හමුදා නිලධාරියෙක් වෙන්න සිහින මවලා ඒ සිහින බොඳ වෙද්දී ව්‍යපාර කටයුතු කරලා අවසානයේ ඔහුගේ උරුමය වූ කලාවයි අද ඔහුගේ ජීවිතය බබළවන්නේ. සිනමාව තුළ නම් ඔහු දුෂ්ඨයෙක්. නමුත් සැබෑ ජීවිතේදී නම් ඔහු බොහොම නිවුණු පුද්ගලයෙක්. නමින් ක්ලීටස් මෙන්ඩිස්.
පාසැල් කාලේ ඉඳන්ම කලාවට සම්බන්ධයිද?
නැහැ. මම පාසල් යන කාලේ නම් කලා කටයුතුවලට සම්බන්ධ වෙලා නැහැ. ඒ කාලේ ක්‍රීඩාවට තමා දක්‍ෂයි. කරාතේ සහ බොක්සිං පවා මම ඉගෙන ගත්තා.
කලාවට එන්න කැමැත්තක් තිබුණද?
ඇත්තම කියනවා නම් එහෙම කැමැත්තක් තිබ්බෙත් නැහැ. කලාවට යොමු වීම ඇත්තෙන්ම අහම්බයෙන් සිද්ධ වුණු දෙයක්. මම ආස කළේ හමුදාවට යන්න. මගේ යාළුවෙක් හිටියා රන්ජන් මෙන්ඩිස් කියලා ඉතින් මමයි මගේ යාළුවයි දැම්මා හමුදාවට බැඳෙන්න අයදුම්පත්. නමුත් මට සුදුසුකම් තිබ්බත් දේශපාලන බලපෑමක් නිසා මගේ නම කැපුණා. ඒකෙන් ඇති වුණු සිත් තැවුල නිසා මම ගියා වාරියපොළ කටුපොත ගමට. එහේ හිටියා මගේ නංගි කෙනෙක්. එහේ ගිහින් ව්‍යාපාර කටයුතු කරන්න පටන් ගත්තා. එතැන අවුරුදු 3ක් ඉන්නකොට තමා මේ කලාවට යොමු වුණේ.
අපි කලාවේ අරම්භය ගැන කතා කළොත්?
මෙහෙමයි, මම සිනමාවට එන්න කලින් ආවේ වේදිකාවට. මම වේදිකාවෙන් පැමිණි රංගන ශිල්පියෙක්. මොකද මම තරුණ කාලේ ඉඳන්ම අරක්කු සිගරට්වලට විරුද්ධයි. මම ඉතින් කළේ ගමේ තරුණයන් එකතු කරගෙන ක්‍රීඩාවට එහෙම යොමු කරලා සංගීත සංදර්ශන සංවිධාන කරලා ගමේ අය එක්ක අරක්කු සිගරට්වලට විරුද්ධව සමාජ වැඩසටහන් කළා. ඔය අතරේ මට හිතුණා වේදිකා නාට්‍යක් කරන්න. මම කලේ ගමේම අය එකතු කරගෙන වේදිකා නාට්‍යක් කළා එකේ මමත් ධීවරයෙකුගේ චරිතයක් කළා. ඒක දැකපු ගමේ කෙනෙක් මට කිව්වා ඔයාට හොඳට රඟපාන්න පුළුවන්නේ කියලා මාව කොළඹ එක්ක ගෙන ආවා ඔහුගේ හිතවතෙක් ළඟට. ඊට පස්සේ මේ ගැන මට හිත ගිහින් මම ගියා විශ්ව කලා සරසවි කියලා ගල්කිස්සේ තිබ්බ නාට්‍ය පන්තියක් ඒකට මම ගියා. එතැන ජයසේකර අපොන්සු මහතා හිටියා ගුරුවරයෙක් විදියට. එතැනින් පස්සේ වේදිකා ගමන පටන් ගත්තා මුලින්ම තට්ටු මාරුව කියලා නාට්‍යක් කළා. ඊට පස්සේ ටෝනි රණසිංහ මහතාගේ ජුලියස් සීසර් නාට්‍යයේ රඟපෑවා.
