2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

ඔයා ඇක්ට්‍රස් කෙනෙක්ද?

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 352

ළඟදි රූගතකිරීම් ආරම්භ කළ ටෙලි නාට්‍යයක ෂූටිං ගොඩාක්ම තිබුණෙ බණ්ඩාරගම පැත්තෙ.
ඒකෙ ප්‍රවීණ නළු නිළියො වගේම නවක කට්ටියත් හිටියා. වැඩ පටන් අරන් තුන්වෙනි දවසෙ සෙට් එකට අලුත් නවක නිළියෙකුත් සම්බන්ධ වුණා. 

එදාම රාත්‍රී කෑම කන අතරතුර එයා ළඟම ප්‍රවීණ රංගන ශිල්පිනියක්.
ඔයා මොනවද අක්කෙ මේකෙ කරන්නෙ? අර නවක නිළිය ප්‍රවීණ ශිල්පිනියගෙන් ඇහුවලු. 
මම මේකෙ රඟපානවා.

ඔහ් රඟපානවද? ඔයා ඇක්ට්‍රස් කෙනෙක්ද? එහෙම පේන්නෙනම් නෑ හැබැයි...
ප්‍රවීණ නිළිය දත්මිටි කාගෙන ඉවසගෙන හිටියලු.

ඔන්න දැන් ඉන්න නවකයින්ගෙ තරම. තමන්ගෙ ක්ෂේත්‍රයේ ඉන්න අයවත් අඳුරන්නෙ නැහැ.

 

ධර්මයුද්ධය බලන්න පුදුම යුද්ධයක්

පළවෙනි සති දෙකේම කෝටි දෙකක ආදායමක් උපයාගත් ධර්මයුද්ධය චිත්‍රපටය දැන් අතිසාර්ථකව තිරගතවීම ගැන සිංහල සිනමාව ගැන කැක්කුමක් තියෙන කවුරුත් ඉන්නෙ සතුටින්ලු.

චිත්‍රපටය ලස්සනට හදලා තියෙනවා. නළු නිළියො ටික ලස්සනට හසුරුවලා තියෙනවා. ඒ නිසානෙ දස දහස් ගණනින් සිනමා ලෝලීන් පොරකාගෙන චිත්‍රපටය බලන්න එන්නෙ. 

ඔන්න 70 දශකයෙ දේශීය සිනමාවෙ ස්වර්ණමය යුගය දැකලා නැති අයට ධර්මයුද්ධය පෙන්නන හෝල්වලට ගිහින් බැලුවනම් තේරෙයි. 

වැඩේ කියන්නෙ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ ඉන්දියානු අධ්‍යක්ෂකවරයෙක්. වෙන රටක් නියෝජනය කළාට අපේ රටේ නළු නිළියන්ගෙ සැබෑ දක්ෂතා හොඳින්ම උකහාගෙන තියෙනවා.

 

හෝ... වැස්ස වහිනවා

සමහර ගායක ගායිකාවන්ට ඒ අය කැමති සින්දු වගේම මොකක් හරි හේතුවකට අකමැති සින්දුවක් තියෙන බව සමහරු නොදන්නවා ඇති.

ධර්මරත්න සහෝදරයෝ කැලිප්සෝ ගායක කණ්ඩායම නියෝජනය කරන අති දක්ෂ ගායන ශිල්පී හා සංගීතවේදී මෙල්රෝයි ධර්මරත්නටත් ඒ වගේ අකමැති සින්දුවක් තිබෙන බව ඔහු ළඟින්ම ඇසුරු කරන සංගීත ලොවේ හිතවතුන් නම් දන්නවා. 

ධර්මරත්න සහෝදරයෝ ගායනා කළ ඉතාම ජනප්‍රිය සින්දුවක් තමයි හෝ... වැස්ස වහිනවා කියන ගීතය. 
ඒත් මෙල්රෝයි ධර්මරත්න නම් මේ සින්දුව වේදිකාවෙ ගායනා කරන්න ඉතාම අකමැතියි. හේතුව මේ සින්දුව ගායනා කරන හැම වාරෙම ලෝකෙ කොහේ හිටියත් ඇත්තටම වහිනවා. 
බොරුනම් මෙල්රෝයි හම්බවුණු වෙලාවක අහලා බලන්න.  

 

සස්ටජන් එහෙම ගන්නෙ නැතෑ?

මේකත් ෂූටිං සම්බන්ධ තවත් කතාවක්. මේක රූගතකිරීම් සැලසුම් කරලා තිබුණේ ප්‍රධාන නගරයේ ඉඳන්  කිලෝමීටර් 25ක් විතර ඇතුළෙ ගම්මානයක. සති තුනක් එක දිගට ෂූටිං නිසා මේ අයට අවශ්‍ය වියළි ආහාර හා අනෙකුත් අවශ්‍යතා ගන්නෙ ළඟම ටවුමෙ තියෙන ලොකුම කඩෙන්. 

