පුංචි පැලක තනියෙන් ජීවිතය ගෙවන ඇගේ දුක්බර ජීවිත කතාව හුඟක් හිත් ප්‍රකම්පනය කරන්න ඇති. ඇගේ කතාව අපි ඇහුවෙත් මාධ්‍යකින්. පුංචිම කාලේදී ඇගේ අම්මා තාත්තා ඇය තනිකර ගොස් තිබුණා. නෑදෑයෙක් කියලා කෙනෙක් හිතවතෙක් කියලා කෙනෙක් ඉන්පසු ඇගේ ජීවිතේ කොතනකදීවත් ඇයට මුණගැහිලා නෑ. ඇයට ජීවිතය දුන් දෙයක් නෑ.
ඒත් ඇය දෛවයට වෛර කළේවත් ජීවිතයට අනාදරය කළේවත් නෑ. සියලු අහිමිවීම් මැද ඇය ජීවිතය හෙව්වා. ජීවිතයට ආදරයෙන් ජීවිතය දිනන දවසක් ගැන අරමුණක් බලාපොරොත්තුවක් ඇති කර ගත්තා. පුංචි පැලේ කාත් කවුරැත් නැතුව ජීවත් වෙන ගමන් ඇය කන්න ටික හොයාගන්න ඉස්කෝලේ යන්න වියදම හොයාගන්න කුලීවැඩ කළා. ජීවිතය කියන සෙනසුන මත පහනක් දල්වන්න ඒ දුප්පත් ජීවිත හිමිකාරියට ඇති එකම මාර්ගය සාර සිප් මාවතේ ලබාගන්නා ජයග්‍රහණය වග ඈ විශ්වාස කළා. ජීවිතය නොහිම් ලෙස තිළිණ කළ හැම වෙහෙසකර කටුක දුක්බර අත්දැකීමක්ම සොඳුරු ලෙස බාරගත් ඇය කවදාවත් ජීවිතය අත්හරින්න හිතුවෙ නෑ. ප්‍රශ්නවලින් ගැලවෙන්න තියෙන එකම මාර්ගය මරණය කියලා විශ්වාස කළේ නෑ. විශ්වවිද්‍යාල උපාධිය, හොඳ රැකියාව, සල්ලි හැඩරුව හැමදේම තියන සමහර දියණියන් ප්‍රේමයෙන් පරාජිතවීම මරණය සොයයාමට හේතුවක් කරගනිද්දී, දොස්තර නෝනලා ඇඟට විස එන්නත් විදගෙන පරාජිත මානසිකත්වයෙන් ජීවිතය හැරයද්දී ඇය මොහොතක් මොහොතක් ගාෙණ් ජීවිතයම හොයමින් වෙහෙසුණා. උසස්පෙළ පන්තියේ ඉගෙනගන්න ඇගේ බලාපොරොත්තුව ගුරුවරියක් වීම. ඇය ගැන මාධ්‍ය වාර්තා කළාට පස්සේ ඇයට නිවහනක් තනාදෙන්න පරිත්‍යාගශීලී සිත් ඇත්තන් ඉදිරිපත් වී තිබුණා.
දවසකුත් මම ඔයාට කීවා වගේ අපි හැමෝටම අපේ කතාවක් තියෙනවා. ඒ කතා ඇතුළෙ අනන්ත දුක් වේදනා කඳුළු හැංගිලා තියෙන්න පුළුවන්. ඒ දුක් වේදනා කවදාවත් කෙනෙකුට නොදැනෙන්න පුළුවන්. හිනාවෙන හුඟක් ජීවිත ඇතුළෙ ගලා යන කඳුළු ගංඟා තියෙන්න පුළුවන්. ඒ කඳුළුවල තේරුම කියවන්න පුළුවන් වෙන්නේ ඒ හදවත් මත සිනහවක සලකුණු දිස්වෙන මොහොතක විතරයි.
මට හැමදාමත් හිතුණා ජීවිතය කියන්නේ කටුඅත්තක් කියලා. ඒත් ධෛර්යවන්ත හිත්වලට ඒ කටුඅතු අග්ගිස්සේත් මල් පුබුදුවන්න පුළුවන්. ජීවිතය සුන්දරයි කියලා හිතෙන්නේ දැනෙන්නේ එහෙම දවසකදී එහෙම මොහොතකදී එහෙම තත්පරයකදී....
එහෙම තත්පරයක් පැමිණෙන තුරු ජීවිතය අත්නොහැර ජීවත් වෙන්න. ඇය කියන කතාව ඒක...
ඔයා ඉගෙනගතුයුතු කතාවත් ඒක. මලක් පිපෙන තුරු කටු අත්ත අත්හරින්න එපා. මඟහරින්න එපා. ආදරයෙන් මගේම කරගෙන ඉන්න...
දවසක හිතෙයි ජීවිතය කොයිතරම් නම් සුන්දර ද කියලා.
I Sanju