Facebook ගැන ඔයාට මොකක්ද හිතෙන්නෙ. මටනම් හිතෙන්නේ Facebook කියන්නෙ යක්ෂයෙක් කියලා. මිනිසුන්-මිනිසුන් අතරේ හදවත් හදවත් අතරෙ පැවතිය යුතු සජීවී බන්ධනයන් මහ නපුරු විදිහට උදුරා ගත්තු යක්ෂයෙක් කියලා. මනුෂ්‍ය හැගීම්වල වටිනාකම මරලා දාපු යක්ෂයෙක් විදිහට.
මේ මෑතකදී එක්තරා මහාචාර්යවරෙයෙක් කරන ලද පර්යේෂණයකින් කියලා තිබුණා ලංකාවේ දික්කසාදවලින් සියයට හැත්තෑවක් fb එක හරහා ගොඩ නගා ගත් සම්බන්ධතා නිසා සිදුවූ විවාහයන් කියලා. යුගයෙන් යුගයට සියලු සමාජ ක්‍රමවේදයන් වටිනකම් පුරැෂාර්ථයන් වෙනස් වෙනවා. ඒත් ඒ වෙනස සිදුවිය යුත්තේ හරිවිදිහට. එදා මංගල දැන්වීම් කපුවන් හරහා යෝජනා වුණු විවාහ යෝජනා අද හුඟක් වෙලාවට ඉදිරිපත් වෙන්නෙ තාක්ෂණය පදනම් කරගත් සන්නිවේදන ක්‍රම ඔස්සේ. තරුණ පරපුරේ බහුතරයකට ජීවන යථාර්ථය ගැන ඇති අවබෝධය සීමා සහිතයි. ඔවුන් බොහෝවිට ජීවත් වෙන්නේ හුදු කාල්පනික සුරංගනා ලෝකයක. ඒත් ලෝකයේ පවතින ඇත්තට අපි කවුරුත් නිසැකයෙන්ම මුහුණදිය යුතු දවසක් එනවා.
අද නිදන කාමරයේ සහ නාන කාමරයේ කරන දේවල් ටික හැරෙන්න පුද්ගලයෙකුගේ ජීවිතයේ අනිත් හැමදේම වගේ fb එකෙන් තව කෙනෙකුට දකින්න කියවන්න පුළුවන්. තමන්ගෙ හැගීම් ආවේගයන් එළිදක්වන්නේ තමන්ගේ පෞද්ගලික්ත්වය ගැන කිසිම හැඟීමක් නැතුව. ජීවිතය කියන්නෙ සෙල්ලමක් නෙවෙයි. වගකීමක්. ඒ වගකීම සෙල්ලමක් කරගත්තොත් ජීවිතයේ වරදින්න පුළුවන්. අද fb එක හරහා හුඟක් සම්බන්ධතා ගොඩනැගෙන්නේ හරිම artificial විදිහට. Photo එකකට දාන like එකක් comment එකක් කෙනෙක්ගෙ දවසේ උපරිම සතුට වෙන්න පුළුවන්. සමහරවිට fb එක හරහා ගොඩනැගෙන friend ship එකක් විවාහ බන්ධනයක් බවට පත්කරගන්න ගතවෙන්නෙ ඉතාම පුංචි කාලයක්. අතීතය හෝ අනාගතය ගැන තමන්ගෙ සිතුම් පැතුම් ආකල්ප ගැන කෙරුණු කතා බහ ඒ වගේ බන්ධනයක් ඇතුළෙ බොහෝම අල්ප වෙන්න පුළුවන්. දෙන්නෙක් මුණගැහිලා ඇස් දෙක දිහා බලාගෙන කරන සජීවී කතාබහකදී දැනෙන සුන්දරත්වය හා අවබෝධය එවන් බැඳීමක නොතිබෙන්න පුළුවන්.
අවබෝධයෙන් එක්වෙන අයත් වෙන්වෙන වෙලාවල් තියෙනවා. ඒක ඇත්ත. ඒත් fb එක සහ තවත් එවැනි සන්නිවේදන මාධ්‍ය භාවිත කරන ආකාරය ගැන ඇත්තටම අද ගැටලුවක් තියෙනවා. ජීවිතය කියන්නෙ සුන්දර වස්තුවක්. ඒ සුන්දර වස්තුවට ආදරය කරන්න. ඒ සුන්දර වස්තුව සෙල්ලමක් කරගන්න එපා.
► Sanju