2017 ජුලි 08 වන සෙනසුරාදා

දැහැන

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 96

සද්දන්ත කුලේ ඇත්තන්ගේ විත්ති ඔයා ඕන තරම් අහලා ඇති. උන්ගෙ නපුරුකම් ගැන වගේම සංවේදීකම් ගැනත් ඔයා ඕනෑතරම් අහලා ඇති වනාන්තරයේ උන්සතු උරුමය අසාධාරණ විදිහට මිනිස්සු උදුරගනිද්දී උන් දක්වන ප්‍රතිචාර ගැනත් ඔයා අහලා ඇති, මේ ලෝකේ ජීවත්වෙන්ට ඕනෑ මිනිස්සු වෙච්ච අපි විතරයි කියලා හිතන බහුතරයක් නරුම මිනිස්සු ඔයාටත් මේ ලෝකෙ ඕනෑ තරම් හමුවෙලා ඇති. මට ඔයාට මේ දේ කියන්න හිතුණේ මේ ළඟදී දවසක උන් බලන්න අපි ගියාම හිතට දැනුණු හුඟක් සංවේදී සිතුවිලි නිසා.

ඔයා එකඟද සතුන් කූඩු කිරිල්ලට, මේ ලෝකෙ ඒ විදිහට වරදක් නොකර දඬුවම් විඳින සතුන් කොච්චර ඉන්නවද කියන්න මම දන්නෙ නෑ. මිනිහෙක් කූඩු කරන්නෙ, හිරේ දාන්නෙ වැරැද්දක් කළාම. ඒ වැරැද්දට දඬුවමක් විදිහට. ඒත් කූඩු කරලා හිරේ දාන හැම සතෙක්ම නිර්දෝෂියි. ඒත් මිනිසුන්ගේ වින්දනය වෙනුවෙන් උන්ව කූඩුවල ලග්ගන්වා. ලෝකෙ හැම සතුන් වත්තකම කරන්නෙ ඕකයි. සතුන් එළිමහනේ රඳවා ඇති සත්වෝද්‍යානවල සතුන්ට මාත්‍රා ගණනාවක මත් පෙති දෙනවා උන්ගෙන් මිනිස්සුන්ට ඇති වෙන අවදානම වළක්වා ගන්ට. මිනිස්සුන්ගේ අත්වලට විලංගු වැටෙන්නෙ උන් අපරාධ කළාම. එතකොට අලින්ගේ පාදවලට යකඩ දම්වැල් වලින් විලංගු දාන්නෙ උන් මොන වැරුද්දක් කළාටද? ඒ විදිහට විලංගු වැටුණු පුංචි අලි පැටවු පවා ඉන්නවා. උන්ට විලංගු දාන්නෙ මිනිස්සුන්ගේ හිත සුව පිණිස. මිනිස්සුන්ගෙ අරාක්ෂාව උදෙසා. අන්තිමේදී බැලුවම වරදක් නොකර සතුන් හිරකාරයන් වෙලා තියෙන්නෙ මිනිස්සුන්ගෙ ආරක්ෂාව හා වින්දනය වෙනුවෙන්.
ඔයා අනන්තවත් දැකලා ඇති ගෙවල්වල කූඩු කරලා හදන සතුන්ව. විශේෂයෙන් කුරැල්ලන්ව. තමන්ගේ සතුට හා කාන්සිය මකාගැනීම වෙනුවෙන් මිනිස්සු දැඩි අාත්මාර්ථකාමී විදිහට නැති කරන්නෙ තව එකෙකුට අයිති නිදහස හා ජීවිතය. මොකක්ද ඒ විදිහට තව එකෙක්ගෙ ජීවිතය හා නිදහස උදුරා ගන්න මිනිස්සුන්ට තියෙන නිදහස හා අයිතිය... ඒ ගැන ප්‍රශ්න කරන ළතෙත් හිත් හරි අඩුයි. 

කියන්න එක මොහොතක් හෝ කූඩුවෙලා ඉන්න දම්වැල් විලංගු දාගෙන ඉන්න ඔයා කැමතිද? අපි වගේම තමා උනුත්. උන්ටත් ආදරය දැනෙනවා. උනුත් ජීවිතය හොයනවා. උනුත් නිදහස ඉල්ලනවා. උන් මේ ලෝකෙට ඇවිත් තියෙන්නෙ සොබාදහමත් සමඟ උන්ගෙ අයිතිය භුක්ති විඳින්න මිසක් මිනිස්සුන්ගෙ වින්දනය වෙනුවෙන් හිරකාරයන් වෙන්න නෙවෙයි. කන්ට බොන්ට නැතත් මිනිස්සු වෙච්ච අපි ජීවිත කාලය පුරාම නිදහස අපේක්ෂාවක් කර ගන්නවා. එහෙව් අපි සතුන් හිරකාරයන් කරලා. උන්ගේ සතුට හා අයිතිය සැහැසි විදිහට උදුරගෙන උන්ගේ නිදහස රුපියල් හා ඩොලර්වලට විකුණනවා.
නිදාගෙන ඉන්න හෘද සාක්ෂිය කොයි මොහොතක හෝ නින්දෙන් ඇහැරෙන්න පුළුවන්. අවසනේදී ඔයාට මතක් කරන්න තියෙන්නෙත් එච්චරයි.

Sanju

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00