ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් රීකන්ඩිෂන් කෙල්ල ටෙලිනාට්‍ය ඔස්සේ ඔබේ ආලින්දයට පැමිණි දිනූ ඇයයි. අද හදසර කතාබහ, දිනූගේ චරිතයට පණ පොවන දක්ෂ තාරකාවියක වූ යුරේනි නොෂිකා සමඟයි.
රීකන්ඩිෂන් කෙල්ල ගැන වචනයක් කතා කරමු?
රීකන්ඩිෂන් කෙල්ල කියන්නේ යම්කිසි සමාජ ස්ථරයකට කතා කරන කතාවක්. විශේෂයෙන් ලංකාව වගේ රටක මේ වගේ මාතෘකා කතා කරන්න මැලිකමක් දක්වනවා බොහොමයක් අය. මුලින්ම මම අධ්‍යක්ෂවරයාව අගය කරනවා, මේ වගේ වැඩිපුර කතා නොකරන සහ කතා කරන්න බය කතා තේමාවක් ඔස්සේ රීකන්ඩිෂන් කෙල්ල ගොඩනැගුවාට. ගම්වලින් කොළඹ ඇවිල්ලා ජීවිතේ සෑහෙන කට්ටක් කාලා ගොඩ යන්න දඟලන, ගොඩ ගිය රීකන්ඩිෂන් කෙල්ලෝ ඕනෑ තරම් මේ ලංකාවේ ඇති. මම හිතනවා ඒ වගේ කෙල්ලන්ට මේ කතාව බලනකොට ඔවුන්ගේ ජීවිත මතක් වුණා කියලා. රීකන්ඩිෂන් කෙල්ල ඔවුන්ගේ ජීවිත ආවර්ජනය කරලා ඔවුන් ආපු ගමන ගැන ආඩම්බර වෙන්න පුළුවන් කතාවක් වෙයි කියලා මම හිතනවා. කාන්තාවන් මුල් කරගෙන යම්කිසි සමාජ ස්ථරයක කාන්තාවන්ගේ කියැවෙන්නේ නැති පැත්තක් ගැන තමයි අපි රීකන්ඩිෂන් කෙල්ල ඔස්සේ කතා කළේ. අපි හරිම ඉක්මන් වෙනවා කාන්තාවන්ට ලේබල් ගහන්න. නමුත් රීකන්ඩිෂන් කෙල්ල බැලුවානම් අපි හිතන තරම් අනිත් අයගේ ජීවිත සුන්දර නැහැ සහ ඇතැම් තීරණ ගන්නේ ඔවුන්ට නොගෙන බැරි හින්දා කියන දේ තේරුම් ගන්න පුළුවන්. ඇතැම් වෙලාවට කාන්තාවන් ඒ වගේ තීරණ ගන්නේ පටු අදහස් හින්දා නෙවෙයි, අවස්ථාවේ හැටියට ඒ වගේ දෙයක් කළ යුතුම නිසයි. මම හිතනවා සමාජයක් විදිහට කාන්තාවන් දිහා වපරැහෙන් බැලුවානම්, මෙතැනින් එහාට එහෙම නැතිව සෑම කාන්තාවකටම එක හා සමානව ගරු කරලා, ලේබල් නොකර ඉඳීවි කියලා.
ඔබ රංගනයෙන් දායක වෙන ප්‍රධාන චරිතය දිනූ ගැන හැඳින්වීමක් කළොත්?