ඔන්න නිෂ්පාදන අංශයේ දෙන්නෙක් මුල්ම සතියෙ ගියාලු බඩු ගන්න. බඩු තෝරන්න, කිරන්න, සල්ලි ගන්න ඉන්නෙ එක්කෙනාලු.
මැදිවියේ පසුවුණත් හරිම හිමින්ලු වැඩ ටික කරන්නෙ. මේ දෙන්නට දැන් පැය දෙකක් තිස්සෙ බඩු දෙනවලු. දෙන්නට මල පැනලා ඉන්න වෙලාවෙ මුදලාලි අහනවලු වෙන මොනවද ඕනෙ? සස්ටජන් එහෙම ගන්නෙ නැතෑ?
මුදලාලි ඔයාම සස්ටජන් එකක් අරගෙන බොන්න. ඈලි මෑලි දුබල ගතිය ඇරිලා යන්නත් එක්ක නිෂ්පාදන කළමනාකරු කිව්වලු.

 

 

අයියෙ මගෙ නම අමතක වුණාද?

එක්තරා තරුණ ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් පසුගිය දවසක එයාගෙ අලුත්ම ටෙලිනාට්‍යයේ වැඩ ආරම්භ කළ බව ඔහුගේ මුහුණු පොත හරහා දැනුම් දීලා තිබුණා. 
ඔන්න ඒ පොස්ට් එකේම ටෙලිනාට්‍ය රූගතකිරීම් පටන් ගන්න කාල වකවානුව හා ඊට සම්බන්ධවන නළුනිළියන්ගේ නම් ගම්ද ඇතුළත් වෙලා තිබුණා.
ඒ පොස්ට් එකට බොහෝ අය සුභ පතලා කොමෙන්ට්ස් කරල තිබුණා.

ඒ අතර එක්තරා නවක නළුවෙක් මෙහෙම කොමෙන්ට් එකක් දාලා තිබුණා.
“අයියෙ නළු නිළි ලැයිස්තුවෙ මගෙ නම දාන්න අමතක වුණා නේද?
ඒකට අධ්‍යක්ෂවරයා පිළිතුරු දීලා තිබුණෙ මෙහෙම.

“අමතක වුණේ නෑ මල්ලි. උඹ මේකෙ නැහැ. අර හිතන් හිටිය චරිතෙට උඹව ගැලපෙන්නෙ නැහැ කියලා පස්සෙ හිතුණා.
ඔන්න ඔහොමයි මල්ලි කෙනෙක් කැපිලා පේන්න ගිහින් පෙනිලා කැපුනේ.

අනේ මේක ඉවත දමන්න එපා

අපේ රටේ තිරකතා රචකයින්ගේ විශාල හිඟයක් තියෙනව කියලා කිව්වට, හොඳ තිර රචනා ලියන්න ලොකු වුවමනාවක් තියෙන කට්ටියත් ඉන්න බව පිළිගන්න ඕනෙ. මේකත් ඒ වගේ හොඳ තිරකතා ලියන්න ලොකු උණක් තියෙන කෙනෙකුගෙ කතාවක්.

මෙයා ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකවරුන්ට කතා සාරාංශ ලියලා එවනවලු. වෙලාවකට මේ නිෂ්පාදකවරු හොයාගෙන ඒගොල්ලන්ගෙ ගෙවල්වලට, කාර්යාලවලට ගිහිං එයා කතා පිටපත් දෙනවලු. ඒ හැම කතා පිටපතක්ම ඔහු පටන් ගන්නෙ “අනේ මේක ඉවත දමන්න එපා කියලලු. 

ඔන්න එක නිෂ්පාදකවරයෙකුට විතරක් ඔහු මේ වගේ කතා සාරාංශ 10ක් විතර එවලා තියෙනවලු. ‍වෙලාවක් වෙන්කරගෙන මේ තිරකතා රචකයා නිෂ්පාදකවරයා මුණගැහෙන්න ඔහුගේ කාර්යාලයට ගියාලු. 
“කෝ ඉතිං ඔයා එව්වැයි කිව්වට මට ඔයාගෙ කතා මුකුත්ම ලැබිලා නැහැනෙ. පුළුවන්නම් මට දැන්ම ලස්සන කතා සාරාංශයක් ලියලා දෙන්න. ඔය ට්‍රේ එකේ ඇති අයින් කරන කොළ සෙට් එකක්, ඒකෙන් කොළ ටිකක් අරගෙන ලියන්න... නිෂ්පාදකවරයා කී ලෙසටම ඔහු අර ට්‍රේ එකෙන් කොළ ටිකක් අරගෙන කතාව ලියන්න පටන් ගත්තලු. නිකමට වගේ අර කොළ ටිකේ අනෙක් පැත්ත කියෙව්වම ඔහුට තරු පෙනුනලු. ඒ ඔහු විසින්ම මේ නිෂ්පාදකවරයාට ලියලා එවපු කතා සාරාංශලු. 

 

► Text – Mithra