2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

හඳ මාමා නැත්නම් මමත් නෑ..

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 242

ගුවන්විදුලි ළමා පිටියෙන් කලා ක්‍ෂේත්‍රයට ඇවිත් ඉන්පසු ආර්.ආර්. සමරකෝන් මහතාගේ කැලණි පාලම හරහා වේදිකාවට පිවිස කලාවේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දක්ෂතා පෙන්නුම් කරමින් සම්මානයන්ට පවා පාත්‍ර වූ ඇය අද අපට ඉන්න ප්‍රතිභාපුර්ණ රංගන ශිල්පිනියක් සහ දක්ෂ හඬ කැවීම් ශිල්පිනියක්. ඇය නමින් ගීතාකාන්ති ජයකොඩි. 

ඔබේ කලා ජීවිතේ ආරම්භය කොතනද? 
මගේ බාප්පා බැඳලා හිටිය කෙනාගේ මල්ලි බැඳලා හිටිෙය් නන්දා රත්නතුංග කියලා ඒ දවස්වල වේදිකා නාට්‍ය කරන සහ ගුවන් විදුලියේ එහෙම වැඩ කළ කෙනෙක්. එයත් එක්ක අපේ අම්මා හිතවත් වුණාට පස්සේ එයාට අම්මා කියලා තිබ්බා අපි ගැන. මොකද අපිට සින්දු කියන්න පුළුවන් නිසා. මම ඕනෙම දෙයකට ඉදිරිපත් වෙන නිසා අම්මා එයත් එක්ක මාව එක්කගෙන ගියා සින්දුවක් කියන්න ගුවන් විදුලියේ හඳමාමා වැඩසටහනට. 

මුලින්ම කළේ ගහකට හේත්තු වෙලා අඬන එක

එතැනින්ද ගමන පටන් ගන්නේ? 
ඔව්, ඊට පස්සේ ඒ දවස්වල තිබ්බා කරුණාරත්න අබේසේකර මහතා කරපු සරස්වතී මණ්ඩපය කියලා ළමා වැඩසටහනක්. ප්‍රභා රණතුංග ඒකට මාවත් යොමු කළා. මම කිව්වා ඕලු නෙළුම් නෙරිය රඟාලා... සින්දුව මම දැක්කා මම ඒක ගායනා කරද්දී කරුණාරත්න අබේසේකර මහතා කොලයක මොනවදෝ ලියනවා. මම කියලා ඉවර වුණාම ආ සරස්වතී මණ්ඩපය පටන් ගනිද්දී මේක කියන්නකෝ කියලා අර කොලය මට දුන්නා.

එතැනින් පස්සේ? 
ඊට පස්සේ ඉතින් සති දෙකෙන් දෙකට අම්මා මාව එක්කගෙන ගියා ගුවන් විදුලියට. මම සහභාගී වුණේ ඒකෙ අවසන් කාලයේදී මොකද මම සහභාගී වෙලා ටික කාලයක් යද්දී ඒ වැඩසටහන නැවතුනා. ඒ කාලේ ගුවන් විදුලියේ නිෂ්පාදකතුමෙක් හිටියා සුනෙත් ගෝකුල කියලා. එතකොට එයා කළා සංගීත සන්ධ්‍යාව කියලා එකක්. ඒකටත් අර සරස්වතී මණ්ඩපයේ ළමයි ගත්තා.

එතකොට නාට්‍යවලට අාෙව් කොහොමද?
ඒ කාලේ ගුවන් විදුලියේම තිබ්බා ළමා කනිටු සරසවිය කියලා එකක්. ඒකේ තිබ්බේ ලිපි කියවන්න. ඒ හරහා නිවේදන කටයුතු කළා. ඒ වගේම තමා ළමා රංග පීඨය හරහා අපි ගුවන් විදුලි නාට්‍ය කළා. ඉස්සර මම ඉස්කෝලේ ගිහින් යුනිෆෝම් පිටින්ම තමා ගුවන් විදුලියට එන්නේ. හැමදාම ඉතින් එක එක වැඩසටහන් තිබ්බා. ඇත්තටම පාසලක් වගේ අපි පුහුණුව ලැබුවේ. එතකොට ඒ දවස්වල තිබ්බා ගුවන් විදුලි රඟමඩල. ඒක ගොඩක් ජනප්‍රිය වෙලා තිබ්බේ ඒ කාලේ. සුගතපාල ද සිල්වා මහතා තමා නිෂ්පාදනය කළේ. ඒකට ළමා පිටියෙන් තේරිලා තිබ්බා නිරංජලා සහ මම. ඊට පස්සේ ආයේ කොටස් වශයෙන් යන කතා පටන් ගත්තා එකේ ලංකා කතා කියලා එකක්. නිෂ්පාදනය කළේ බන්දුල විතානගේ. ඒකේ මම කළා කැතරින් කුමරියගේ චරිතය සහ විමලධර්ම සූරිය රජතුමාගේ තරුණ බිසවගේ චරිතය.

