ශ්‍යාම් මට වෙඩි තියන් නැද්ද ආදර වස්තුව නැතුව බැරි මිනිහෙක් එක්ක වැඩ වැඩිද දැන්?
මම හරි කැමැත්තෙන්ම රාජිත දිසානායකගේ වේදිකා නාට්‍ය කණ්ඩායමට නිතරම සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව චිත්‍රපටවලට මම සම්බන්ධ වෙමින් ඉන්නවා. මේ දවස්වලත් මම අශෝක හඳගමගේ චිත්‍රපටයකට රංගනයෙන් දායක වුණා. අසම්මත නම් නවකතාව පාදක කරගෙන ලියවුණු චිත්‍රපටයක් තමයි ඒක. පසුගිය මාසයක වගේ කාලයක්ම ඒ චිත්‍රපටයත් එක්ක තමයි ගතවුණේ. ඒක ඉතාම හොඳ අත්දැකීමක්. අපේ සිනමා කර්මාන්තයේ ඉන්න ප්‍රවීණයන් අතරේ හඳගමත් ඉදිරියෙන් ඉන්නවා. ඉතින් අශෝක හඳගම ප්‍රසන්න විතානගේ වැනි සිනමාවේදීන් අපිට එක පැත්තකින් නිර්මාණවලට ප්‍රවිෂ්ඨ වීමට මඟ කියාදීපු කලාකරුවන්. අපේ යෞවන අවධියේදී කලා නිර්මාණ බලන්නට අපිට ආසාව ඇති කළේ ඔවුන්.
ඔවුන්ගේ නිර්මාණ තුළදී ඔබ දැක්ක සුවිශේෂීම කරුණ මොකක්ද...?
මෙහෙමයි වේදිකා නාට්‍යවලදී රාජිත දිසානායක වගේම සිනමාවේදී අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ වැන්නන් කලාකරුවන් විදිහට ජාත්‍යන්තර අවධානය ලැබූවන්. ඔවුන් නිතරම චිත්‍රපට කළේ ලංකාවේ ප්‍රේක්ෂකයින්ට. ඒ වගේම චිත්‍රපට කර්මාන්තය පවත්වාගෙන යන්න ඔවුන් දෙනු ලබන දායකත්වය වගේම කලාකරුවකුට තම නිර්මාණ කරද්දී ඒ නිර්මාණ ක්‍රියාවලිය ඇතුළේදී එකිනෙකාට උදව් කරන කණ්ඩායමක්
වීම. මේ නිසාම නැවත ඔවුන්ගේ නිර්මාණයකට දායක වෙන්න ආසාවක් ඇති වෙනවා. ඔවුන්ගේ ඇසුර තුළින් නිරායාසයෙන්ම රංගනය පිළිබඳව අපිට අධ්‍යනයක් කරන්න ලැබෙනවා.
අද වෙද්දී වේදිකා නාට්‍ය සහ සිනමා නිර්මාණ දකින්න ප්‍රේක්ෂකයින් එදාට වඩා දක්වන උනන්දුව අඩුයි. මේ තත්ත්වය නිර්මාණවේදියෙක් විදිහට ඔබ දකින්නේ කොහොමද...?
සමස්තයක් විදිහට අපි සමාජයක් විදිහට කිසියම් පසුබෑමකට අද පත්වෙලා තියෙනවා. ආර්ථික වශයෙන් ගත්තත්, දේශපාලන වශයෙන් ගත්තත් කලාවටත් වඩා ගැටලු අද ඇතිවෙලා තියෙනවා. යුගයක් විදිහට අපි ආපස්සට ගිහින්දෝ කියලා හිතෙන තත්ත්වයක් තමයි අද තියෙන්නේ. මේ සමස්තයේ එක කොටසක් තමයි කලාව. ඉතින් ඒක කලාවටත් අදාළයි. එක පැත්තකින් රසිකයින් සම්බන්ධ ප්‍රශ්නයක් ද තියෙනවා. පසුගිය දශක කීපය ඇතුළත රසිකත්වය අපි මිනිස්සු තුළ ඇතිකළාද කියන ප්‍රශ්නය තියෙනවා.
ඒ වෙනුවට වෙන රසිකත්වයක් ගොඩනගලා ඊට පස්සේ කාලයක් ගියාම ලැබෙන ප්‍රතිඵලය තමයි අද වෙද්දී මේ භුක්ති විඳිමින් ඉන්නේ. මේ නිසා මීට වඩා හොඳ ප්‍රේක්ෂකයින් ඇති කරන්නට අවශ්‍යනම් අපි කළ යුත්තේ ඊට අවශ්‍ය රසිකත්වය හැදීමයි. අද වෙද්දී වේදිකා කලාව සම්බන්ධයෙන් යම් ඉඩ හසරක් ලබලා දෙන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් විතරමයි. විද්‍යුත් මාධ්‍ය බොහෝමයක් අද වෙද්දී අවරසිකත්වය තමයි පතුරවන්නේ. අද විශේෂයෙන් වේදිකා නාට්‍ය වෙනුවෙන් ඉඩක්, පිටුවක් වෙන් වන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් විතරයි.
