2017 ජුලි 15 වන සෙනසුරාදා

ලා්ෙ බජට් වැඩවලට මම නෑ...

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 88

නිනෝ... කොහොමද නිනෝ ලයිව් එකට ලැබුණු ප්‍රතිචාර?
ම්... හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ඒක මගේ පළවෙනි චිත්‍රපටය. ගොඩාක් කාලයකට උඩදී කරපු නිර්මාණයක් තමයි ඒක. බලද්දි හිතුණා මීට වඩා හොඳට තව රඟපාන්න තිබුණානම් හොඳයි නේද කියලා.

 

ඒ චිත්‍රපයේ රඟපාපු කාලයත් එක්ක හිතෙන්නෙ නැද්ද නිනෝ ආපු කාලයත් එක්ක නිනෝට ලැබුණු අවස්ථා අඩුයි කියලා?
ඒක එහෙම හිතෙන තැන් මටත් තියෙනවා. මේ දවස්වල මම රංගනයෙදිවත් කිසිම දෙයකට සම්බන්ධ වුණේ නෑ.

හිතෙන්නේ නැද්ද ඔයාට අවස්ථාව නොලැබෙන්නේ ඔයා මාතලේ පදිංචි වෙලා ඉන්න කියලා?
නෑ... මම අවුරුදු දාසයක්ම හිටියේ කොළඹ. මම මාතලේ පදිංචියට ආවේ 2017 ජනවාරි මාසෙ. ඉතින් ඒක නිසා අවස්ථාවක් නොලැබෙන්න හේතුව මාතලේ පදිංචිය කියලා කොහොමත්ම හිතන්න බැහැනෙ. නේද..?

කවුරු වෙන්නද ආසාවෙන් හිටියෙ...?
මම ඉස්සර හරිම ආසාවෙන් හිටියෙ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්නයි. මම ඉගෙන ගන්නෙත් ඒකටමයි. ඊට පස්සෙ මම මහේන්ද්‍ර පෙරේරා මහතාගේ work shop එකේ කලාව පිළිබඳව බොහෝ දේවල් ඉගෙන ගත්තා. මහේන්ද්‍ර අයියා කරපු work shop කීපයකටම මම ගියා.

ඔයා කරපු මුල්ම නිර්මාණය මොකක්ද..?
මම මුලින්ම කළේ මධු නම් ඇය කියන ටෙලිනාට්‍යයි. කොළොන්නාවේ ඉන්න මගේ ආච්චි කෙනෙක්ගේ මාර්ගයෙන් මට ගීතා කාන්ති ජයකොඩි මහත්මියව හඳුනාගන්න ලැබෙනවා. ඒ හරහා තරංග දිසානායකත් රවීන්ද්‍ර විජේරත්නවත් මට මුණගැහුණා. තරංග අයියයි රවීන්ද්‍ර අයියයි තමයි මට මගේ ජීවිතේ මුල්ම අවස්ථාව ලබලා දුන්නේ.

කොහොමද ඒ නිර්මාණයට ඔයාට ලැබෙන ප්‍රතිචාර?
ඇත්තම කියන්නද... ඒ නිර්මාණයට ප්‍රතිචාර ලැබුණේ මගේ ගෙදර අයගෙන් විතරයි. මම ඒකෙ රඟපානවා කියලා මම කියලා තිබුණේ ගෙදර අයට විතරයි. ඒ නිසා ඒ ගැන කවුරුවත් දැනගෙන හිටියේ නෑ.

නිකමෙක් විදිහට ඉන්නෙ මොකටද?