මම හුඟක් කළු හින්දා රඟපාන්න නම් හීනෙකින්වත් හිතුවෙ නෑ

ගුවන් විදුලියෙන් ප්‍රසිද්ධ වේදිකාවට ආවේ කොහොමද?
ඔව් මම අර කලින් කිව්ව චරිත කර කර ඉන්න අතරතුර ජේ.එච්. ජයවර්ධන මගෙන් ඇහුවා. ආර් ආර් සමරකෝන් මහතා කැලණි පාලම කියලා වේදිකා නාට්‍යක්  කරන්න යනවා ඒකේ පාසැල් චරිතෙට කෙනෙක් හොයනවා කැමතිද රඟපාන්න කියලා. මම ඉතින් ගෙදරින් අහලා කියන්නම් කියලා ගෙදරින් ගිහින් ඇහුවම ගෙදරින් ලොකු කැමැත්තකුත් පෙන්නුවේ නැහැ. අකමැති වුණෙත් නැහැ. ඉතින් මම ඊළඟ දවසේ ගියාම රඟපාන්න කැමතියි කිව්වා. ඊට පස්සේ දවසක් ආවා ආර්.ආර්. සමරකෝන් මහතා මම ගුවන් විදුලි රඟමඩලේ රඟපානවා බලන්න. ඇවිත් ගියා මුකුත් කිව්වේ නැහැ. පස්සේ අවුරුද්දක් විතර ගිහින් මට එන්න කියලා ලියුමක් ආවා. මම අම්මා එක්ක එදා ගියාම මට දුන්නා කැලණි පාලමේ සුරංගනී කියන චරිතය. 

රඟපාන්න ආසාවෙන් ද හිටියේ? 
මෙහෙමයි. ඉස්සර මගේ කොණ්ඩේ එහෙම නම් දිගට ලස්සනට තිබ්බා. ඒත් මම රඟපාන්න නම් හීනෙන්වත් හිතුවෙ නැහැ. මොකද මම පාට අඩු කෙනෙක්. මම පොඩි කාලේ දැක්ක ජීවරාණි කුරුකුලසූරිය ඊට පස්සේ අපේ කාලේ වෙද්දී මාලනී ෆොන්සේකා, සුමනා අමරසිංහ, ශ්‍රියාණි අමරසිංහ වගේ අය ගේ ලස්සන දැක්කම මට හිතුණේ නැහැ රඟපාන්න. ඒත් මට අවස්ථාව ලැබුණාම මම ගොඩක්  සතුටු වුණා. 

ඊට පස්සේ කොහොමද සිනමාවට ආවේ? 
අපි කැලණි පාලම නාට්‍යයේ පුහුණුවීම් කරන තැනට දවසක් ආවා ඩී.බී. නිහාල්සිංහ මහතා එයාගේ රිදී නිම්නය කියන චිත්‍රපටයට අලුත් කට්ටිය හොයාගෙන. ඊට පස්සේ අපේ නාට්‍යයේ හිටිය රම්‍යා වනිගසේකර, මැණිකේ අත්තනායක සහ මාව තෝරා ගත්තා. මට ලැබුණේ සනත් ගුණතිලකගේ පෙම්වතිය හැටියට රඟපාන්න.  

කොහොමද ඒ අලුත් අත්දැකීම? 
ඒ වෙද්දී රූපවාහිනිය එහෙම ඇවිත් තිබ්බ නිසා හඬ කැවීම් කටයුතුවලට යද්දී එහෙම කැමරාව දැකලා තිබ්බ නිසාත් ගුවන් විදුලි නාට්‍ය කරලා තිබ්බ නිසාත් දෙබස් කියන්න නම් මට අමාරු වුණේ නැහැ. මට මතකයි මුලින්ම මට තිබ්බේ ගහකට හේත්තු වෙලා අඬන දර්ශනයක්. ඉතින් කිසි අමුත්තක් මට දැනුණේ නැහැ. මට කරන්න තිබ්බ විදියට මම ඒ දර්ශනය කළා. 

තවමත් ඔබ කැලණි පාලම වේදිකා නාට්‍යයේ රඟපානවා? 
ඔව්... ඒක ඇත්තටම සතුටක්. එදා මම කළේ සුරංගනී කියන චරිතය. අද මම කරන්නේ රූපවතීගේ චරිතය. එදා වගේම බොහොම කැමැත්තෙන් වේදිකා නාට්‍යවල රඟපාන්නේ. ඉදිරියටත්  හොඳ යමක් කළ හැකි චරිතයක් ලැබුණොත් මම ඉතාම කැමැත්තෙන් භාර ගන්නවා. 

► Text — Anusha Ranasinghe

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00