2017 ජුලි 08 වන සෙනසුරාදා

පබිලිස්ගෙන් අමුතු කෑම

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 276

විනාකිරෙන් පදම් කළ නෙළුම් අල

අවශ්‍ය දේවල්

නෙළුම් අල ග්‍රෑම් 200
ගම්මිරිස් ඇට 5
කරාබු නැටි 02
කුරුඳු පොතු කැබැල්ලක්
විනාකිරි බෝතල් ¼
සීනි මේස හැඳි 01
ලුණු අවශ්‍ය ප්‍රමාණයට

සාදන ක්‍රමය

නෙළුම් අලවල පොතු ඉවත් කර හොඳින් සෝදන්න. ඒවා තුනී පෙති කපා නැවත හොඳින් සෝදන්න.
අනික් සියල්ලම එකට කලවම් කර නෙළුම් අලද මිශ්‍රකර තම්බා ගන්න.
මෙය නිවුණු පසු බෝතල්වලට දමා දවසකට පසුව කෑමට ගන්න. මෙය අච්චාරුවක් ලෙසද පාවිච්චියට ගත හැක.

බෝවිටියා ගෙඩි යුෂ පානය

අවශ්‍ය දේවල්

ඉදුණු බෝවිටියා මද ග්‍රෑම් 300
උතුරුවා නිවාගත් වතුර අඬුකෝප්ප 05
දෙහි ගෙඩියක යුෂ
ලුණු ස්වල්පයක් 
සීනි මේස හැඳි 04 ක්

සාදන ක්‍රමය

බෝවිටියා ගෙඩි ශුද්ධ කර මද වතුර සමඟ පොඩිකර ගන්න.
මෙයට සීනි, දෙහි සහ ලුණු දමා ශීතකරණයේ තබා පානය කරන්න.


ඉස්සන් ලුණු දැවටුම

අවශ්‍ය ද්‍රව්‍ය

ඉස්සන් ග්‍රෑම් 500
ලුණු ග්‍රෑම් 50
වතුර

සාදන ක්‍රමය

ඉස්සන් ඔළු කඩා පොතු සමඟ සෝදා දිය බේරෙන්නට තබන්න.
ලුණුවලට වතුර ටිකක් දමා දියකරන්න.
තාච්චියක් ළිප තබා හොඳින් රත් වූ පසු මැදට ඉස්සන් ටික දමන්න.
ලුණු වතුර හැන්දකින් භාජනය ඇතුලත වටේට ඉසින්න.
වතුර වාෂ්ප වී වටේට ලුණු පිපිණු විට ඉස්සන් කලවම් කරන්න.

පුරවන ලද එළබටු    ව්‍යංජනය

අවශ්‍ය ද්‍රව්‍ය

එළබටු ග්‍රෑම් 300
තම්බා පොඩිකරගත් මාළු ග්‍රෑම් 100
පොඩියට කපාගත් තක්කාලි ග්‍රෑම් 30
පොඩියට කපාගත් ලූණු ක්‍රෑම් 50
මිරිස් කුඩු තේ හැඳි ¼
මිටි කිරි අඬුකෝප්ප 1 ½
දිය කිරි අඬුකෝප්ප 2
කරි කුඩු මේස හැඳි 1 ½
උම්බලකඩ කුඩු මේස හැඳි ½
කහ කුඩු තේ හැඳි ½
තෙල් මේස හැඳි 2
ගම්මිරිස් කුඩු තේ හැඳි ¼
කපාගත් අමුමිරිස් කරල් 2
සුදු ලූණු බික් 3
රම්ප, කරපිංචා, කුරුඳුපොතු
ලුණු අවශ්‍ය තරමට

සාදන ක්‍රමය

බටු ගෙඩියේ නැට්ට කපා සිදුරක් සාදා ඇට ඉවත් කරගන්න.
එය දෙහි සහ කහ මිශ්‍ර වතුරෙන් සෝදාගන්න.
මාළුවලට ලුණු, ගම්මිරිස්, කහ, දෙහි දමා හොඳින් අත ගා තබන්න.
බටු ගෙඩියේ යටිපැත්තෙන් මාළු මිශ්‍රණය පුරවා තැටියක හෝ තාච්චියක අසුරාගන්න.
භාජනයක් ළිප තබා එයට තෙල් එක්කර, කරපිංචා, රම්පෙ, කුරුඳුපොතු, අමුමිරිස්, සුදු ලූණු දමා බැදෙන්නට තබන්න.
එයට කහ කුඩු, මිරිස් කුඩු, උම්බලකඩ, ලුණු දමා මඳගින්නේ බැදෙන්නට දෙන්න.
ඉන්පසුව තක්කාලිද දිය කිරිද එයට දමා හොඳින් තම්බාගන්න.
හිඳීගෙන එන විට උකු කිරි එක් කරන්න. එය බටු භාජනයට දමන්න. ඉන්පසු උඳුනක හෝ ළිප මත තබා මඳගින්නේ තම්බාගන්න.
හොද්ද උතුරන විට වරින්වර භාජනයේ ඉස්ම හැන්දකින් ගෙන බටු මත වත්කරන්න.

හරක් මස් දුම්මැස්ස

අවශ්‍ය ද්‍රව්‍ය

හරක් මස් පෙති ග්‍රෑම් 800
මීපැණි මේස හැඳි 3
තෙල් මේස හැඳි 2
අඹරාගත් කරපිංචා තේ හැඳි 01
කරි කුඩු මේස හැඳි 1
ගම්මිරිස් කුඩු තේ හැඳි ½
කහ කුඩු තේ හැඳි ½
හීනියට අඹරාගත් සුදු ලූණු බික් 2
අඹරාගත් ඉඟුරු පොඩි කැබැල්ලක්
ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය

මීපැණි, කරි කුඩු, මිරිස් කුඩු, කහ කුඩු, සුදු ලූණු, ඉඟුරු, කරපිංචා එකට මිශ්‍රකරන්න.
මස් කැබැලි තරමක් පැතැලි වන ලෙස අතින් තලා කුට්ටි කපාගන්න.
මස් කැබැලි සාදාගත් මිශ්‍රණයේ දවටා විනාඩි 10ක් පමණ තබන්න.
බොකුටු භාජනයක මෙම මස් කැබැලි දමා පැය භාගයක් පමණ තැම්බෙන්නට තබන්න.
මස් කැබැලි ඉවත්කොට එම බඳුනටම වතුර කෝප්පයක් දමා මස් මිශ්‍රණය හොඳින් උකු වනතුරු රත් කරන්න. පසුව එයට මස් කැබලි එක් කරන්න.

 

► Text – Jayamali