2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

මිනිස්සු වෙලාවකට හුඟක් නපුරුයි

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 98

ඇයි?
මාව දාලා උඹ කොහෙද යන්නෙ?
උඹ ඕන දෙයක් කරගනින්... මීට පස්සෙ උඹ වගේ හිතුවක්කාර ගෑනියක් එක්ක මම කිසිම දෙයක් කතා කරන්නෙ නෑ දුල්යානා... 
මාත් එන්නම් යන තැනකට.. මට තනියෙන් ඉන්න බෑ ජානා 
අද එපා වෙන දවසක එන්න... 

ජීවිතය එකවර විඳින්නයි විඳවන්නයි බෑ... මම විඳිනවා උඹ විඳවනවා... මට ඕන සතුටින් ඉන්න. උඹට ඕන ප්‍රශ්නයක් මවාගෙන හරි හැමදාම අඬන්න 
ඇය ඇගේ පුංචි කාරය පණ ගන්වාගෙන මොහොතකින් නොපෙනී ගියා. මම දුහුවිලි නැගුණු මාවත දෙස බලා සිටියේ අපැහැදිලි හැඟීමකින්. කා සමඟ හෝ සිතේ ඇති සියලු දුක් වේදනා වචන බවට පෙරළන්නට මට අවැසි වී තිබුණා. එහෙත් මට කතා කරන්න කෙනෙක් මගේ ළඟ හිටියේ නෑ. මගේ ළඟ හිටියේ මම විතරයි. මට කතා කරන්න හිටියේ මම විතරයි. පුංචි කාලෙ මම කතා කළේ මාත් එක්කමයි. මට කාත් එක්ක හරි කියන්න ඕන ඒවා මම මාත් එක්කම කීවා. මම ප්‍රශ්න ඇහුවා. මම උත්තර දුන්නා. මගේ ගැන මම දුක්වුණා. ඒත් ටිකක් ලොකු වෙද්දී මට කාත් එක්ක හරි කතා කරන්න ඕන වුණා. එක වතාවක නත්තලකදී මට හම්බුණ ලොකු බෝනික්කෙක්. ඉන් පස්සෙ මම එයා එක්ක කතා කරන්න පටන් ගත්තා. කන්‍යාරාමයේදී රෝස් මගේ කිට්ටුවන්තම මිතුරිය බවට පත්වෙන තුරු මම හැමදේම කිවුවේ ඒ බෝනික්කත් එක්ක. පැය ගණන්, වරු ගණන්, රෑ ගණන් මම ඒ බෝනික්කත් එක්ක කතා කරන්න ඇති. මම කාමරයට වැදී ඇඳේ පෙරළුණේ මොකක්දෝ කාන්සියක් හිත රිදවද්දී. සිරුරට දැනෙමින් තිබුණේ දැඩි විඩාබර බවක්. ඒ වෙහෙස දරගන්නම බැරි තැන මම නාන කාමරයට වැදී උණු වතුරෙන් ඇති තරම් නාන්න හිතුවා. උණු දිය සිරුරට වැටෙද්දී දැනුණේ පුදුමාකාර සනීපයක්. නා අහවරව දැඩි සීතලට ඔරොත්තු දෙන ඇඳුමකින් සැරසුණ මම ගිනි උඳුන ළඟ ඉඳගත්තා.

ගිනි උදුනෙන් නැගෙන ගිනි දලු මගේ සීතල අත් පා උණුසුම් කරමින් කාමරයම එළිය කළා. දෙපා උණුසුම් ලෙස දිගු ගවුම අස්සේ සඟවා ගනිමින් මම සුවපහසු ලෙස පුටුවට හේත්තු වී හිටියා. ආදරයත්, සැලකිල්ලත්, හව්හරණත් කෙනෙකුගෙන් අපේක්ෂා කරන මොහොතක නොසලකා හැරීම තරම් වේදනාකාරී හැඟීමක් තවත් නැති තරම්. ඒ වේදනාව අනන්තවත් වතාවක් මම ජීවිතයේ විඳලා තිබුණා. ඒත් නොසලකා හැරීමකට සහ වෙනස්කමකට බඳුන් වෙන සෑම වතාවකම මගේ හිත නැවත නැවතත් සීරෙමින් ලේ ගලන්න පටන් ගත්තා.

