2017 ජුලි 29 වන සෙනසුරාදා

ට්‍රම්ප්ගෙන් බ්‍රිජට්ට පැණි TALK එකක්

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 70

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ රාජකාරි කටයුතු ආරම්භ කළේ තම සම්ප්‍රදායික හිතමිතුරන් රැසක් සමඟ යම් නෝක්කාඩුවකට යමිනි. ඔහුගේ ප්‍රකාශ හා ක්‍රියාකලාප බටහිර සෙසු බොහෝ නායකයින් විසින් හෙළා දැක තිබුණේ ජනාධිපතිවරණය පැවැත්වීමටත් පෙර සිටම ය. තමන්ගෙන් ඈත්වී යමින් තිබෙන යුරෝපා සම්බන්ධතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් ට්‍රම්ප් පසුගියදා ප්‍රංශ සංචාරයක ද නිරත වුණේය. ඒ ප්‍රංශ දින ජාතික උත්සවයට ද එක්වෙමිනි.

පැරිසිය හෙවත් ප්‍රේමයේ අගනුවරට ට්‍රම්ප් සැපත් වූයේ තම බිරිඳවන මෙලානියා ට්‍රම්ප් සමඟ ය. 71 හැවිරිදි ට්‍රම්ප් සහ 47 හැවිරිදි මෙලානියා තම නිල සංචාරය අරඹමින් ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රෝන් මුණගැසුණේ සුවිශේෂී ස්ථානයකදී ය. Des Invalides නම් වූ එම හෝටලය නැපෝලියන් බොනපාට් ඇතුළු ප්‍රංශ යුද වීරයින් රැසක් එම භූමියේ මිහිදන් කොට තිබේ. 

එහිදී ප්‍රංශ ජනාධිපතිවරයා හා ආර්යාව අමෙරිකානු ජනපති යුවල පිළිගනු ලැබුවේ ඉතාමත් උණුසුම් අයුරිනි. ප්‍රංශ ජනාධිපතිවරයා ට්‍රම්ප්ට ආචාර කරමින් මෙලානියාට මෘදු හාදුවක් ලබාදෙමින් ආචාර කළ අතර ට්‍රම්ප් ජනපතිවරයා ප්‍රංශ ජනපති ආර්යාව වූ බ්‍රිජට්ගේ දෑතින් අල්ලා ඇයට ආචාර කිරීමට තරමක් වේලා ගත්තේ ය. ඇහි බැම ඉහළට ඔසවමින් ඔහු ඇයට ආචාර කළේ ඇගේ අත තදින් මිරිකමිනි. 


අනතුරුව හෝටල් භූමියේ කෙටි සවාරියකින් පසු නැවත හෝටල් ආලින්දයට පැමිණි ප්‍රංශ හා අමෙරිකානු ජනාධිපතිවරු එකිනෙකා හා සුහද පිළිසඳරක යෙදෙමින් සිටි අතරම ජනපති ආර්යාවන් දෙදෙන ද සිනාමුසු මුහුණින් ජනාධිපතිවරැන්ගේ කතාබහට සවන් දී සිටියහ. එක්වනම තමන් කරමින් සිටි කතාව නැවැත්වූ ට්‍රම්ප්, ප්‍රංශ ජනපති ආර්යාව දෙසට හැරැණේ ය. මඳක් හිස ඇල කරමින් ඇයට ආචාර කළ ඔහු ඇගේ ශරීරය අගය කරන්නට වීය. 
“You’re in such good shape” (ඔයාගෙ සිරුර බොහොම හැඩයි)

ප්‍රංශ ජනපති ආර්යාවට පැවසූ ට්‍රම්ප් අනතුරුව ප්‍රංශ ජනපතිවරයා දෙසට ද හැරී එයම ප්‍රතිරාව කළේය.  “ඇගේ සිරුර බොහොම හැඩයි”. 


“ගොඩක් සුන්දරයි” ඔහු නැවතත් බ්‍රිජට් දෙසට හැරී සෙමෙන් පැවසුවාය. 
මේ අවස්ථාවේ මාධ්‍යවේදීන් හුන්නේ ප්‍රංශ ජනපති ආර්යාවට පිටුපා නිසා එහිදී ඇය පැවසූයේ කුමක්ද යන්න පැහැදිලිව නෑසුණ මුත් ට්‍රම්ප්ගේ හදිසි ආලවන්ත ප්‍රකාශය නිසා ඇය මහත් අපහසුතාවට පත්වූ වග නම් පෙනෙන්නට තිබිණ. ඇය මෙලානියාට තරමක් මුවාවූයේ ද එම අපහසුතාවය නිසා වන්නට පුළුවන. 

ප්‍රංශ රජයේ නිල වෙබ් අඩවිය තුළ මෙම සිදුවීම හොඳින් ප්‍රදර්ශනය කර තිබුණු අතර එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන්නට පටන්ගැනීමත් සමඟ දස දෙසින් ට්‍රම්ප්ට විවේචන එල්ල වන්නට විය. 
මීට පෙර ජනාධිපතිවරණ සමයේ සිට විවිධ කාන්තාවන් හා ඔවුන් අඳින පළඳින ආකාරය සම්බන්ධයෙන් නිර්දය විවේචන සිදුකරන්නට ට්‍රම්ප් කටයුතු කර තිබීම මෙම බොහෝ විවේචනවලට පාදක විය. ඔහු මීට පෙර තම ප්‍රතිවාදී අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන් මෙන්ම සරාගී නිරූපණ ශිල්පිනියක වන කිම් කාර්ඩේෂියන් සම්බන්ධයෙන්ද ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක්ම සිදුකර තිබුණි. 

මේ නිසා ලොව පුරා කාන්තාවන්ගෙන් ට්‍රම්ප්ට දරුණු විවේචන එල්ල වෙමින් තිබේ. ට්‍රම්ප් යම් ස්ත්‍රියකගේ ශරීරය වර්ණනා කිරීම යනු එම කාන්තාවන්ට කරන නින්දාවක් යන්න ඇතැමුන්ගේ අදහස වී තිබේ. 
ප්‍රංශ ජනපති ආර්යාව ජනපතිවරයාගේ තරුණ අවධියේ සාහිත්‍ය ගුරුතුමිය ය. තම දියණියගේ වයසේ පසුවූ එම්මානුවෙල් මැක්‍රෝන් හා විවාහ වූ ඇය සමාජයේ බහුතරයකගේ සිතිවිලිවලට අනුව අසම්මත පෙමක පැටළුණු කාන්තාවකි. මේ අතර තම තෙවැනි විවාහයේ මිහිර විඳිමින් සිටින ඩොනල්ට් ට්‍රම්ප්ට ආලයේ අගනුවරදී ආලවන්ත සිතිවිලි පහළ වීම ද අරුමයක් නොවේ. 

► Text - Rajitha 

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00