එංගලන්තය කියූ සැණින් කාගේත් මතකයට නැඟෙන්නේ රජ පවුල බවට සැකයක් නැත. අධිරාජ්‍යයක අතීත අභිමානය තවමත් ජීවමාන කරන මෙම රජ පවුලේ වැදගත්ම සාමාජිකයා මහ රැජන ය. ගිය සතියේදී රජ පවුලේ අලුත්ම සාමාජිකයන් දෙපළ වන පුංචි ජෝර්ජ් සහ චාලට් කුමර කුමරියන්ගේ වතගොත ගෙන ආ අපි මෙවර මහ රැජනගේ සුවිශේෂී ආහාර පුරුදු කිහිපයක් ගැන තොරතුරු සොයා ගියෙමු.
දැනට අනූ එක් හැවිරිදි වියෙහි පසුවන මහ රුජන සතුව පවතින්නේ ඇයටම ආවේණික වූ ආහාර හුරු පුරුදු ය. ඇය සුදු ලූණුවලට අප්‍රිය කරන තරම කොතරම් ද යත් මුළු බකිංහැම් මාළිගයටම ඇය සුදු ලූණු තහනම් කර ඇත. එමෙන්ම ඇයට තමාටම විශේෂිත වූ කේක් වර්ගයක් ඇත. සෑම දිනකම රාජකීය අරක්කැමියා විසින් සාදන චොක්ලට් බිස්කට් කේක් කැබැල්ලක රස බලන්නට ඇය අමතක කරන්නේ නැත.
මෙසේ තමන් ආසා කරන ආහාර අනුභව කිරීමට කිසිදු පැකිළීමක් නැති ඇගේ දෛනික ආහාර රටාව තුළ කොක්ටේල් වර්ගවලට ද හිමිව ඇත්තේ විශේෂ තැනකි. බ්‍රිතාන්‍ය පුවත්පත් පසුගියදා වාර්තා කළ ආකාරයට මහ රැජන දිනකට කොක්ටේල් හතරක් පානය කරන්නීය.
මේ පිළිබඳ කරුණු මාධ්‍යයට වාර්තා කර තිබුණේ වසර 15කට අධික කාලයක් බකිංහැම් මාළිගාවේ රාජකීය අරක්කැමියා ලෙස කටයුතු කළ ඩැරන් මැක්ග්‍රේඩි විසිනි. ඔහුට අනුව රැජන සෑම දිනකම උදෑසන ආහාරයට පෙර ජින් සහ Dubonnet මිශ්‍ර කොක්ටේල් පානයක් ගැනීමට හුරු වී සිටින්නීය. ඊට ලෙමන් හා අයිස් ද යහමින් එකතු වන බව කියැවේ.
රැජන තම දෙවැනි කොක්ටේල් පානය රස විඳින්නේ දිවා ආහාරය අතරතුරදී ය. ඒ ඩ්‍රයි ජින් මාටිනි වීදුරුවකි. ඒ සමඟ බොහෝවිට ග්‍රිල් කරනු ලැබූ මාළු ආදී ආහාරයක් ඇය දිවා කාලයේ කෑමට ගන්නීය.
දිවා ආහාරය අවසන් කිරීමට රැජන තෝරාගන්නේ වයින් වීදුරුවක් හා චොක්ලට් පෙත්තකි. එය බොහෝ දුරට ඇයටම ආවේණිකව වූ සිරිතකි. චොක්ලට්වලට ඇති ඇගේ විශේෂ ආශාව නිසාම වයින් හා චොක්ලට් එකට ගැනීමට ඇය හුරුවී සිටිනවා විය හැක. මේ අනුව සාමාන්‍යයෙන් දහවල් 1 පමණ වනවිට රැජන කොක්ටේල් වර්ග තුනකින් සප්පායම් වී සිටින්නීය.
දිවා ආහාරයෙන් පසු මීළඟ කොක්ටේල් පානය ලබාගැනීමට ඇය තවත් පැය කිහිපයක් ගත කරන්නීය. මෙම සිව්වැනි නැතහොත් අවසාන කොක්ටේල් වීදුරුව ඇය ලබාගන්නේ නින්දට මොහොතකට පෙර ය. එය ෂැම්පේන් වීදුරුවකි.
කොක්ටේල් වර්ගවලට අමතරව රැජනගේ තවත් ප්‍රියතම පානයක් ලෙස තේ සැලකේ. ඇය තේ පානය කිරීමේදී සැමන් හා පිපිඤ්ඤා සහිත තට්ටු කිහිපයක සැන්ඩ්විච් පෙත්තක් හෝ ජෑම් සැන්ඩ්විචයක් රස විඳීමට පුරුදු වී සිටින්නේ වසර ගණනක පටන් ය.
මේවාට අමතරව රැජන ආසා කරන කඩචෝරු අතර පළමු තැන ගන්නේ අනිකක් නොව චොක්ලට් ය. බොහෝ යුරෝපීය (ස්විස්) චොක්ලට් වර්ග ප්‍රිය කරන ඇය නෙස්ලේ සන්නාමය යටතේ එන චොක්ලට්වලට ද විශේෂ රුචිකත්වයක් දක්වන බව එංගලන්ත පුවත්පත් වාර්තා කරයි. තවද තම ආහාරවේල් අතරතුර ජනප්‍රිය අමෙරිකානු කෙචප් වර්ගයක් වන හෙයින්ස් කෙචප් ඊට එකතුකරගැනීමට ද ඇය විශේෂ කැමැත්තක් දක්වන බව වාර්තා වේ.
වසර 64ක් පුරාවට බ්‍රිතාන්‍ය කිරීටය දරා සිටින ඈ එංගලන්ත රජ පවුල තුළ අතිශය ජනාදරයට පත් චරිතයක් බවට සැකයක් නැත. ඇය නිතරම සතුටින් සිටින සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන තැනැත්තියක් බවට ද ප්‍රකට ය. ඉහත කී දෛනික ආහාර පුරුදු ද ඇගේ මේ තෘප්තිමත් ජීවන රටාවට හේතුවක් වනු ඇති බව නොඅනුමානය.
(අන්තර්ජාලය ඇසුරෙන්)
► Text - Rajitha