අද ගම ගොඩක් වෙනස්. අපි හිතනවානම් ගමේ ඉන්නේ රෙද්දයි හැට්ටෙයි ඇඳලා ගොවිතැන් කරන කාන්තාවන් කියලා අද ගමේ තත්ත්වය ඊට වැඩිය වෙනස්. ඒක ගම්වලට ගිහින් බැලුවොත් තේරෙනවා. අද ගම්වල ඉන්නේ ගොඩක් හීන දකින ගෑනු ළමයි. ටික් ටොක්, ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් වගේ සමාජ මාධ්‍ය හරහා ලෝකය දකින්න දකින්න, ඒ ළමයින්ට පොඩි කාලේ ඉඳලා හීන වැඩි වෙනවා. එතකොට දිනූ කියන්නෙත් ඒ වගේම කෙනෙක්. සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩක් ජීවිතේ විඳින්න කැමති කෙනෙක්. ජීවිතේ දකින්න කැමති කෙනෙක්. ජීවිතයේ ලස්සන වගේම එයාගේ ලස්සන දකින්න කැමති කෙනෙක් සහ එයාට ලොකු ආත්ම විශ්වාසයක් තියෙනවා එයා ගැන. ඉතින් මේ පුංචි ගමේ ඉන්න දිනූට ලොකු හීන ගොඩක් තියෙනවා. ඉතින් අන්තිමට එයාගේ හීනවල ශක්තිමත් බව නිසාම එයාට ඒ දේවල් ලැබෙනවා. අපි කියනවනේ, අපි දෙයක් තදින් හිතුවොත් අපිට ඒ දේවල් ආකර්ෂණය වෙනවා කියලා. ඒ වගේ දිනූත් කොහොම හරි කොළඹ එන්න, මොඩ්ලින් කරන්න හීන දැකලා එයාට ඒ දේවල් ආකර්ෂණය වෙලා එයා කොළඹට ඇවිල්ලා කොහොමද එයාගේ ජීවිතය වෙනස් වෙන්නේ කියලා තමයි මේ කතාවෙදි කියන්නෙ. මලක් වගේ ඉන්න සුන්දර ගැහැනු කෙනෙක් පවා අන්තිමට හදවත ගල් ගැහෙන කෙනෙක් බවට පත් වෙනවා. සමාජය ඇයව ඒ තැනට පත් කරනවා. සමහර කාන්තාවන් දැක්කම කට්ටිය කියනවා, මේ ගෑනිට නම් හිතක් පපුවක් නෑ. මේ හැසිරෙන විදිහ බලන්න කියලා. නමුත් අපි දන්නේ නෑ ඒ කාන්තාව පිටිපස්සේ කොච්චර ලොකු කතාවක් තියෙනවද කියලා. ඉතින් දිනූගේ කතාවත් ඒ හා සමාන කතාවක්. දිනූ කියලා කියන්නේ හරි අහිංසක හීන තිබුණු චූටි ගෑනු ළමයෙක්. නමුත් කොළඹ ඇවිල්ලා එයාගේ ජීවිතේ වෙනස් වෙනවා එයාටවත් හිතාගන්න බැරි විදිහට. ඒ වෙනස් වීම තුළ එයා පසුබට වෙන්නේ නෑ. ජීවිතය කොහොම හරි හොඳින් හෝ නරකින් ගොඩගන්නවා කියන තැනට එයා යනවා. දිනූගේ චරිතය මම දැක්කේ නොපසුබට වීර්යයක් තියෙන එක පාරක් වැටෙනකොට දහ පාරක් නැගිටින කෙනෙක් විදිහට. දිනූ කියන්නේ තමන්ගේ ඉලක්කයට කොහොම හරි යන, මොන විදිහකින් හරි යන, හරි එඩිතර නිර්භය කෙල්ලෙක්. දිනූගේ සමහර ගති ලක්ෂණ මට, යුරේනි නොෂිකාට ගොඩක් සමීපයි.
කුසල් - දිනූ ආදර කතාව ඔබට දැනෙන්නෙ කොහොමද?
