මොකක්ද මේ පරාග කියන්නෙ?
පරාග කියලා කියන්නේ මගේ පළවෙනි චිත්‍රපටය.
පරාග බිහි වෙන්නේ කොහොමද?
පරාග බිහි වෙන්නේ මෙහි තිර පිටපත රචනා කරපු අයි.ජී, එහෙමත් නැත්නම් විශ්ව ගුණවර්ධන සහ නිෂ්පාදක ලක්ෂිත ප්‍රසාද්ගේ ආරාධනයෙන්. අපි මීට වසර තුනකට පමණ ප්‍රථම තමයි පිටපත රචනා කරන්න සූදානම් වුණේ. ‘පරාග’ කියන්නේ ඇත්තටම අපේ පළවෙනි පිටපත නෙවෙයි. පිටපත් කිහිපයක්ම අපි රචනා කළා. අපි ලොකු කාලයක් පිටපත වෙනුවෙන් වැය කළා. අපිට අවශ්‍ය වුණා වෙනස් විදියේ ස්වතන්ත්‍ර නිර්මාණයක් කරන්න. ඒ වෙනුවෙන් විශේෂ කැපවීමක් කරන්න අපි සියලු දෙනාටම සිද්ධ වුණා.
ඒ කතා තේමාව මොකක්ද?
මේක ත්‍රාසය, භීතිය, කුතුහලය රැගත් ආදරණීය කතාවක්.
පරාග චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ කවුද?
යෂ් වීරසිංහ, රශිප්‍රභා සන්දීපනී, කිංග් රත්නම්, හර්ෂ තෙන්නකෝන්, ගීතා කාන්ති ජයකොඩි, කසුනි කාවින්දි, ලක්ෂිත ප්‍රසාද්, එස්.අයි. සමරක්කොඩි, හර්ෂිකා රත්නායක, විල්සන් ගුණරත්න, සුහන්දි වෝෂදී, චරිත් මදුරංග ඇතුළු ප්‍රවීණ සහ නවක රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.
යශ්, රශිප්‍රභා ප්‍රධාන චරිතවලට ගන්න හේතු වුණේ මොකක්ද?
යශ් එක්ක මම බොහෝ කාලයක් වැඩ කරලා තියෙනවා. ඒක නිසාම යශ්ගේ රංගන පරාසය කොතරම්ද කියලා හොඳ අවබෝධයක් මට තිබුණා. රශිප්‍රභා එක්ක මම කලින් වැඩ කරලා තිබුණේ නැහැ. නමුත් මේ සුසංයෝගය සිනමාව ඇතුළේ වෙනසක් කරයි කියන විශ්වාසය මට තිබුණා. වැඩේ කරගෙන යද්දී ඔවුන් දෙපළ චරිතවලට ඉතා හොඳ සාධාරණයක් ලබා දුන්නා. ඒ නිසා මම හිතනවා මගේ තෝරා ගැනීම හරි කියලා.
ධනුෂ්ක කලාවට සම්බන්ධ වුණේ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් විදිහටයි. ඒ ආ ගමන ගැන කියන්න?
ඔව්... මාව මුලින්ම ප්‍රේක්ෂකයන් දැක්කේ ජීවිතය ලස්සනයි ටෙලි වෘතාන්තය ඔස්සේ. ඊට පෙර මම යං ඒෂියා ටෙලිවිෂන් ආයතනයේ සහාය නිෂ්පාදකවරයෙක් විදිහට සහ නිවේදකයෙක් විදියට වැඩ කරමින් හිටියා. ඊට පස්සේ ටෙලිනාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායකත්වය ලබා දුන්නත් මට අවශ්‍යතාවය තිබුණේ අධ්‍යක්ෂවරයෙක් වෙන්න. මම හෙමින් හෙමින් ඒ සඳහා වූ අධ්‍යයන කටයුතුවල නිරත වුණා. ඒ අතරතුර වෘත්තීමය ඡායාරූප ශිල්පියකු විදිහටත් වසර ගණනාවක් වැඩ කළා. ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාව සම්බන්ධ පාඨමාලාවකුත් හැදෑරුවා. ඔය සියල්ලම එක්ක අද වෙද්දි ටෙලිනාට්‍ය සහ සිනමා ක්ෂේත්‍රයේ වැඩ කරමින් ඉන්නවා.
ටෙලි නාට්‍ය කීයක් මේ වනවිට අධ්‍යක්ෂණය කරලා තියෙනවද? ඒ ලබපු අත්දැකීම් කොහොමද?
