2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා

මේ තරම් සියුමැලි ද කළුගල්

 2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 1591

මේ තරම් සියුමැලි ද කළුගල් - හිතන්නටවත් බැරි නිසා          
මම ගියා අවුකන බුදුන්ටත් - දෑස් දුන් මිනිසා සොයා

තිසා වැව ළඟ ඉලුක් හෙවණක - මැටි පිළක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු - මැරෙන ඉපදෙන රළ දිහා

ඉසුරැමුණියේ නුඹ තැනූ - පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු - තවම තනිකඩයැයි කියා

ගේය පද - රජී වසන්ත වෙල්ගම
සංගීතය - දර්ශන රැවන් දිසානායක
ගායනය - සුනිල් එදිරිසිංහ

සිංහල ගීතාවලියට මෑත කාලයේ දී එක්වූ මෙම ගීතය, බෞද්ධ ශික්ෂණයෙන් හැඩගැන්වුණු කලාකරැවාගේ භෞතික සාර්ථකත්වය සහ අධ්‍යාත්මික පොහොසත්භාවය විදහාපාන දුර්ලභ ගණයේ ගීතයකි.

මේ තරම් සියුමැලි ද කළුගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා

ගීතයේ මෙම කොටසේ එන මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා යන පද්‍ය පාඨය ප්‍රබල ප්‍රකාශනයකි. දෑස් දීම යන පද සංඝටනාව බෞද්ධ සාහිත්‍යය තුළ විවිධ අවස්ථා පිළිබඳව සිහි එළවයි. සුභා තෙරණී කෝක වැද්දාට සිය දෑස උදුරා දෙයි. එයින් වැද්දා තමා කළ අනුවණකම පිළිබඳව කලකිරීමට පත්වෙයි. සැබැවින්ම වැද්දා නියම ලෙසින්ම දෑස් ලබන්නේ එකී අවබෝධය ලැබීමෙන්ය.

දෑස් දීම ඒ අදහසින් අපේ ජනවහර තුළත් භාවිත වනු දැකිය හැකිය. මගේ ඇස් පෑදුවේ එතුමායැයි පැවසීමෙන් අදහස් කරන්නේ ද ජීවිතාවබෝධය ලැබීමක් පිළිබඳ සංඥාර්ථයකි. මෙහි එන අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසායැයි යෙදීම මගින් පැරුණි කලාකරැවාගේ බෞද්ධ දර්ශනය පිළිබඳව තිබූ අවබෝධය පිළිබඳව සංඥාර්ථ දනවයි.
බුදුන් වදහළ පළමු සූත්‍ර දේශනාව ලෙසින් සැළකෙන ධම්ම චක්කපවත්තන සූත්‍රයේ ද 

ආලෝකෝ උදපාදි - චක්කුං උදපාදි
විද්‍යා උදපාදි - ප්‍රඥා උදපාදි 

ආදී වශයෙන් සඳහන් වෙයි. එහි ද ඇස පහළ වීම ලෙස සූත්‍ර දේශනාවේද සංඥාර්ථ ගන්වන්නේ ජීවිතය පිළිබඳ යථාවබෝධයයි. මුල් පද්‍ය කොටසම බෞද්ධ සංඥාර්ථවත් ප්‍රකාශනයන් බහුල ප්‍රබන්ධයකි.
කලාකරැවා සතු ධර්ම ඥානය හුදු දැනුම් සම්භාරයක් පමණකට සීමාවූවක් නොව, ජීවන භාවිතාව තුළින් ද යථාර්ථයක් කරගත්තක් බව දෙවන කොටසේ පද සංරචනය වීමංසනයේ දී හෙළිවෙයි.

බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරන ප්‍රතිමා ශිල්පියා හුදු පූර්ව කෘතියක පිටපතක් නෙලන්නකුට වඩා බුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික ගුණ සමුදාය නැණැසින් දැක එය ප්‍රතිමාව මතුයෙහි ප්‍රතිනිර්මාණය කරන්නෙකි. ඒ බව කීර්තිමත් චිත්‍ර මූර්ති ශිල්පියෙක් වූ මංජු ශ්‍රි කලාකරැවාණන් ද වරෙක ප්‍රකාශ කර ඇත.

මා ඇසූ විට හිනැහුණා ඔහු - තවම තනිකඩයැයි කියා

 

බුද්ධ රෑපෙ හදනකොටත් ඒ විදියටමයි කරන්න ඕන. වෙන මුකුත් නෑ බුද්ධ රෑපෙ විතරයි පෙනෙන්නෙ. බුද්ධානුස්මෘති කියන එකේ තේරැම බුද්ධ රෑපෙයි බුදු ගුණයි ඔක්කොම එක්කාසු කරලා කල්පනාවට ගැනීම. ඔය අවුකන බුදු පිළිමෙ නෙළපු තැනැත්තාට මේ ධ්‍යානය හරිහැටි අවබෝධයක් කරගන්ට බැරි වුණා නම් ඒ විදියට පිළිමය නෙළන්ට හැකියාවක් ඇති වෙන්නෙ නෑ.

