කුලී රිය වේගයෙන් මං මාවත් අතරින් ඇදී ගියා. ළා කොළ පැහැති තණකොළ පිරුණු ඈත මිටියාවතේ කෙළවරක සිටියේ අශ්වයන්. උන් උස් හඬින් හේෂරාවය නංවමින් හිටියා. මඟ දෙපස සැදුම් ගෙන තිබුණේ ජැම්සන් සහ තද කහපැහැති ඩේලියා මල් ගස් වලින්. වලාකුළු පුළුන් පැහැයෙන් දිලිසෙමින් සැහැල්ලුවෙන් පාවෙමින් තිබුණා. ඒත් ඒ රන් පැහැ උදෑසන සුන්දරත්වය විඳගන්න තරම් සැහැල්ලු මනසක් මා සතුව තිබුණෙ නෑ. මම තදින් දෑස් පියා ගත්තා. මොහොතකින් මගේ මතකයට පැමිණියේ ආදේශ් සමඟ ගත කළ සැහැල්ලු චමත්කාරවත් සන්ධ්‍යාවන් ගැන මිහිරිතම මතකයන්. ජීවිතේ සියලු බර පසෙකින් තබා අපි උද්‍යානයන්හි ඇවිදමින් ගත කළ ප්‍රීතිමත් හැන්දෑවන් මගේ මතකයට බොහෝවර ගොඩවැදුනා.
ජීවිතයේ බොහෝ විඩාබර තත්ත්පර මා ගෙවා දැම්මේ ඒ ප්‍රේමණීය මතකයන් එක්ක. බොහෝ දුර බැහැර පෙදෙස්හි ඇවිද ගිය අප ඉන්පසු නවාතැනට පැමිණ ගිමන් හැර නාන තටාකයට වී තවත් පැයක් පමණ නිවී සැනසිල්ලේ කාලය ගත කළා. ඉන්පසු ආදරණීය පැය ගණන් ගෙවී ගියේ වයින් විස්කි කජු සහ චීස් සමඟ. කජු සහ චීස් කමින් අපි බොහෝ වේලා විස්කි නැත්නම් වයින් පානය කළේ දිගු සල්ලාපයක් සමඟ. දෙවියනේ අද ඒ සියල්ල සිහිනයක්ම පමණක් නොවේද? මගේ දෑස් සීතලෙන් තෙත් වෙනු මට දැනුණා.
කුලී රිය ජානාගේ ගේ දොරකඩ නවත්වනතුරුම මා සිටියේ නිමක් නැති අතීත මතක සමුදායක එල්ලීගෙන. ගමා කුලී රියෙන් බැස නිවෙසේ දොරකඩට ගියේ සැලෙන හදවතකින් යුතුව. ඈ මට දක්වන ප්‍රතිචාරය කවරාකාර වේද යන කුතුහලය මට දැඩිව වදදෙමින් තිබුණා.
දුල්යානා... උඹ ආයෙත් ඇවිත්... මා දුටුවනම ඈ පැවසුවේ පුදුමයෙන් වගේ...
ඇයි උඹ ගියේ...? උඹ ඇයි ඔය පල්ලිය අත්හරින්නේ නැත්තේ... උඹ දැන් එතෙන්ට අයිති නෑ... උඹ උඹට අයිති ජීවිතයක් වෙනුවෙන් මහන්සි වෙයන්. නැත්නම් උඹට හැමදාමත් ජීවත් වෙන්න වෙන්නේ හිස් අතින්.
මට තේරෙන්නේ නෑ මොකක් කරන්නද කියලා... කොහේ යන්නද කියලා... කොහොම වුණත් මම කොහේ හරි යන්න ඕනෑ...
කොහේ හරි කියන්නේ උඹටත් අර පිස්සු රෝස් වගේ මළවුන්ගේ ලෝකෙටද යන්න ඕනෑ...
මට ඕනෑ මැරෙන්ට නෙවෙයි ජානා ජීවත් වෙන්න... මැරෙන්න හිතුවනම් මැරෙන්න මට මගේ ජීවිතේ ඕන තරම් හේතු හම්බවුණා. ඒත් මම කවදාවත් උඹත් එක්කවත් ජීවිතේ ගැන මිසක් මරණය ගැන කතා කරලා තියෙනවද? මට ඕනෑ මැරෙන්න නෙවෙයි ජානා ජීවත් වෙන්න. මම මැරී මැරී හොයන්නේ මරණය නෙවෙයි ජීවිතය.
මට උඹත් එක්ක හරි තරහයි. උඹේ හිතුවක්කාරකම්වල කෙළවරක් නෑ. උඹට මම කීවා රස්සාවක් හොයා ගන්නකම් මෙහෙ ඉන්න දෙන්නම් කියලා. ඒත් මම රස්සාවට යනකම් ඉඳලා උඹ ආයෙත් පල්ලියට ගියා. මොනවද උඹට එහෙ ගිහින් හම්බුණේ. උඹ ආයෙත් උඹේ හිත අවුල් කර ගත්තා විතරයි...
ජීවිතේ ඊළඟට කරන්නෙ මොනවද කියලා තීරණය කරන්න ඉස්සර මට හොයාගන්න ඕන දේවල් තියෙනවා. නැත්නම් මගේ හිත නිදහස් නෑ...
අතීතයට වැලලෙන්න දීපන් දුල්යානා... අතීතය හොය හොයා විඳවන්න එපා.
අංජලී ජීවත් වෙනවද නැද්ද කියලා මට හොයාගන්න ඕනෑ...
උඹ ඇයි කාගෙවත් දරුවෙක් වෙනුවෙන් මෙච්චර වද වෙන්නෙ?
අංජලී කාගෙවත් දරුවෙක් නෙවෙයි...
තමන්ගේ කුසින් නොවදන හැම දරුවෙක්ම අනුන්ගෙ තමයි...
උඹ හිතන විදිහ හරි අසාධාරණයි. දෙවියනේ උඹ කොහොමද එහෙම හිතන්නේ?
එහෙම හිතුවනම් මගේ ඉරණමත් උඹේ ඉරණමෙන් වෙනස් වෙන්නෙ හරි ටිකයි...
මට කොතනද වැරදුණේ ජානා?
හුඟක් සංවේදී මිනිස්සුන්ට මේ ලෝකය හරියන තැනක් නෙවෙයි දුල්යානා. රෝස් මේ ලෝකෙන් යන්න ගියෙත් ඒ නිසා. අන්තිමට එයාටම එයාව දරාගන්න බැරුව ගියා..
ජානා මට මොකක් හරි රස්සාවක් හොයලා දෙන්න. මට ඉන්න පුංචි කාමරයකුත් හොයලා දෙන්න...
ඇයි උඹට මේ ගෙදර ඉඩ මදිද?
මේක උඹේ ගෙදර...
ගෙදර මගේ වුණාට මම පවුලක් තියෙන ගෑනියක් නෙවෙයිනේ?
ඒත් මට බෑ ජානා කාටවත් වදයක් වෙන්න...
මම උඹට ආදරෙනුත් කීවා සැරෙනුත් කීවා මට උඹ වදයක් නෙවෙයි. උඹ මගේ හිතේ පාළුවටත් එක්ක මෙහෙ නැවතියන්. හැබැයි ආයේ කවදාවත් උඹට පල්ලියට යන්න බෑ. අද සමාව දුන්නට ආයෙ කවදාවත් මගෙන් උඹට සමාවකුත් නෑ...