ඔබ නැතිව ඔබ එක්ක චිත්‍රපටයේත් ඔබේ රංගනය විශිෂ්ටයි. එහෙත් එවැනි චිත්‍රපට රාජ්‍ය නොවන සංවිධානවල ආකල්පයන්ට සරිලන පරිදි මුදල් මූලික කරගෙන කළ නිර්මාණ බවටත් ඇතැම් පාර්ශවයන් චෝදනා කළා. ඇත්තටම ඔබත් ඔබේ හැකියාව කලාව මාෆියාවක් කරගත්ත පිරිසකට විකුණන නළුවෙක් කියලා චෝදනා කළොත්...
ඔය චිත්‍රපටය නිෂ්පාදනය කළේ ලංකාවේම පිරිසක්. එක්කෙනෙකුට විශාල මුදලක් වියදම් කරන්න බැරි නිසා රැකියාවල් කරන අතරතුරේදී ඒ හම්බකරන මුදල් කලාවට තියෙන ආසාව, ආදරය නිසාම ලසන්ත නවරත්න ඇතුළු ශ්‍රී ලාංකික පිරිසක් එකතු වෙලා තමයි මේ නිර්මාණය නිෂ්පාදනය කළේ. මම හිතන විදිහට මේ චිත්‍රපටයෙන් ලක්ෂ 50-60ක් පමණ පාඩු වුණා. චිත්‍රපටය පෙන්නපු සිනමාශාලා සහ පේන්නපු දින ගණනයි හිතද්දී ඒක බලාගන්න පුළුවන්. ඉතින් චිත්‍රපටය පාඩු වීම තමයි වෙලා තියෙන ආර්ථික ලාභේ. මේ ඔබ නැතිව ඔබ එක්ක චිත්‍රපටයට මට දීලා තියෙන්නේ රුපියල් ලක්ෂයයි. අනිත් චිත්‍රපටවලට මම ඊට වඩා අරගෙන තියෙනවා. ඇත්තටම ඒක පාඩු පිට දුවපු චිත්‍රපටයක්.
මේ රංගනයක්ද කියලා හිතාගන්න බැරි තරමට ඔබේ රංගනය තාත්විකයි. මේ තරම් ගැඹුරකට නිර්මාණකට ආවේශ වෙන්නේ කොහොමද...?
ලංකාවේ ඉන්න කලාකරුවන් කීපදෙනෙක්ම තම රංගනයෙන් බාහිරව ලැබෙන බැබළීම් හෝ ප්‍රසිද්ධියට පත්වීම හෝ ඔවුන්ගේ කලා ජීවිතේ පැවැත්ම තහවුරු කරගන්නවාට වඩා තමුන් දායක වෙන කෘතියට අවංකව එයට සාධාරණය කිරීම ගැනයි හිතන්න ඕන. මම විශ්වාස කරන දෙයක් තමයි මේ සාධාරණය කිරීමෙන් තමයි අපිට යම් තෘප්තියක් ලැබෙන්නෙත්. මේ නිසා රංගන ශිල්පියෙක් විදිහට මට සතුටු වෙන්න පුළුවන් වෙන්නේ මම දායක වෙන නිර්මාණයේදී ඒ දායකවෙන කාලය ඇතුළත මම ඒ නිර්මාණය තුළම ජීවත් වීමෙන්. මම ඒ නිර්මාණයට උපරිම සාධාරණයක් ලබලා දුන්නොත් විතරයි මට ඒ පිළිබඳව සතුටු වෙන්න පුළුවන් වෙන්නෙත්. එළියේ බැබළෙන දේවල්වලින් සතුටුවෙලා මට පවතින්න බැහැ කියලයි මම විශ්වාස කරන්නේ. ඒ නිසා මගේ රංගනයේ යම් සාර්ථකත්වයක් තියෙනවානම් ඒකට මම නිර්මාණයට ලබලා දෙන සාධාරණය ඉතා වැදගත් වෙනවා.
ඔබ වැඩියෙන් කැමති සිනමාවටද...? වේදිකා නාට්‍යටද...?
මගේ වැඩිපුර කැමැත්ත තවමත් තියෙන්නේ වේදිකාව මතයි. ඒ වගේම මම වැඩිපුරම දායක වීම වුණෙත් වේදිකාවෙයි. හැබැයි මම දැන් චිත්‍රපට කීපයකටම දායක වෙන්න පටන් ගත්තට පස්සේ ඒ අධ්‍යක්ෂකවරැ සහ මගේ අදහස් බෙදාගන්නා මිතුරන් ඇසුරු කරන්නන් සහ විචාරකයින් වඩාත්ම මම සිනමා රංගනයන්ට දායක වීම ගැන වඩාත් සතුටු වෙනවා. වේදිකා රංගනයටත් වඩා මනෝභාවයන් වැනි භාව ප්‍රකාශකයන් හිදී කැමරාවට ප්‍රකාශය වැඩිපුර පෙන්නන්න පුළුවන් කියලා ඔවුන් මට කියලා තියෙනවා. නමුත් පෞද්ගලිකව මම තාමත් වේදිකාවට කැමතියි.
