ක රූපවාහිනී නාළිකාවල අවුරුදු උත්සව වගේ දේවල්වලටත් සහභාගි වෙනවා.
පටන් ගත්තා කියපු ලස්සන ‘ආර්ට්’ වැඩේ, නැත්නම් නවතම සිනමා සිත්තම ගැන කතා කරමු?
චිත්‍රපටයේ නම “යකඩ මනමාලි”. ඇත්තටම මේක අලුත් චිත්‍රපටයක්. පොඩි වෙනස් වැඩක්. ඇත්තටම මාත් ආසයි මේ වැඩේට. ජගත් ආනන්ද අයියා තමයි මේක අධ්‍යක්ෂණය කරන්නෙ. පිටපතත් එයාගෙමයි. මේකෙ රූගත කිරීම් සිදුවෙන්නෙ නගරයෙන් බැහැරව, ගල්ගමුව ප්‍රදේශයේ. මේ ප්‍රදේශය දවල්ට මාර රස්නෙයි. හරි අමාරුයි ඉන්න. නමුත් වැඩේ කෙරෙනවා. රෑ වෙනකොට අලි ඉන්නවා. අපිට මීටර් හතළිහක් පනහක් ඇතුළත ප්‍රදේශයේ අලි පනහක් හැටක් ඉන්නවා රෑට. ඉතින් ‘රූට්’ එකෙන් එළියෙත් චිත්‍රපටයක් වගේ. අපිත් බයයි ඇත්තටම. ඒ ගම්වල අය ටෝච් සහ අලි වෙඩි තියාගෙන බලාගෙන ඉන්නවා අලි එයි කියලා. ගමේ අය අලින්ව එළවනවා. අපේ රූගත කිරීම් ඉවරවෙලා එනකම් ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා. ඒක අපේ භාෂාවෙන් කිව්වොත් පොඩි ආතල් එකක් සහ පොඩි අවදානමක්.
“යකඩ මනමාලි” ගැන වචනයක් කතා කළොත්?
“යකඩ මනමාලි” ජගත් ආනන්ද අයියාගේ පළවෙනි චිත්‍රපටය. මේ ක්ෂේත්‍රය තුළ එයාගේ පරිණතභාවය සහ අත්දැකීම් අපට වැඩිය ගොඩක් වැඩියි. එයා මෙච්චර කාලයක් ඉඳලා එයාගේම පිටපතකට සහ එයාගේම අධ්‍යක්ෂණයකට වැඩක් කරන්න පටන් අරන් තියෙන්නේ මොකක් හරි ලොකු හේතුවකට වෙන්න පුළුවන්. එයා තෝරාගෙන තියෙන රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්, තිසුල දීප තඹවිට කැමරා ශිල්පියා වගේම සහාය අධ්‍යක්ෂ මෝක්ෂ තෝරගෙන තියෙන්නේ ඇත්තටම ලොකු පෙරළිකාර වැඩකට. “යකඩ මනමාලි” ලෝක සිනමාවටත් යයි කියලා මම හිතනවා. වෙනම කතාවක්, වෙනම හැඩයක්, වෙනස්ම චිත්‍රපටයක් වෙයි මේක.
“යකඩ මනමාලි” ට පණ දෙන නළු නිළියන් සහ රූගත කිරීම් සිදුවන ප්‍රදේශ ගැන කතා කරමු?
නවකයන් සහ ජ්‍යෙෂ්ඨයන් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. ප්‍රධාන චරිතය රඟපානවා චමීර ලියනගේ. ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් ලෙස සනත් ගුණතිලක, දීපානි සිල්වා, අනිල් ජයසිංහ, නදීෂා, සුලෝචනා වගේ දක්ෂයන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා. යකඩ මනමාලි චරිත නිරූපණයට නළු නිළියන් තෝරලා තියෙන්නේ හරිම අමුතු විදිහට. ඒ කියන්නේ දක්ෂයන් අතරිනුත් තෝරලා බේරලා ඒ ඒ චරිත නිරූපණය කරන්න වඩාත්ම සුදුසු අයව තමයි මේකට තෝරගෙන තියෙන්නෙ. අපි හෝටලයට යනකොට හිතුවා අපිට නිදහසේ මේ වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා. දවසින් දවස දර්ශන තලවලට යනකොට හරිම දුෂ්කරයි. නමුත් ඒ දුෂ්කරතාවය ඇතුළේ තියෙන සුන්දරත්වය කියලා නිම කරන්න බෑ.
චිත්‍රපටය රූගත කිරීම් අතරතුර රසවත් සිදුවීමක් මතක් කළොත්?
