2017 ජුලි 08 වන සෙනසුරාදා

බොරු බිසී බොරුව

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 152

අද කලා ලෝකයේ ඉන්න බොහොමයක් නවක ශිල්පීන් ශිල්පිනියන්ට ඒගොල්ලො බිසි කියලා පෙන්නන්න පුදුම වුවමනාවක් තියෙන්නෙ.

කෝල් එකක් දාපු ගමන් මේ ගොල්ලො කියන්නෙ අයියෝ වැඩ වැඩ ඉවරයක් නෑ. එකක් ඉවර වෙනකොට තව එකක්. මොනව කරන්නද ඉතිං මේ අපේ වෘත්තියේ හැටිනේ... කියලා.
ඔන්න ළඟදි අපේ හිතවත් මාධ්‍යවේදියෙක් මේ වගේ අලුත් නිළි නංගි කෙනෙකුට කතා කරලා ඉන්ටවීව් එකකුයි කවර පේජ් එකකුයි කරන්න. අර වගේ බිසී කතාව කියපු නිසා, මෙයා ඉතින් අදහස ඇතහැරියලු.
එහෙමනම් මොනවා කරන්නද? මම හිතං හිටියෙ ඔයාගේ ෆොටෝ ෂූට් එක්ක ඉන්ටවීව් එකක් කරන්න. දවසක්ම යයි. ඔයා ඉතිං ඔය තරම් බිසී නම් පස්සෙ වෙලාවක කියන්නම්...
අනේ අයියෙ පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් ඉන්න මම ඩයරිය බලලා කියන්නම් දවසක්. අයියට ඉතිං බැහැයි කියන්නත් බැහැනෙ... අයියෙ අනිද්දා කොහොමද?
අනේ අනිද්දා මම කොළඹ නැහැනෙ...
එහෙනං අයියා ඉන් අනිද්දා...
ඒත් බෑ...
අනේ අයියට පුළුවන් දවසක් කියන්නකො... මම ඉතිං ඒ තරම් බිසී නැහැ...

 

ජනප්‍රිය වෙන්න චැට් කරන්න ඕනෙලු

අලුත් තාක්ෂණයත් එක්ක අපේ බොහෝමයක් දේවල් නොහිතපු විදිහට වෙනස් වෙලා. පහුගිය සතියෙ කිව්වා වගේ අද FB ලයික් මත සියල්ල තීරණය වන වකවානුවක හරි අපූරු සිද්ධියක් පසුගියදා ආරංචි වුණා.

අපි කවුරුත් දන්නවනෙ පහුගිය දවස්වල එක්තරා පුංචි තිරයේ සම්මාන උළෙලක් පවත්වපු බව. ඒකෙ වඩාත්ම උණුසුම තිබුණෙ ජනප්‍රිය නළු නිළියො තෝරණ තරගයේ. SMS වලින්නෙ ඒ අය තේරුවේ.
අපේ නව පරපුරේ දක්ෂ, ජනප්‍රිය තරුණ නිළියක වන දිනක්ෂි ප්‍රියසාද් ඇගේ මූණු පොතේ දාල තිබුණ එක්තරා POST එකක් දැකලා පුදුමත් හිතුණා.

එයා එක්ක FB එකේ CHAT කරන්න එන්න කියල කවුදෝ කෙනෙක් පණිවිඩයක් යවලා. එහෙම චැට් කරන්න ආවොත් ජනප්‍රිය නිළිය වෙන්න SMS 12,000ක් එයාගෙ ගාණෙ දානවලු. ලබන පාර SMS 100,000ක් දාන්න පුළුවන්ලු. හැබැයි එයා එක්ක චැට් කරන්න එන්නලු.

මට එහෙම ජනප්‍රිය නිළිය වෙන්න ඕන නැහැ. කියලා දිනක්ෂි පිළිතුරු යවලා. අවසානෙදි දිනක්ෂි ජනප්‍රිය නිළිය වුණෙත් නැහැ.

 

ටෝච් එක අල්ලන්නෙ කවුද?

හැමෝටම පැන පැන උදව් කරන ඒත් අන්තිමේදී බයිට් වෙන කෙනෙක් සමාජෙ ඕනෙම සෙට් එකක ඉන්නවනෙ. ඔන්න ඒ වගේ අය සමහර සෙට්වලත් ඉන්නවා. ඒ කියන්නෙ ටෙලිනාට්‍ය, චිත්‍රපටි ෂූටිං කරන ලොකේෂන්වල.
නුවරඑළිය පැත්තෙ රූපගත කෙරුණු ටෙලි නාට්‍යයක් අතරතුරදීත් මේ වගේ හැමෝටම උදව් කරන කලා ශිල්පියෙක් ගැන තොරතුරක් ආරංචි වුණා.

බාල මහලු කාටත් වචනෙකින් හරි උදව් කරන එක මෙයාගෙ සිරිතක්.
එදා ටිකක් රෑ වෙනකං ෂූටිං තියෙන්න සැලසුම් කරල තිබුණට ඒ පළාතෙ ට්‍රාන්ස්ෆෝමර් එකක අවුලක් නිසා හවස් වෙද්දි කරන්ට් කපලා. කරුවලේ මොකුත්ම කරන්න බැරි නිසා කට්ටිය ලොජ් එකට වෙලා ඉටිපන්දම් එළියෙන් කයිය ගගහා ඉන්නවලු.