කලාවට අමතරව නිනෝ වෙනත් රැකියාවක දැන් නිරතවෙලාද ඉන්නෙ?
නෑ... මම එහෙම වෙනත් රැකියාවක නිරතවෙලා නෑ. මම කලාවට ආදරෙයි. ආසයි. ඉතින්... ඒ වෙනුවෙන් තාමත් මම ඉගෙන ගන්නවා. නිකමෙක් විදිහට මේ ක්ෂේත්‍රයේ ඉන්නවට වඩා යමක් ඉගෙන ගත්තු කෙනෙක් විදිහට ක්ෂේත්‍රයේ ඉන්න මම ආසයි. ඒ නිසා හැමවෙලේම මම මේ දේවල් ගැන ඉගෙන ගන්නවා. 2014න් පස්සෙ මම තාම ටෙලිනාට්‍යයක රඟපාලා නෑ. ෆිල්ම්වලත් රඟපාලා නෑ. මම දන්නේ නෑ ඇයි එහෙම මට වුණේ කියලා.

එතකොට කෝ අර ඒ දවස්වල නිනෝ කරපු සංගීත කණ්ඩායම?
ඒකත් නතර කරන්න සිද්ධ වුණා. ඒ සංගීත කණ්ඩායමේ මම ගායකයෙක් විදිහට තමයි කටයුතු කළේ. මම සින්දු කියන්න ආසයි. ළඟදිම දවසක මගේ අලුත් ගීතයකින් මාව දකින්න අහන්න ලැබේවි.

නිනෝ විෂුවල් කිහිපයකටම සහභාගි වුණානෙ. මොකද ඒ කලාව ගැන හිතන්නෙ?
මට කතා කරන හැම විෂුවල් එකකටම මම ගිහිල්ලා නෑ. මේ වෙද්දි මම කතා කරලා තියෙන්නේ මියුසික් වීඩියෝ දහයකටත් අඩු ප්‍රමාණයකට. හැබැයි ඊට වඩා මට කතා කරලා තියෙනවා. හැමදාමත් අඬන විෂුවල්වලට ඉන්න මම කැමති නෑ. සමහර මියුසික් වීඩියෝවලට කතා කරන්නෙම ලෝ බජට් කියලමයි. ඒකට කිසිම වටිනාකමක් දෙන්නෙත් නෑ. ඒ නිසා ඒ වගේ දේවල්වලට මම සම්බන්ධ වෙන්නෙ නෑ. මේ දෙයින් යැපෙන කට්ටියකුත් ඉන්නවා. මේකෙන් හූරාකන අයත් ඉන්නවා. මේ දේට ආදරෙන් නිසි විදිහට කරන අයත් ඉන්නවා.

හැමදාමත් අඬන විෂුවල්වලට ඉන්න මම කැමති නෑ

මේ වෙනකොට නිනෝ සැබෑ ජීවිතේ ප්‍රේමවන්තයෙක්ද?
අනේ නෑ... බොරු කියන්න ඕනෙ නෑ. මේ වෙනකොට මම පෙම්වතෙක් නෙමේ. හිතේ නිදහසේ ජීවත් වෙනවා. වැඩ කරන්න පුළුවන් වෙන්නේ හිත නිදහස්ව තිබුණොත් විතරයි. ගෑනු ළමයෙක් ජීවිතේට ළංවෙනවා කියන්නේ ජීවිතයට වගකීමක්. ඒ වගකීම කියන්නේ බැන්ඳට පස්සෙ විතරක් නෙමේ. පෙම්වතෙක්ගේ කාලයෙත් ඒ වගකීම තියෙනවා. ඒ නිසා මම ඒ දේට ආදරේ කරන නිසා ඒ ආදරේ පැත්තක තියාගෙන ඉන්නවා සැබෑ ආදරයක් ලැබුණු දවසට ආදරේ කරන්න.

කලාකරුවෙක් වීම ගැන අද මොකද හිතෙන්නෙ?
මම ආසයි මේකෙ අවසානය දක්වා යන්න. ඒ නිසා මම රංගනය ගැන තවදුරටත් ඉගෙන ගන්නවා. ඒ හැදෑරීම තුළින් කරන දේට තව තවත් සාධාරණය ඉෂ්ඨ කරන්න තමා බලාපොරොත්තු වෙන්නෙ.

Text – Anusha Ranasinghe / Pic - Internet