2017 ජුලි 15 වන සෙනසුරාදා

මෝටර් සයිකල් එක්සයිස්

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 135

කලා ක්ෂේත්‍රයක් නියෝජනය කරමින් කාලයක් තිස්සෙ වැඩ කරන ශිල්පියෙකුට තියෙන්නෙ පරණ මෝටර් සයිකලයක්.
ඒත් තාම හොඳට වැඩ. ඒ වගේම ඔහුට මේක වාසනාවන්ත වාහනයක්ලු. ඒ නිසා අලුත්  එකකට යන්නත් අදමදි කරනවා.
හැබැයි මිනිහට තියෙන නරක පුරුද්ද තමයි කොච්චර සල්ලි තිබ්බත් රුපියල් 100ට, 150කට පෙට්‍රල් ගහගන්න එක.

ඒ නිසා බොහොමයක් දවස්වල ඔහු මෝටර් සයිකලේ තල්ලු කරගෙන පෙට්‍රල් ෂෙඩ් එකට යන එක සුලබ දසුනක් වෙලා.
ඒ වගේ හතිදාගෙන බයිසිකලේ තල්ලු කරගෙන යන වෙලාවක හිතවතෙක් හම්බවුණාම ඔහු කියන්නෙ... ඔව් මල්ලි මේක මම එක්සයිස් එකක් හැටියට කරන්නෙ, නැත්තම් ඉතින් අපේ ජොබ්වල හැටියට ජිම් යන්න වෙලාවකුත් නැහැනෙ. කියලයි.

 

ස්පයිඩර් මෑන් දැලක පැටලිලා

ස්පයිඩර් මෑන් චිත්‍රපට මාලාවේ අලුත්ම කතාංගය දැන් ලොව පුරා සාර්ථකව ප්‍රදර්ශනය වෙනවා.
ලංකාවෙත් මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පට විශාල සිනමා ශාලා ප්‍රමාණයක ප්‍රදර්ශනය වීමත් සමඟ ප්‍රේක්ෂක උනන්දුව එන්න එන්නම වැඩි වුණා.

ලංකාවෙ සිනමා ශාලා 25ක පමණ චිත්‍රපටය තිරගත වීමට නියමිතව තිබුණත් දැන් එය ප්‍රදර්ශනය වන්නේ කොළඹ එකම එක සිනමාහලක විතරයි.

එය සිනමාලෝලීන්ට සිදු වූ බලවත් අසාධාරණයක් නිසා අපිත් ඔය ගැන සොයා බැලුවා.
චිත්‍රපටය ලංකාවට ගෙනල්ලා තියෙන්නෙ ජාතික චිත්‍රපට සංස්ථාවෙ චිත්‍රපට ආනයනය සඳහා ලියාපදිංචි නොවූ කෙනෙක්ලු. ඒ වුණාට එයා මීට කලින් ගෙන්නපු චිත්‍රපටත් චිත්‍රපට ශාලාවල ප්‍රදර්ශනය කරලා තියෙනවා.

ඔන්න මේ පාර ස්පයිඩර් මෑන් චිත්‍රපටය පෙන්නන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ඔහු චිත්‍රපට ශාලා හිමියන්ගෙන් නීතිමය ලියවිල්ලක් ඉල්ලලා. මීට පෙර එවැනි ලියවිල්ලකට සිනමා ශාලා හිමිකරුවන් අත්සන් කරලත් නැහැලු.
ඔන්න මේ හේතුව නිසා සෑම චිත්‍රපට ශාලාවක් වගේම චිත්‍රපට මණ්ඩලයත් මේ චිත්‍රපටය වර්ජනය කළා කියලයි ආරංචිය.
මදැයි ස්පයිඩර් මෑන් ගිහිල්ලා පැටලුණ දැල!

 

රුවුල් බාරෙ ඔප්පු කරලා



පහුගිය කාලෙ පැතිරුණ උණ වර්ග නිසා මිනිස්සු හිටියෙ හරිම බයෙන්.
සමහර අයට හැදිලා තිබුණෙ ඩෙංගු උණ. තවත් සමහරුන්ට හැදුණෙ වෛරස් උණක්.
වෛරස් උණ වුණත් දවස් හත අටක් යනකන් හොඳවෙන එකක් නෙවෙයි. 

ප්‍රවීණ කලා ශිල්පියෙකුගෙ බිරියටත් පසුගිය සතියෙ ඒ උණ හැදිලා සෑහෙන්න අමාරු වුණා. මුල් දවස්වල දොස්තරවරු ඩෙංගු කියලා සැක කළත් පස්සෙ ඒක වෛරස් උණ බවට තහවුරු වුණා.
ඒත් මේ කලා ශිල්පියා බිරියට ගොඩාක් ආදරේ නිසා ඇයට හොඳටම හොඳ වෙනකන් ඔහුගේ රැවුල නොකපා ඉන්න බාරයක් වෙලා.