ඒත් එක්කම ඒකෙ රඟපාන තරුණ නිළියක් වොෂ්රූම් එකට යන්න ඉටිපන්දමක් හොයද්දි අර පැනලා උදව් කරන ශිල්පියා එයාගෙ බෑග් එකේ තිබිලා ටෝච් එකක් අරං කෙල්ලට දුන්නා.
අනේ තෑන්ක්ස් අයියා... කියලා කෙල්ල වොෂ්රූම් පැත්තට යනවා. මේක දැකලා අර මනුස්සයා අහනවලු.... නංගි ඇතුළෙ ටෝච් එක අල්ලන්නෙ කවුද? කියලා.

එයා ඇහුවෙ කැත හිතකින් නෙවෙයි. ඒත් එතන හිටපු හැමෝම මෙයාව නැතිවෙන්න බයිට් කළාලු. උඹට තමයි ඒක අල්ලගෙන ඉන්න වෙන්නෙ. කිව්වම එයාගෙ මූණ පුංචි වුණාලු.

 

ඔළුව ඉදිමුණත් වැඩේ SUPER

පහුගිය දවස්වල නිමාව දුටු එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සංවිධානය කළ තරු සුපිරි රියැලිටි තරගයක් අතරතුර එක්තරා කලා ශිලිපිනියකට අඩන්තේට්ටම් රැසකට මූණ දෙන්න වෙලා තියෙනවා.

ටෙලිනාට්‍ය රැසක රඟපාන තරුණ නිළියො දෙන්නෙක් තමයි ඒ අවිනීත වැඩේට හවුල්වෙලා තියෙන්නෙ. මේ අවාසනාවන්ත සිද්ධියට මූණ දීපු නිළිය පසුගියදා හොඳම නිළියට හිමි සම්මානයටත් නිර්දේශ වුණා. මේ අසාධාරණ කැපිල්ලට විරුද්ධව ඒ කණ්ඩායමේ හිටපු තරුණ ගායිකාවක් විතරයි තනි හඬක් නගලා තියෙන්නෙ.

සංගීත පවුලකින් පැවත එන මේ තරුණ ගායිකාව ක්ෂේත්‍රයේ අය හඳුන්වන්නේ ඔළුව ඉදිමුණු ශිල්පිනියක් හැටියටයි. ඒත් මේ ප්‍රශ්නෙදි ඈ නිර්භීතව ගත් ක්‍රියාමාර්ගය අගේ කළ යුත්තක්.

 

උඩරට නිලමෙ හැඩ වගේ

අපි පොඩි කාලෙ කරලා තියෙන සමහර පිස්සු වැඩ ගැන පස්සේ කාලෙක මතක් වුණාම හිනා යනවා වගේම ලජ්ජත් හිතෙනවා. ඒත් චූටි කාලෙ හිතට කා වදින බොහෝ දේවල් ලේසියෙන් අකා මකා දමන්න අමාරුයිනෙ.

ළඟදි පවත්වපු සාදයකදී පුංචි පැදුරු සාජ්ජයක් තිබුණා. ඒකට සින්දු කියන්න ආපු ශිලිපියෙක් කිව්ව සමහර සින්දු මතක් වෙලයි මේ වගේ දෙයක් ලියන්න හිතුණෙ.

පුංචි කාලේ රේඩියේ එකෙන් අහපු සින්දු තමයිනෙ බොහෝ දෙනෙකුට මතක තියෙන්නෙ. අද වගේ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා සිංදුවල වචන ගෙඩි පිටින් ඩවුන්ලෝඩ් කරන්න ඒ කාලෙ පහසුකම් තිබ්බෙ නැහැ.
කනට ඇහෙන දේ තමයි මතකයෙ රෙජිස්ටර් වෙන්නෙ. අර තියෙන ගායකයාත් පොඩි කාලෙ ඇහිච්ච විදිහට සින්දු මතකෙ තියාගෙන ඉඳලා තියෙන්නෙ මේ විදිහට.

මහද නමැති වන බඹරා -
නංගී කනට ඔබේ - ආදරේ කියයි මෙසේ....
නංගී මට දැන් කියන්න ආදරේදෝ...
උඩරට නිලමෙ හැඩ වගේ...

 

හාෆ් බොයිල් කලාකරුවො

කලා ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි, අද කාලෙ බොහෝ ක්ෂේත්‍රවල වගකිවයුතු තැන් දරන්නේ, යමක් කමක් තරන්න පුළුවන් තැනවල වැජඹෙන්න ඇත්තටම දක්ෂයො නෙවෙයිනෙ. දක්ෂයො පැත්තක හිඳිද්දි මේ වගේ බාගෙට ශාස්ත්‍රය ඉගෙන ගත්තු හාෆ් බොයිල් කට්ටිය තමයි වැඩියෙන්ම සද්දෙ දාන්නෙ.

මේ ප්‍රශ්නය කලා ක්ෂේත්‍රයෙත් උඩු දුවලා තියෙන්නෙ. අර වගේ හාෆ් බොයිල් කට්ටිය තමයි මේ ක්ෂේත්‍රයේ දැන් වැඩ පෙන්නන්නෙ.

නව පරපුර වෙනුවෙන් මඟ පෙන්වීමේ සම්මන්ත්‍රණ, වැඩමුළු පවත්වන්නත් මූලික වෙන්නෙත් මේ අය. මෙවැනි තත්ත්වයකට තනිකර වගකීම බාරගත යුත්තේ දක්ෂතා සපිරි ප්‍රවීණයො බවයි බහුතරයක් හිතන්නෙ.
එහෙත් ඒ ප්‍රවීණයන්ට නවීන තාක්ෂණය උපයෝගී කරගෙන තම තමන්ව මාකට් කරන්නට නොහැකිවීම කාගේ වරදක්ද?

 

♦ Text – Mithra

 

 

 

 

 

 

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00