දිසානායක, ජේ.බී (1991) සිංහල බුදු සමය..පි.9
මෙම විග්‍රහයට අනුව ද බුද්ධ ප්‍රතිමා නෙලීම යනු බුදුන් මනසින් මවාගෙන කරනු ලබන දැහැන්ගත ව්‍යායාමයකි. ඒ සඳහා ප්‍රතිමා ශිල්පියා සතුව බුදුන් වදහළ සද්ධර්මය පිළිබඳ දැනුමක් අවබෝධයක් තිබීම අවිවාදිතය.

තිසා වැව ළඟ ඉලුක් හෙවණක
මැටි පිළක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

ප්‍රතිමා නිර්මාණ ශිල්පියා සතු ගුණාංග පිළිබඳව ගීතයේ මෙම කොටසින් ප්‍රබල ලෙස සංඥාර්ථ ගැන්වෙයි. තිසා වැව ළඟ ඉලුක් හෙවණක මැටි පිළක පැදුරක් එලා යැයි පැවසීමෙන් සංඥාර්ථ ගැන්වෙන්නේ කලාකරැවාගේ ජීවිතය තුළ ඇති අල්පේච්ඡ ස්වභාවයයි. ඔහුගේ ජීවිතය බහු භාණ්ඩීය සුඛ විහරණයෙන් වල්මත් වූවක් නොවේ. එවැනි ලෞකික ජීවනාශාවන්ගෙන් ආශක්ත මිනිසකුට බුදු ගුණ කැටිකර ගත් ප්‍රතිමා නිර්මාණයක් නිර්මාණය කළ නොහැකිය.

රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙණ උපදින රළ දිහා

මේ පද්‍ය පාඨය එකී අල්පේච්ඡ ජීවන ශෛලිය පිළිබඳව තවදුරටත් අපූර්ව ලෙස සංඥාර්ථ ගන්වයි. ඇඟේ පතේ විඩාව තමා විසින්ම පිරිමැද සංසිඳුවා ගන්නා ඔහු බලා සිටින්නේ මැරෙන ඉපදෙන රළ දිහාය. 
සකල ලෝක ධාතුවෙහිම අනිත්‍ය බව බුද්ධ දේශනාවේ හරය ලෙස බෞද්ධ සාහිත්‍යයේ නිරතුරැව අවධාරණය කෙරෙයි. උත්පාද ථිති භංග යන ධර්ම පාඨය ගීතයේ මැරෙන ඉපදෙන රළ යන යෙදුම ඇසෙන සැණින් සිහියට නැගෙයි. ජීවිතය පෙණ බුබුළක් සේ පැන නැගී පැවත බිඳී යයි. මෙම ගීතයේ එන ප්‍රතිමා ශිල්පියා බලා සිටින්නේ වැව් දිය මත නැගී බිඳීයන රළ දෙසය. එය අනිත්‍ය සංඥා පූර්වක භාවනාමය ක්‍රියාවකි. සැබෑ බෞද්ධ කලාකරැවාගේ සමස්ත ජීවිතයම බෞද්ධ පිළිවෙතින් සකස් වී ඇති බව ඉන් තවදුරටත් ප්‍රත්‍යක්ෂ වෙයි.

රිදුම් පිරිමදිමින් බලයි ඔහු - මැරෙන ඉපදෙන රළ දිහා

 

ගීතයේ තුන්වන පද්‍ය ඛණ්ඩය මගින් කියැවෙන්නේ සැබෑ ජීවිතාවබෝධය ලබන්නා බහුභාණ්ඩීය ජීවන දැක්මෙන් ඈත්ව ජීවත්වන බවයි. ඔහු අල්පේච්ඡ දිවි පැවැත්මෙහි හරය හඳුනා ගනියි. ඉසුරැමුණියේ නුඹ තැනූ පෙම්බරිය යන්නෙන් අදහස් වන්නේ කලාකරැවාගේ සාමාන්‍ය දිවිපෙවෙත තුළ ඔහු හමුවන ප්‍රේමය පිළිබඳ සංඥාවකි. ලෞකික ජීවිතය හා බැඳුණු ගේහසිත ආශාවන් පිළිබඳව උනන්දුවෙන් කල් නොයවන මෙවන් කලාකාමී යෝගී ජීවිතයකට ආසන්න මනෝභාවයකින් කල් අරින පරමාර්ථ කලාකරැවන් කෙරෙන් ප්‍රේමය පලා යයි. කාමභෝගී ජීවිතය පිළිබඳ සිහින නොදකින ආධ්‍යාත්මයක් හිමි මෙවැනි උතුමන් ගේහසිත ආශා සැහැල්ලුවෙන් බැහැර කරයි. මා ඇසූ විට හිනැහුණා ඔහු යන පද්‍ය පාඨයෙන් පිළිබිඹු වන්නේ ඔහු ඒ සියල්ල බැහැර කළ බව ඇඟවෙන අපූරැ සංඥාර්ථයකි.
 

♦ ගයා රම්‍ය අල්විස්

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00