මම ටෙලිනාට්‍ය බොහොමයක් කරපු කෙනෙක් නෙවෙයි. මගේ පළවෙනි ටෙලිනාට්‍ය මෞන යාගය. ඊළඟට වෙස් ටෙලිනාට්‍ය. ඒ සඳහා ඒ වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍යයට හිමි සම්මානය ලැබුණා. ඊළඟට දෙරණ නාලිකාවේ විකාශනය වුණු හේලි, සිරස නාලිකාවේ විකාශනය වුණු දාම්, කියා දෙන්න ආදරේ තරම්, හිත ළඟ හිනැහුණා, මන්දාරම් කතාව වගේම බයෝ ටෙලිනාට්‍ය සඳහා එහි අධ්‍යක්ෂණය වෙනුවෙන් රයිගම් ටෙලි සම්මාන උළෙලේ දී ජූරියේ විශේෂ සම්මානයක් ලැබුණා. අවසානයට ස්වර්ණවාහිනියේ විකාශනය වුණු see you කියන ටෙලි වෘතාන්තය අධ්‍යක්ෂණය කළා.
පරාග ධනුෂ්කගේ ප්‍රථම සිනමා පටයයි. මේ කාලයක් තිස්සේ දැකපු හීනයක්ද?
ඔව්... ඇත්තටම මේ කාලයක් තිස්සේ දැකපු හීනයක්. සිනමාවේදියෙක් වෙන්න ලොකු ආසාවක් තිබුණා. ඒ වෙනුවෙන් හීන දැක්කා විතරක්ම නෙවෙයි, ඒ වෙනුවෙන් සෑහෙන මහන්සි වුණා. සෑහෙන දේවල් හෙව්වා. පරාග වෙනුවෙනුත් සෑහෙන වෙහෙසක්, මහන්සියක් වුණා. ඒ මහන්සියේ ප්‍රතිඵල ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබේවි.
චිත්‍රපටය රූගත කිරීම් කරද්දී ලබපු අත්දැකීම් කොහොමද?
චිත්‍රපටයේ රූගත කිරීම්වලදී නම් හැම දවසකම අලුත් අත්දැකීමක් මගේ ජීවිතයට එකතු වුණා. සමහර දවස්වලදී එක දිගට පැය ගණනාවක් රූගත කිරීම් කරන්නත් අපට සිදුවුණා. හැබැයි ඒ හැම මොහොතක්ම අපි ගෙව්වේ හරිම සතුටින්.
පරාග රූගත කිරීම් අවසානයි. එය තිරගත කිරීම ඊළඟට ඇති ලොකුම අභියෝගය නේද?
ඔව්.. චිත්‍රපටයක් රූගත කිරීම් කරද්දී අපිට ලොකු පිරිසකගේ සහයෝගය ලැබෙනවා. නමුත් චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කිරීමෙන් පසුව එහි පසු නිෂ්පාදන කටයුතු කිරීමේදී ලංකාව වගේ රටක අධ්‍යක්ෂවරයාට තනියම ලොකු කාර්යභාරයක් කරන්න සිද්ධ වෙනවා. මමත් දැන් ඉන්නේ අන්න ඒ අවස්ථාවට මුහුණ දීලා.
අද සිනමා අධ්‍යක්ෂවරයෙක්. මොකද හිතෙන්නෙ?
මගේ වෘත්තීයම ජීවිතේ තේමා පාඨය තමයි නිර්මාණ වෑයමක් කියන එක. ඒකෙන් මම අදහස් කරන්නේ මම කරපු නිර්මාණයට වඩා ඊළඟට කරන නිර්මාණය ඉහළ තලයකට රැගෙන යනවා කියන එක. ටෙලිනාට්‍ය හෝ වේවා, චිත්‍රපට හෝ වේවා මම කරන නිර්මාණය වෙනස් විදිහකට, වෙනස් රහකට, නවමු අත්දැකීමක් විදිහට ප්‍රේක්ෂකයන්ට අරගෙන යන එක තමයි මගේ උත්සාහය. ඒ නිසා සිනමා අධ්‍යක්ෂවරයෙක් වුණා කියලා මට ලොකු වෙනසක් දැනුණේ නැහැ.
ඊළඟට අධ්‍යක්ෂණය කරන නිර්මාණය කුමක් වේවිද?
ඊළඟට කරන නිර්මාණය ගැන දැනට මට මොකුත් නොකියා ඉන්නම්. ඒ ගැන අපි ළඟදීම කතා කරමු.
• දිශානි ජයමාලි