මගේ හිත මොහොතකින් නැවතුණේ ආදේශ් ළඟ. කොතරම් ළෙන්ගතුකමක් දැක්වුවත් ඔහු මා නොසලකා හරින ලද දවස් අතරින් පතර ඒ අතීතයේත් තිබුණා. මා රෝගීව තනි වූ මොහොතක හිත පාරන වේදනාව මම ඔහු වෙතින් කිහිප වරක්ම විඳ තිබුණා.  
මට කන්න බෑ හරි අප්පිරියයි...
අසනීප ගතියකින් පෙළුන එක දවසක මම ඔහුට එහෙම කීවා
කන්න බැරිනම් කන්න පුළුවන් දෙයක් අරගෙන කන්න. ඕක මට කියලා වැඩක් නෑනේ 
ඔහුගෙ ස්වරයේ තිබුණෙ රළු ස්වභාවයක්. මගේ ඇස් දෙක මොහොතකින් තෙත් වුණා. අවසානයේ ඔහු මට ගෙනැවිත් දුන්නේ බාල වර්ගයේ කජු වර්ගයක්. 
ඒක පොඩ්ඩක්වත් රස නෑ... ඇල් වතුර වගේ...

ඔයා ඔයාට හරියන දේ ගත්තනම් ඉවරයිනේ... මට කරදර නොකර.. 
ඉසියුම් ලෙස හද පාරවන ලද ඒ මතකය මගේ හිත අසාමාන්‍ය රිදවුමකින් රිද්දුවා මට මතකයි..

තමන්ට තමන් හැරුණම වෙන කවුද ඉන්නෙ දුල්යානා... අපිට මේ ලෝකේ විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් ඉන්නෙ දෙවියන් වහන්සේ විතරයි. විශ්වාසයෙන් හැමදෙයක්ම කියන්න පුළුවන් කෙනෙක් ඉන්නෙත් දෙවියන් වහන්සේ විතරයි. මිනිස්සුන්ගේ හිත් වෙලාවකට හුඟක් ආදරණීයයි වගේම වෙලාවකට හුඟක් නපුරුයි. ආත්මාර්ථකාමීයි. දුල්යානා කවදාවත් කාගෙන්වත් කිසිදෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ඉල්ලන්නත් එපා. තමන්ගේ ශක්තියෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්න. මිනිස්සු ආදරය විදිහට පෙන්නන හැඟීම ඇතුළෙ හුඟක් වෙලාවට තියෙන්නෙ ආත්මාර්ථකාමී සිතුවිලි එකතුවක් විතරයි. මිනිස්සු ගැන ප්‍රතිරූප මවන්න එපා. වෙනස් වුණාම ඔයාට දරාගන්න බැරි තරම් වේදනාවක් දැනෙයි දුල්යානා... 
මා කන්‍යාරාමයට පැමිණි කාලයේ සිස්ටර් සේරා වරක් කී දේ මට මතක් වුණා. මගේ ඇස් අග්ගිස්සේ එක්කාසු වෙන කඳුළුවල තේරුම් හුඟක් තිබුණා. ඒ හැම කතාවකම තිබුණෙ එක්තරා අතීත කතාවක්.
ජීවිතය ලොකු වෙහෙසක් දෙවියනි... කාත් කවුරුත් නැති වුණාම ජීවිතය පුදුමාකාර වෙහෙසක් දෙවියනි... 
පල්ලියේ ගතකළ අතීත ජීවිතය ආදරණීය ලෙස සිහිපත් වෙද්දී මම ගිනි උඳුන ළඟින් නැගිට්ටා...  

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00