කුසල් - දිනූ ආදර කතාව ගැන කතා කළොත් එක් තැනකදී දිනූ ආදරය කරනවා. නමුත් දිනූ ජීවිතයේ ලබපු අත්දැකීම් එක්ක එයා ඉගෙන ගන්නවා ආදරය කියන්නේ ජීවිතයේ එක් කොටසක් විතරයි කියලා. ජීවිතය ජය ගන්න නම් එක කොටසක් අයින් කරගන්න වෙනවා. දිනූ එයාගේ ජීවිතයේ මුල් තැන දෙන්නේ එයාගේ අරමුණට. ඒ නිසා එයා එක තැනකදී ආදරය කියන දේ අතහරිනවා. එතැන ගොඩක් දුරට යුරේනි නොෂිකාගේ ජීවිතයට සමානයි. ඇය අවබෝධ කරගන්නවා ජීවිතයේ අරමුණුවලට යන්න නම් එක් තැනකදී ආදරය අතහරින්න වෙනවා කියලා. ඒක මමත් කරලා තියෙනවා. එහෙම නොකළා නම් සමහර විට අද යුරේනි නොෂිකා කියලා කෙනෙක් නෑ. ඉතින් ඒ වගේ තමයි දිනූත්. එයාට හැමවෙලේම එක අඩියක් හරි ඉස්සරහටමයි තියන්න ඕනෑ. හැබැයි කුසල්ට තියෙන ආදරය දිනූගේ හිතේ තියෙනවා. දිනූට තමන්ගේ ගමන යන්න නම් ආදරය විතරක් ජීවිතය ඇතුළේ තියාගෙන බෑ. දිනූ - කුසල් ආදරය හරිම ප්‍රායෝගිකයි. හදවතට මුල් තැන දෙන්නෙ නැතුව ඔළුවෙන් කරන ආදරයක් විදිහට තමයි මම දිනූ - කුසල් ආදරය දකින්නෙ.
රීකන්ඩිෂන් කෙල්ල ට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මෙහෙමයි, නාට්‍යයක් ගත්තොත් අපිට හැමෝම සතුටු කරන්න බැහැ. මොකද ඇතැමුන් ජීවිතය දකින විදිහ වෙනස්. ඔවුන්ගේ කලා රසඥතාවය වෙනස්. චරිත දකින විදිහ වෙනස්. ඉතින් අපිට සියයට සියයක්ම ප්‍රේක්ෂකයන් සතුටු කරන්න අමාරුයි. නමුත් රීකන්ඩිෂන් කෙල්ල ටෙලිනාට්‍යයට සියයට අනූවක්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන්ම කාන්තාවන්ගෙන්. කාන්තාවන් ගොඩක් ආදරයෙන් වැළඳ ගත්ත චරිතයක් තමයි දිනූ කියන්නෙ.
යුරේනි... ජීවිතය සහ ආදරය දකින්නේ මොන විදිහටද?
ජීවිතය සුන්දරයි. ලබන්න පුළුවන් නම් ආදරයත් සුන්දරයි. සැබෑ ආදරයක් කියන්නේ ගොඩක් ගැඹුරු දෙයක්. ඒක නිර්ලෝභීව කරන්න ඕනෑ දෙයක්. ආදරය කියලා කියන්නේ මනුස්සයෙක් තවත් මනුස්සයකුට කරන ආදරයට වඩා ගොඩක් බැරෑරුම් මාතෘකාවක්. හරි ආදරයක් කියලා කියන්නේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව කරන්න පුළුවන් ආදරයක්. ඒක මිනිස්සු වශයෙන් අපිට කරන්න අමාරුයි. අපි ආදරයක් දෙන්නේ ආදරයක් බලාපොරොත්තුවෙන්. ජීවිත ගමනේ තේරුම් ගැනීම සහ අවබෝධය කියන දේ තමයි සම්බන්ධයකදී ආදරයට වැඩිය මමනම් දකින්නෙ. තමන්ට තමන් කරන ආදරය තමයි හරි ආදරයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම දෙමව්පියන් දරුවන්ට කරන ආදරයත් කිසිම දෙයක් බලාපොරොත්තු නොවෙන ආදරයක්. නමුත් ගැහැනියෙක් පිරිමියකුටත්, පිරිමියෙක් ගැහැනියකටත් කරන ආදරයකදී වැඩිපුර තියෙන්නේ ආකර්ෂණයක්. ජීවිතය හරිම සුන්දර ගමනක්. හරිම කෙටි ගමනක්. ඉතින් ඒ කෙටි ගමනේදී අපි දැනගන්න ඕනෑ ජීවිතය ඒකාකාරී කරගන්නේ නැතුව සතුටින් විඳින්න.