අද වෙද්දී බොහෝ නළු නිළියන් සල්ලි පස්සේ හඹායමින් පිරිමි සහ ගෑනු ගණිකාවන්ගේ තත්ත්වයටත් පත්වෙලා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද...?
වර්තමානයේදී බොහෝ රංගන ශිල්පී ශිල්පිනියන් හඳුනාගන්නේ ටෙලිනාට්‍ය හරහායි. රංගනයට දායක වෙන බොහෝ දෙනෙක් කැමැති වෙන්නේ ඉක්මණට මිනිස්සු අතරට යන්න පුළුවන් වන ටෙලිනාට්‍ය හරහායි. වේදිකාවට රසිකත්වයක් තියෙන වේදිකා නාට්‍ය බලන ප්‍රේක්ෂකයෝ අඩුයි. ලංකාවේ වේදිකා නාට්‍යවලටම සීමාවුණු නිර්මාණකවේදින්
කීපදෙනෙක් ද ඉන්නවා. ඒත් අද වෙද්දී පොදු මහජනතාව ඔවුන් හඳුනාගන්නේ නැති තත්ත්වයක් තියෙනවා. හොඳ ටෙලිනාට්‍ය නිර්මාණය නොෙවනවාම නෙමේ. නමුත් එක පැත්තකින් මේ වෙද්දී අප රටේ අවරසිකත්වයේ ටෙලිනාට්‍ය බිහිවෙලා තියෙනවා. ඒවයේ ඉක්මණින් ජනප්‍රිය තරු වෙන්න දඟලන නළු නිළි පිරිසකුත් ඉන්නවා. එක ටෙලිනාට්‍ය කොටසකින් දෙකකින් මූණ පෙන්නලා කලාකරු කියන කොටසට එකතුවෙලා විවිධ ක්‍රම ඔස්සේ මුදල් පසුපස හඹායන කොටසකුත් මේ අතරින් ඉන්නවා. ඉක්මණින් රූපයක් විදිහට ජනප්‍රිය වෙන්න අවශ්‍යනම් තෝරාගන්න පුළුවන් එක මාධ්‍යක් තමයි රූපවාහිනී මාධ්‍යය. නමුත් හොඳ පසුබිමක් සහිතව වේදිකාවටත්, සිනමාවටත් බිහිවෙච්චි කලාකරුවෙක්ව කාටවත් විසිකරන්න බෑ...
මතකයේ හැටියට ඔබ එක් ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණා?
ඔව්... ඒක ඇත්ත... ආරාධනානම් කීපයක් ලැබුණා. ඒත් ඒ අතරින් මම ටෙලිනාට්‍ය දෙකකට දායක වුණා. එකක් විකාශනය වුණා. ජැක්සන් ඇන්තනී මහතාගේ “සී රජ ටෙලිනාට්‍යයේ මම රඟපෑවා. ජැක්සන් ඇන්තනී කියන්නේ එක්තරා ප්‍රබල රංගධරයෙක්. ඒ නිසා ඔහුගේ නිර්මාණයකට දායක වෙන්න ලැබීමත් මගේ වාසනාවක්. හැබැයි ටෙලිනාට්‍යවලට දායක වීමට ලොකු ප්‍රසාදයක් නෑ...
ඔබ වෘත්තියෙන් කලාකරුවෙක් නොවේ... ගුරුවරයෙක්? එහෙම නේද?
ඔව්... මම වෘත්තියෙන් ගුරුවරයෙක්. මගේ මුල් පත්වීම ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහටයි. නමුත් මම දැන් නාට්‍ය කලාවට සම්බන්ධ නිසා පාසැලේදී නාට්‍ය හා රංග කලාව පිළිබඳවත් ඉගැන්වීමේ කටයුතු කරනවා.
මොනවද ඊළඟට තියෙන බලාපොරොත්තු?
මේ ගත කරන ජීවිතේ ගැන ඇත්තටම මම සෑහෙන තෘප්තිමත්. මේ විදිහට තව කාලයක් වැඩ කරන්න ලැබුෙණාත් මම සතුටු වෙනවා. මම කලාකරුවෙක් විදිහට ඉපදුණේ වේදිකාවෙන්. මම ආසයි ඒ වේදිකාවට. ඒ නිසා වැඩිපුරම වේදිකාවටත් ඉඩක් ලැබුණොත් සිනමාවටත් දායක වෙන්න ආසාවෙන් ඉන්නවා. එහෙම ආරාධනා නොලැබුණ කාලෙක රැකියාව කරගෙන කාලයකට පස්සේ ඒකෙනුත් විශ්‍රාම අරගෙන අපි කලින් කළා වගේ නාට්‍ය, චිත්‍රපට බල බලා ඉඳීවි.
► Text – Dishani / Pic - Sumudu