අපි ‘මේකප්’ කර කර ඉන්නකොට ඒ ගෙදර අක්කා කෑගැහුවා පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න මල්ලි, අලි එන්න වගේ ඉන්නවා කියලා. එහෙම කියනකොට අපි ඔක්කොම බය වෙනවා. මොකද එහේ රිලව්, අලි, මොනරු ඔය ඔක්කොම ඉන්නවා. දවල් රෑ කියලා වෙනසක් නෑ, කොයි වෙලාවේ රූගත කිරීම් කළත් කොයි වෙලාවේ අලි එයිද කියලා අපි හැමෝම පොඩි තිගැස්මකින් තමයි ඉන්නෙ.
“යකඩ මනමාලි” ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ කොයි කාලයේදීද?
මේ චිත්‍රපටයේ රූගත කිරීම් තවම ඉවර නැහැ. අප්‍රේල් දහය එකොළහ වෙනකම් රූගත කිරීම් තියෙනවා. ඉතින් චිත්‍රපටය එළිදක්වන දිනයක් ගැන තවම කියන්න බැරි වුණත්, “යකඩ මනමාලි” අධ්‍යක්ෂණය කරන්නේ හොඳම අධ්‍යක්ෂවරයෙක් වීම නිසාත්, කණ්ඩායම අති දක්ෂයන් වීම නිසාත් මම හිතනවා ඉතාම ඉක්මනට මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට රසවිඳීමට අවස්ථාව ලැබේවි කියලා.
“යකඩ මනමාලි” සමාජයට දෙන පණිවුඩය මොකක්ද?
අපේ රටේ බොහොමයක් දෙනා හිතාගෙන ඉන්නේ, කසාද බැඳපු දෙන්නෙක්ට දරුවෝ ඉන්නවනම් ඒ බිරිඳ බැන්දට පස්සේ ඒ ස්වාමිපුරුෂයාට තවත් විවාහයක් කරගන්න එක මාර අපරාධයක්, මාර පවක් කියලා. මොකද පස්සේ එන අලුත් බිරිඳ ළමයින්ව බලාගනියිද, ළමයින්ට ආදරය කරයිද, නැත්නම් ළමයින්ට වෙනස්කම් කරයිද කියන දේ අතීතයේ ඉඳලා එන කතාවක්. නමුත් ඒ ඔක්කොම වෙනස් කරන්න පුළුවන්. අද රටේ අසාධාරණයට ලක්වෙලා පාසලට යන්න බැරිවුණු, රැකියාවට යන්න බැරිවුණු කාන්තාවෝ ගොඩක් ඉන්නවා. ඒ කාන්තාව ඇතුළේ තියෙනවා මාර මනුස්සකමක්. මොකද තමන්ම උපද්දන්න ඕනෑ නෑ දරුවන්ව. තමන්ගේම දරුවෝ වෙන්න ඕනෑත් නෑ. අනිත් අයගේ දරුවොත් තමන්ගේම දරුවෝ කියලා හිතාගෙන දරුවෝ හදන දෙමව්පියෝ ඉන්නවා. ඒ වගේ අය මේ චිත්‍රපටය ඇතුළේ හම්බවෙනවා. ඉතින් අපි එක්තරා රාමුවක කොටුවෙන්න ඕනෑ නෑ කියන ලොකු පණිවිඩයක් මේ චිත්‍රපටයෙන් දෙනවා.
“සිනමාව” අද තියෙන තත්ත්වය ගැන අදහසක් දක්වමු?
ඇත්තටම සිනමාව අද තියෙන තත්ත්වය ගැන මගේ මතය කියන්නම්. මම සිනමා විචාරකයෙක්වත්, මම මේක ඇතුළේ ලොකු දැනීමක් තියෙන කෙනෙක්වත් නෙවෙයි. මේක ඇතුළේ මොකක්ද වෙන්නේ කියලා හොයාගෙන යන කෙනෙක්. නමුත් මට දැනෙන දෙයක් තමයි මෑත වකවානුවේ ආපු චිත්‍රපටත් එක්ක අපේ සිංහල සිනමාව සෑහෙන තරම් දුරට ඉදිරියට ගිහිල්ලා කියන දේ. මේ වෙනකොට ප්‍රේක්ෂකයෝ වැඩිපුර චිත්‍රපට ශාලාවලට එන්න පුරුදුවෙලා තියෙනවා. ඒක ශ්‍රී ලාංකික කලාකරුවන් විදියට අපි සතුටු විය යුතු දෙයක්. මෑතකදී ආපු චිත්‍රපටත් එක්ක චිත්‍රපට සංස්ථාව ලොකු උත්තේජනයක් ලබා තියෙනවා. ඒක පවත්වාගෙන යන්න අදාළ බලධාරීන් උත්සුක වෙන්න ඕනෑ.
• මංගලා පවිත්‍රානි