ඔබ ඇතැම් අවස්ථාවලදී විවේචනයට ලක්වෙනවා. ඒ ගැන ඔබගේ ප්‍රතිචාර සහ අදහස මොකක්ද?
විවේචන කියන්නේ මෙහෙමයි. මිනිස්සුන්ට විවේචනය කරන්න අයිතියක් තියෙනවා. මොකද අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළවෙනිම වගන්තිය තමයි, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. විවේචනය කියන්නේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන එක්තරා ක්‍රමයක්. කලාකරුවා කියන දේ පැත්තකින් තියන්නකො. සාමාන්‍ය මනුස්සයෙක් වුණත් සමාජයේ ජීවත් වෙනකොට මිනිසුන්ගෙන් විවේචන එල්ල වෙනවා. එතකොට ඕකේ එකම වෙනස තමයි, තමන් ප්‍රසිද්ධ චරිතයක් වුණාම විවේචනය කියන දේ සාමාන්‍ය මනුස්සයකුට වැඩිය සිය ගුණයක් වැඩියි. මොකද, මිනිස්සු අපි කරන හැමදේම විනිශ්චය කරනවා. මට නම් කලාකරුවෙක් වීම හරිම වාසනාවක්. කලාකරුවෙක් වෙලා රසිකයන්ගේ ආදරය ලැබෙනවා වගේම එල්ලවෙන විවේචන වුණත් හොඳ විදිහට බාරගන්න පුළුවන් වෙන්න ඕනෑ. දැන් සමහර අය ඒවා පෞද්ගලිකව අරගෙන ගොඩක් හිත රිදවා ගන්නවා. අපිට නිතරම හොඳ විතරක් අහන්න ලැබෙන්නේ නෑනෙ. අපි වුණත් නිතරම මනුස්සයෙක්ගේ හොඳක් විතරක් නෙවෙයි වැරදි කරනකොට වැරදියි කියලා කියනවනෙ. අපි වුණත් තව කෙනෙක්ව විවේචනය කරනවා වගේම, තව මනුස්සෙක්ටත් ඒ අයිතියම දෙන්න ඕනෑ අපිව විවේචනය කරන්න. විවේචනය කියන දේ මම එහෙම ලොකු දෙයක් විදිහට ගන්නේ නෑ. ඒ විවේචනවලින් මගේ ජීවිතයට යමක් එකතු කරගන්න තියෙනවානම් ඒ දේ එකතු කර ගන්නවා. එහෙම නැතිනම් ඒවා ජීවිතයෙන් අයින් කරලා දානවා.
යුරේනිගේ වෘත්තිය දිවියේ අනාගත සැලසුම් සහ බලාපොරොත්තු මොනවාද?
ඇත්තටම මට එහෙම ලොකු සැලසුම්, අනාගත බලාපොරොත්තු නැහැ. ජීවිතය උපරිම විඳින්න ඕනෑ කියලා හිතන කෙනෙක් මම. උදේ නැගිට්ටම අද දවස උපරිම සතුටින් ඉඳලා මුණගැහෙන හැමදෙනාවත් සතුටින් තියනවා කියලා තමයි මම දවස ආරම්භ කරන්නෙ. ඉතින් ඒක නිසා මගේ ජීවිතය වගේම මගේ වෘත්තියත් උපරිමයෙන් කරනවා කියලා මම දවස ආරම්භ කරනවා. මගේ ජීවිතයේ එහෙම ලොකු බලාපොරොත්තු නැහැ. මගේ වෘත්තියෙන් පුළුවන් විදිහට මිනිසුන්ව සතුටු කරන්න පුළුවන් නම් ඒක තමයි මගේ සතුට.
• මංගලා පවිත්‍රානි