දවස් 10ක්ම රැවුල නොකපා හිටිය නිසා ඔහු රඟපාන ටෙලිනාට්‍ය දෙකක වැඩත් අවුල් වෙලා.
දැන් නෝනට අවුලක් නැති නිසා ඔහු රැවුලත් කපාගෙන දැන් අවුලක් නැතුව වැඩ කරගෙන යනවලු.

 

ලාභ චිත්‍රපට මාෆියාව 

සිංහල චිත්‍රපට ගැන උනන්දුවක් දක්වන කාටත් සතුටු දනවන කාරණයක් තමයි චිත්‍රපටයක් හොඳින් ප්‍රදර්ශනය වීම.
අවුරුද්දකට ඒ වගේ චිත්‍රපට දෙක තුනක්වත් අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකයන් අතරට ආවත්, අනෙක් චිත්‍රපට සාමාන්‍ය ඒවා. ඒත් තවත් සමහරක් කිසිදු ප්‍රමිතියකින් තොරව හැදුණු ලාභ ලෝ බජට් චිත්‍රපට.
ඒවා අමාරුවෙන් සතියක්වත් දුවන්න බැරි චිත්‍රපට.

එහෙම චිත්‍රපට හදලා ඒවා දිව්වෙ නැතිවුණාම නිෂ්පාදකවරැන්ට පාඩුවක් වෙන්නෙ නැද්ද? පාඩු වෙනවනම් ඒ නිෂ්පාදකවරු නැවත නැවතත් එවැනි චිත්‍රපට හදන්නෙ ඇයි?

මේ ගැන මෑතකදි චිත්‍රපට ගැන ගැඹුරින් හැදෑරූ කෙනෙක් හොඳ පැහැදිලි කිරීමක් කළා.
මේ වගේ ලෝ බජට් චිත්‍රපට හදන්නෙ හෝල්වල දුවලා සල්ලි හම්බකරන්න නෙවෙයි. චිත්‍රපටය වෙනුවෙන් යටකරපු සල්ලි ප්‍රමාණය මෙන් දෙගුණයක් ඒ චිත්‍රපටවල DVD අයිතිය විකුණලා ඒ අය ලබාගන්නවා. මේක තනිකර මාෆියාවක්. චිත්‍රපට දිව්වත් එකයි නැතත් එකයි, ඒගොල්ලන්ට පාඩුවක් වෙන්නෙ නෑ. මේක අවුරුදු ගණනාවක් තිස්සෙ සිද්ධවෙන සෙල්ලමක්. ඉතින් කොහොමද සිංහල සිනමාවක් ගොඩනගන්නෙ?, ඔහු කිව්වා.

දරුවොත් එක්ක බස්වල ගිහිනුත් හමාරයි

දරුවොත් එක්ක එකට වාඩිවෙලා බලන්න බැරි නිසා පවුල් පිටින් ශාලාවලට ගොස් චිත්‍රපට නැරඹීමේ සංස්කෘතියත් නැතිවෙලා ගියා. ටීවීවල යන වැඩසටහන් හා ටෙලිනාට්‍ය පවුලේ අයත් සමඟ එකට ඉඳගෙන බලන්න බැරි නිසා ලංකාවෙ චයිනීස් හෝටල් වැඩිවෙලා තියෙනවා කියලා කවුදෝ කෙනෙක් පහුගිය දවසක කිව්වා. මොකද ළමයි ටීවීවලින් ඈත් කරන්න වැඩිහිටියො දරැවොත් එක්ක පිටින් කෑම කන ප්‍රමාණය වැඩිවෙලාලු.

ඒ කෙසේ වෙතත් දැන් අලුත්ම ලෙඩේ බෝවෙලා තියෙන්නෙ පෞද්ගලික බස්වලටලු. කාලෙක ඉඳන් බස්වල දාන DVD අමාරුවෙන් අහගෙන බලාගෙන ගිය මිනිස්සුන්ට දැන් අලුත් අකරතැබ්බයකට මූණදෙන්න වෙලා.
සමහර බස්වල දැන් දාන්නෙ අමු තිත්ත කුණුහරුප ගීත. බිරියත් සමඟ යහන්ගතවෙලා දරුවෙක් ලැබෙන්න ඕන හැටි විස්තර කරන අලුත් සිංහල ගීතයක් අහගන්න බැරුව අම්මා කෙනෙක් තමන්ගෙ දුවලා දෙන්නත් එක්ක කොළඹ දෙසට එන AC බස් එකකින් බැහැලා ගියා.

මේ අශිෂ්ට ප්‍රවණතාවයට වගකිවයුත්තෝ කවුරුන්දැයි සොයා බලා අදාළ බලධාරීන් ක්‍රියා නොකළහොත් මෙය කොහෙන් කොහාට ගොස් නතරවේදැයි කියන්න බැහැ. 

► Text – Mithra




 

 

 

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00