එතකොට සිනමාවේ ආරම්භය?
ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා කළ වීර පුරන් අප්පු චිත්‍රපටයෙන්. මගේ අයියා කෙනෙක් හිටියා තෝමස් පෙරේරා කියලා. එයා තමා මාව ලෙස්ටර් මහතා ළඟට අරන් ගියේ. එතැනදී රොබින් අයියා මගේ සටන් දැකලා මාව පුරන් අප්පුගේ හත්දෙනාගෙන් එක් කෙනෙක්ට දැම්මා. එතැනින් තමා සිනමාවේ ආරම්භය.
ඔබ මනමේ කුමරා විදියටත් රඟපෑවා නේද?
ඔව් මට මනමේ නාට්‍යයේ මනමේ කුමාරයා විදියට රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒක නම් මගේ ජීවිතේදී මම ලබපු ලොකුම භාග්‍යයක්. මොකද ඒ වෙද්දී මම සිනමාවට ඇවිත් තිබ්බේ සිනමාවේ එක දිගටම දුෂ්ඨ චරිත කරලා හෙම්බත් වෙලා ඉන්නකොට තමා මට සරච්චන්ද්‍ර මහත්තයාගේ මනමේ නාට්‍ය ලැබුණේ. එතුමාගේ ඇසුරත් එතුමාගෙන් ලැබුණු දැනුමත් එක්ක මට මිල කරන්න බැරි තරම් වටිනාකමක් ඒ චරිත නිරූපණයත් එක්ක මගේ ජීවිතේටත් එකතු වුණා.
රංගන ජීවිතේ හැරුවුම් ලක්‍ෂ්‍යයක් විදියට ලැබුණු චරිත මොනවද?
එහෙම චරිත කිහිපයක් තියෙනවා ඒ අතරින් විරාගය චිත්‍රපටයේ රඟපෑම මගේ රංගන ජීවිතේ හැරුවුම් ලක්‍ෂ්‍යයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමා ටෙලි නාට්‍ය පැත්තෙන් කිව්වොත් කඩුල්ල ටෙලි නාට්‍යයේ රඟපෑමත් මගේ රංගන ජීවිතේ ලොකු වෙනසක් ඇති කළා. ඒ නිසා ඒ චරිත දෙකම මගේ රංගන ජීවිතේ හැරුවුම් ලක්‍ෂ්‍යයක් විදියට හඳුන්වන්න පුළුවන්.
සිනමාවෙන් ටෙලි නාට්‍යටවලට එද්දී මොකද හිතුණේ?
සිනමාවේ දුෂ්ඨයාගෙන් මාව ගලවා ගත්තේ ටෙලි නාට්‍ය චරිතවලින්. ඒ නිසා මට දුෂ්ඨයෙක් හැටියට තිබුණු අප්‍රසාදය අඩු වුණා.
කොහොමද සිනමාවේ දුෂ්ඨයාට ලැබුණු ප්‍රතිචාර?
සිනමාවේ දුෂ්ඨයාගේ භූමිකාව නිසා සැබෑ ජීවිතෙත් බොහෝ දෙනෙක්ට මාව පෙන්නන්න බෑ. විශේෂයෙන්ම කාන්තාවන්ට. මට මතකයි එක දවසක් ආච්චි කෙනෙක් මහ මඟ සෙනඟ මැද පර බල්ලා කියලා මගේ කම්මුලට ගැහුවා. පස්සෙයි මට දැනගන්න ලැබුණේ එහෙම ගහලා තියෙන්නේ රජ දරුවෝ චිත්‍රපටයේ දුෂ්ඨයා හැටියට කළ චරිතය නිසා කියලා. ඒකෙ මම චිත්‍රපටයේ හැටියට මුළු පවුලක්ම විනාශ කළා. ඒ වගේම අනෝජාගේ මූණ පිච්චුවා. හරිම දරුණුම වැඩ කළා. කොටින්ම කියනවා නම් ඒ චිත්‍රපටය මම බලද්දිත් මට මම ගැනම එපා වුණා.
