දවල් බත් කන ගමන් අහම්බෙන් එතෙන්ට ආව යාළුවෙක් කතා කර කර ඉන්න ගමන් මෙහෙම දෙයක් කීවා. කොච්චර ළඟින් හිටියත් වෙන්වෙලා ගියාට පස්සෙ ඒ බැඳීම් ළඟින් ඉද්දී වගේ නෑ නේද? ඉඳලා හිටලා කතාකළත් හුඟක් දුරස් වෙනවා නේද? එයා එහෙම කීවේ කාලයක් අපිත් එක්ක එකට වැඩ කරපු ඒත් උපාධියට ගුරු පත්වීම් ලැබෙද්දී මාධ්‍ය ජීවිතයට සමුදුන්නු දයාබර යෙහෙළියක් ගැන ළෙන්ගතු මතකය සිහිපත් කරලා.
ජීවිතය කියන්නෙ හමුවීම් වෙන්වීම්වල එකතුවක් කියලා ඔයාටත් ජීවිතේ හුඟාක් තැන්වලදී හිතිලා ඇති. ඒ හමුවීම් වරෙක ජීවිතයේ කෙතරම් තීරණාත්මක සාධකයන් බවට පත්වෙනවද කියන එකත් ඔයා දන්නවා ඇති. ඒ හමුවීම් වරෙක අතිශය සංවේදීයි. අතිශය සුන්දරයි. ඒත් ජීවිතය නොහිතපු පල්ලමකට අතහරින්නත් ජීවිතය අහස තරම් උසකින් ඔසවා තියන්නත් ඒ හමුවීම්වලට පුළුවන්. හමුවීම් වෙන්වීම් ගැන ජේසුස් වහන්සේ බයිබලය තුළ හරිම ලස්සනට විස්තර කරලා තියෙනවා. ප්‍රේමය ගැනත් ඒ විදිහටම කියලා තියෙනවා. ප්‍රේමයේ ඉවසිලිවන්ත බව ගැන වගේම ප්‍රේමයේ උත්තුංග ගුණාංගත්, ප්‍රේමයේ දුර්වලතාත් උන්වහන්සේ අපූරුවට විවරණය කර තිබෙනවා. බුදුන්වහන්සේත් බොහෝ පුළුල් සහ ගැඹුරැ විදිහට ප්‍රේමයත් හමුවීම් සහ වෙන්වීම් ගැනත් මිත්‍රයන් ගැනත් විවරණය කළා. උන්වහන්සේ මිත්‍රයන් පිළිබඳව දුන් විවරණය ජීවිත යාත්‍රාව පුණ්‍ය තීර්ථයක් වෙත යාත්‍රා කරවන්න කදිම හබලක්. කල්‍යාණ මිත්‍රයන් සහ පවුකාර මිත්‍රයන් වෙන්කර හඳුනාගැනීමේ නිසි ක්‍රමවේදය උන්වහන්සේ බොහොම යථාර්ථවාදීව බුද්ධ දර්ශනය ගැඹුරෙ පැහැදිලි කරනවා.
නබිතුමා ශුද්ධ වූ කුරාණයේ එක තැනක මෙහෙම කියනවා. තනිකමට වඩා යහපත් මිත්‍රයන් හොඳයි. නරක මිත්‍රයන්ට වඩා තනිකම හොඳයි. නිහඬව ඉන්නවට වඩා කතා කරන එක හොඳයි. නමුත් නරක දේ කතා කරනවට වඩා නිහැඬියාව හොඳයි කියලා. තවත් වෙලාවක මිනිසුන් අතර යහපත්ම තැනැත්තා කවුද කියලා නබිතුමාගෙන් තව කෙනෙක් ප්‍රශ්න කරද්දී නබිතුමා කියනවා ඔබට ආදරය, කරැණාව, ඉවසීම, සද්ගුණවත්කම කියා දෙන ඔබේ මිත්‍රයා යහපත් තැනැත්තා වේ කියලා.
අවසාන අර්ථයෙන් ගත්තම මේ ලෝකයේ සියල්ල දුකක්. සියලු හමුවීම් කෙළවර වෙන්නේ වෙන්වීමකින්. එහෙත් සමහර හමුවීම් අපි සංසාර ප්‍රාර්ථනාවක් කරගන්නවා. ඒ තරමට ඇතැම් බැඳීම් කෙරේ අපි ආශක්ත වෙනවා. ජීවිතයම ඒ බැඳීම් තුළ කේන්ද්‍රගත වී ඇතැයි විශ්වාස කරනවා. එහෙත් ආවොතින් යා යුතුයි. ඒක තමා නියත දහම. එහෙත් මරණය තෙක් වින්දනය කළ යුතු ජීවිතේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය පරමාදර්ශයක් කරගන්න. ඒක හදවතට පුදුමාකාර සතුටක් සහ ශක්තියක්.
ජීවිතයට හුඟාක් ළංවෙලා හිටිය යාළුවෙක් අතීතයේ දවසක මට මෙහෙම දෙයක් කීවා. පොත්පත් ජීවිතේ හොඳම යාළුවා කරගන්න. හොඳ පොතක් කියන්නෙ කල්‍යාණ මිත්‍රයෙක්. එහෙම කියපු යාළුවා අද මගේ ජීවිතේ අහලකවත් නෑ. මතකයේ හැරෙන්න. සැතපුම් සියදහස් ගණනක් ඈත යුරෝපේ රටක අද එයා අලුත් ජීවිතයක. වෙනස් ජීවිතයක.
හමුවීම් වෙන්වීම් එහෙමයි. කවුද දන්නෙ කවුරු කවදා එයිද ඇවිත් කවදා යයිද කියලා. ඒත් මට හිතෙනවා කිසිම හමුවීමක් දෛවයෝගයක් මිස අහම්බයක් නෙවෙයි කියලා.
►Sanju