2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

දැහැන

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 120

ආදරය කියනනේ මරණයෙන් ඉනික්බිතිත් මිනිස්සු ඉල්ලා හිඳින, විඳින අත්දැකීමක් නේද කියලා BHOOTHNATH කියනවා. BHOOTHNATH කියන්නෙ හින්දී චිත්‍රපටයක්. භූතයන්ට මෙහෙමත් දේවල් කරන්න පුළුවන්ද? මේවා බොරු චිත්‍රපට. ෆිල්ම් එක බලද්දී ඔයාට එහෙම හිතෙන්න පුළුවන්. යථාර්ථය සහ මායාව ගැන චින්තනය පැත්තකින් කියලා ඒ චිත්‍රපටයෙන් කියන්න හදන ආදරය ගැන අතිශය සංවේදී කතාව හදවතින්ම කියවද්දී ආදරය ගැන දැනෙන හැඟීම හරිම චමත්කාරයි. ළෙන්ගතුයි. මිනිස්සු මළවුන්ගේ ලෝකයට ගියත් ආදරය අත්හරින්නේ නෑ.. මේ ලෝකයේ ජීවත් වෙද්දී ආදරය තෘප්තිමත් ලෙස වින්ද මිනිස්සු මරණයෙන් පස්සෙ සැනසීමෙන් තවත් ජීවිතයක් හොයාගෙන යනවා ඇති. එහෙත් ආදරයක් නොවින්ද මිනිස්සු මරණයෙන් පස්සෙත් හොයන්නෙ ජීවිතයක් නෙවෙයි ආදරයක්.. ඒ ජීවිතයටත් වඩා ආදරය ආත්මය සුවපත් කරන බවට දැනෙන හැඟීම නිසා වෙන්න ඇති.

BHOOTHNATH චිත්‍රපටයේ භූතයෙක් එක්ක මිතුරු වෙන පුංචි ළමයෙක් ඉන්නවා. ඒ දරැවා සහ භූතයා අතරෙ ඇතිවෙන්නේ ආත්මීය බැඳීමක් සහ ආදරයක්. ඒ දඟකාර දරැවා සහ ස්මාර්ට් භූතයා අතර කතාව තමා BHOOTHNATH. නාත් කියන ධනවත් පුරැෂයාටත් ඔහුගේ ආදරණීය බිරිඳටත් හිටිය එකම පුතා අමෙරිකාවේ ඉගෙන ගන්න යනවා. හිතා ගන්න බැරි තරම් ඉක්මණින් ඔහු අම්මගෙන් තාත්තාගෙන් ඈත් වෙනවා. ඔහු අසාධරණ ලෙස තමන්ටම ඇරුණු ජීවිතයක් හොයාගෙන යද්දී නාත් සහ බිරිය අසීමාන්තික ලෙස ජීවිතය තුළ හුදෙකලා වෙනවා. ඇමතුමක් ලැබෙන තුරු ඔවුන් පැය ගණනක් දුරකතනය දෙස බලා සිටිනවා. අවසානයේ හුදෙකලාවේ ශෝකය තුළම ඇය මියැදෙනවා. ඉනික්බිති කාලයක් තවත් වේදනාත්මක සිදුවීම් බොහෝ අත්විඳ නාත්ද මියැදෙනවා. භූතයෙක් වී උපදින්නේ ඒ නාත්. නාත්විලා ඔහු ජීවත් වූ සහ ඔහු භූතයෙක් ලෙස ජීවත් වෙන නිවස. දඟකාර දරුවෙක් සහ ඔහුගේ මව්පියන් පසුව එම නිවෙසට පැමිණෙනවා. නාත්ට තමන් දරුවෙකුගෙන් සහ මුනුපුරෙකුගෙන් නොවිඳි ආදරය ඒ දරුවාගෙන් විඳින්න ලැබෙනවා. ඔවුන් අතර මිනිස් දරුවෙකු සහ භූතයෙකු අතර ඇතිවෙන දයාබර ආදරණීය ළෙන්ගතු ආදරයක කතාව තමා BHOOTHNATH.

 ආදරය කියන්නෙ මිනිස් සන්තානයේ උපදින හැම හැඟීමක් එක්කම යා වෙච්ච හැඟීමක්. ඒ ආදරය උපරිමයෙන් විඳින මිනිස්සු වගේම ඒ ආදරය නොවිඳින විඳවන මිනිස්සුත් අපිට ඕන තරම් මේ ලෝකයේදී සහ සංසාරයේදී හම්බවෙනවා. මිනිස්සු ජීවත්ව ඉද්දී වගේම මරණයෙන් පස්සෙත් ආදරය හොයනවා. හුදෙකලාව, තනිකම, පාළුව මකාගන්න ළෙන්ගතු හිතක් හොයනවා. ආදරයෙන් ජීවිතය බෙදාගන්න හුස්මක් වැටෙන, හුස්මක් දැනෙන හදවතක් හොයනවා. ධනය බලය කොච්චර තිබුණත් මිනිස්සු මැරෙන්න මොහොතකට ඉස්සර හෝ ජීවිතය හොයන්නේ ආදරයත් එක්ක. ජීවිතය ඉල්ලන්නේ ආදරයත් එක්ක. ඒත් සුන්දර විදිහට ඒ ආදරය විඳින්න ලැබෙන්නෙ මේ ලෝකයේ අල්පමාත්‍රික මිනිසුන් සංඛ්‍යාවකට විතරයි.
ඇයි ඒ ?
ඔයා දන්නවද ඒ ඇයි ඒ කියලා...
මමනම් දන්නෙ නැහැ.... 

මට හිතෙන්නෙ ජීවිතේ හුඟක් ආත්මීය ප්‍රශ්නවලට අපි ළඟ උත්තර නෑ 

 sanju  

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00