සැබෑ ජීවිතේ බොහොම නිවුණු පුද්ගලයෙක් වන ඔබ කොහොමද ඒ තරම් දරුණු වැඩ කරන්නේ?
රඟපෑමේදී මට එහෙම කරන්න සිද්ධ වුණා. මම විලන්ගෙ චරිතය කොහොම කළත් හීරෝව උඩට ගේන්න ඕනෑ. ඒ කොහොම වුණත් චෙරියෝ කැප්ටන් චිත්‍රපටයේ මංගල දර්ශනය ඉවර වෙලා එළියට එනකොට රසිකයෝ බදාගත්තේ හීරෝව නෙවෙයි මාව.
සිනමාවේ දුෂ්ඨයාට ගෙදරින් ලැබුණු ප්‍රතිචාර කොහොමද?
මගේ බිරිඳත් මට කියනවා ඔය තරම් දරුණු අපරාධ කරන චරිත නොකර ඉන්න බැරිද කියලා. ඒත් ඉතින් මේක රඟපෑමක් විතරනේ.
අමතක නොවන අත්දැකීම් ඇති?
මගේ ජීවිතේ මම ලැබූ අත්දැකීම් ගොඩක් තියෙනවා. ඒ අත්දැකීම් තමා අද මම මේ ඉන්න තැනට හේතු වෙන්නෙත්. මම ගොඩක් ඇලුම් කළ චරිතයක් විජය කියන්නේ මොකද ඔහුගෙන් මනුස්සකම ගැන ඉගෙන ගන්න බොහොමයක් දේවල් තිබ්බා. මට මතකයි මම මේ ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ දවසක් මම ගියා විජය කුමාරණතුංග එක්ක. ඒ යද්දී මඟ දිගට පුදුමාකාර ප්‍රතිචාර ලැබෙන්නේ එතුමාට. ඉතින් එයාට අත වනන හැමෝටම එතුමත් අත වනලා යන ගමන් මගෙන් ඇහුවා ඇයි මේ මිනිස්සුන්ට අත වනන්නේ නැත්තේ කියලා. මම කිව්වා ඉතින් ඒ ඔක්කොම ප්‍රතිචාර විජය අයියට නේ කියලා. එතකොට මට කිව්වා එහෙම කියන්න එපා ඔයාටත් කැමති අය ඉන්නවා. මේ ප්‍රේක්ෂකයෝ නැත්නම් අපිට මෙතන ඉන්න බැහැ. ඒ නිසා ඒ අය අත වනන්න කලින් අත වනන්න පුරුදු වෙන්න කියලා. මම එදා විජය අයියා කිව්ව දේ අදටත් කරනවා. මොකද නිහතමානීකමයි අවංකකමයි තිය්නෙනේ ඕනේ මනුස්සයෙක් තුළ එහෙම කෙනෙක්ට වරදින්නේ නැහැ.
රඟපෑමට විතරක් නෙවෙයි ඔබ ගායනයටත් දක්‍ෂයි නේද?
මම ගායනයට හුරු වුණේ විජය අයියගේ ගීත නිසා. විජය අයියා නැතිවුණු දා ඉඳලා ඒ හඬට සමානව මම සින්දු කිව්වා. කොටින්ම මම ඉස්සෙල්ලාම වාහනයක් ගත්තෙත් විජයගෙ සින්දු කියලා.
හමුදා නිලධාරියෙක් නොවී කලාවට යොමු වීම ගැන අද මොකද හිතෙන්නේ?
ඇත්තටම මම සතුටුයි. හමුදාවට එදා ගියා නම් පැවති යුධ තත්ත්වයත් එක්ක අද නැති වෙන්නත් පුළුවන්. මගේ ජීවිතේ හිතපු දෙයක් නෙවෙයිනේ මේ වුණේ නොහිතපු ගමනක් මම ආවේ. මම හිතන්නේ අද මම මෙතැන ඉන්නේ දක්ෂතාවයට මට තිබුණ වාසනාව එකතු වුණ නිසා. මොකද කලාකරුවෙකුට වාසනාව කියන දේ වැදගත්.
► Text — Anusha Ranasinghe