ලාංකික සිනමාවේ සුරුපිනියන් ගැන කතා කළොත් අමතක කරන්නම බැරි ඒ වගේම ඇයගේ සුන්දරත්වය නිසාම ජාත්‍යන්තර සිනමාවට පවා ආරාධනා ලැබුණු ලාංකික සිනමාවේ ගිනි සිළුව ගීතා කුමාරසිංහ සමඟයි අද My Path හි කතාව, සුරූපී බව සුන්දරත්වය දක්ෂතාව මේ සියල්ල එකතු වූ කල සිනමාව තුළ ඇය අනුරාගී ගිනි සිළුවක් වුණා.
පවුලේ වැඩිමල් දරුවා නේද ගීතා?
ඔව්, අපේ පවුලේ ලොකු දුව මම, මට බාල නංගිලා සහ මල්ලි කෙනෙක් හිටියේ, ඔක්කොම හිටියා හත් දෙනෙක්, ඉතින් ඉතාම සුන්දර කාලයක් තමා, ඒ වගේම මම පවුලේ වැඩිමලා නිසා මට ගොඩක් වගකීම් පැවරිලා තිබ්බා, කොච්චර වගකීම්ද කිව්වොත් හීන දකින්නවත් වෙලාවක් තිබ්බේ නැහැ,
ගෙදර අයත් කලාවට ළැදියිද?
මගේ තාත්තා කලාවට සම්බන්ධ වෙලා ඉඳලා තියෙනවා, ශාන්ති ලේඛා, ඒ.එම්.යූ. කරීම්, පිරිස් මහතා එක්ක එහෙම තාත්තා ගුවන් විදුලි නාට්‍ය කරලා තියෙනවා, ඒ වගේම තමා සිංහල බෞද්ධයා පත්තරේ සම කර්තෘ විදියට වැඩ කළා, ඉතින් කලාවට තාත්තාගේ ලොකු සම්බන්ධයක් තිබ්බා.
කොහොමද කලාවට තිබ්බ කැමැත්ත?
පොඩි කාලේ ඉඳන් මට තිබුණා නළු නිළියන් ගැන ලොකු පිස්සුවක්, ඉතින් දවසක් අපේ නැන්දා කෙනෙක්ගේ ගෙදර ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා ගේ චිත්‍රපටයක් රූ ගත කරනවා, ඉතින් මට ආසයි මේක බලන්න යන්න, එදා අඬලා අඬලා තමා මම ගියේ. එතකොට මට අවුරුදු පහයි, චිත්‍රපටය තමා රන්සළු, එදා පුණ්‍යා හීන්දෙණිය, ටෝනි රණසිංහ සහ සුමිත්‍රා පිරිස් මහත්මිය වගේ අය හිටියා. මම අද හිතනවා මගේ ජීවිතේ සිනමාව ගැන පුංචි හරි අදහසක් එන්න ඇත්තේ එදා ඉඳන් කියලා.
සිනමාවට ආවට පස්සේ ටෝනි රණසිංහ එක්ක එකට රඟපාන්න අවස්ථාව ලැබුනාණේ?
ඔව්, සාරා, මධුවන්ති වගේ චිත්‍රපවල මම ටෝනි අයියගේ පෙම්වතිය විදියට රඟපෑවේ, ඊට පස්සේ මට ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ චිත්‍රපටයකත් රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම අපිට හිටිය අසහාය කැමරා ශිල්පී සුමිත් අමරසිංහ මහතාගේ කැමරා කෝණවලට මුහුණ දෙද්දී මට මතක් වුණා එදා මම හිතුවද මේ අය එක්ක මට රඟපාන්න අවස්ථාව ලැබෙයි කියලා. ඇත්තටම ඒක වාසනාවක් විදියට මම දකින්නේ,
හිතුවද එදා අවුරුදු කුමාරි වෙන්න පුළුවන් වෙයි කියලා?
නැහැ මම හිතුවේ නැහැ, මට ඕනේ වුණේ විජය මාලනි වගේ අය දැක ගන්න, මම මේකට ඉදිරිපත් වෙනවට අපේ තාත්තා කැමති වුණෙත් නැහැ, හැබැයි ඉතින් මම වාසනාවන්ත වුණා එදා. ඊට පස්සේ මට චිත්‍රපට දෙක තුනක්ම ලැබුණා, එකක් ගාමිණී ෆොන්සේකා මහතා කරන්න හදන අලුත් චිත්‍රපටයක්. ඒකට ගාමිණි මහතා අලුත් කෙල්ලෙක් හොයලා තියෙනවා. එතකොට එකේ නැටුම් අධ්‍යක්ෂවරයා කියලා තියෙනවා ගාමිණී මහතාට අපි දැක්කා ලස්සන කෙල්ලෙක් බෙන්තොට දී කියලා, ඊට පස්සේ ගාමිණී මහතා අපේ තාත්තාගේ යාළුවෙක් හිටියා අමිත් අබේසේකර කියලා එයාට කියලා තිබ්බා නයනා ෆිල්ම් එකේ රූගත කිරීම්වලට එනවා බෙන්තර ට එතැනට එන්න කියලා
එතකොට දැනගෙන හිටිය ද ගාමිණී මහතා අලුත් චිත්‍රපටයට ගන්න ඉන්නේ කියලා
නැහැ නැහැ, ඒවා මුකුත් කිව්වේ නැහැ, අපිට නිකම් කිව්වේ රූ ගත කිරීම් බලන්න එන්න කියලා, මම ඉතින් කොහොමත් රූගත කිරීම් කරන තැන් හොය හොය හිටිය නිසා මමත් ගියා අම්මා එක්ක , එතැනට ගියාට පස්සේ තමා ගාමිණී මහතා මගෙන් ඇහුවේ රඟපාන්න කැමති ද කියලා, මට ඉතින් පුදුම සතුටක් දැනුණේ හැබැයි මම දැක්කා අපේ අම්මා නම් මට රවනවා, මම ඒත් එක පාරටම හා කිව්වා. ඊට පස්සේ කිව්වා මේකප් ටෙස්ට් එකක් කරනවා ඒකට එන්න කියල ඊට පස්සේ ඒකටත් ගියා ට පස්සේ මාව තෝරගත්තා,
ලාංකික සිනමාවෙන් එහාට යන්නත් ගීතාට අවස්ථාව ලැබුණා නේද?
ඔව් මට මුලින්ම ලැබුණේ, ජපන් චිත්‍රපටයක් වන අයිවදෝ අකාරෝ චිත්‍රපටය, කිනොශිටෝ කියන්නේ ජපානේ කුරෝසාවට පස්සේ ජපන් රටේ බිහිවුන හොඳම අධ්‍යක්ෂවරයා. එයාගේ තමා මේ අයිවදෝ අකාරෝ චිත්‍රපටය ඒකෙ තේරුම ආදරය සහ වෙන්වීම. 1977 දී තමා මම මේ චිත්‍රපටයේ රඟපෑවේ. මට ඒකට ලැබුණා ඒ වෙනුවෙන් අමරිකානු ඩොලර් 50,000ක්.
දකුණු ඉන්දීය සුපිරි නළු සිවාජි ගනේෂන් සමඟත් රඟපෑ අපේ සුරූපිනිය ඔබ?
ඔව්, ඉන්දියාවේ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරයෙක් වන ශ්‍රී ධරන් හොඳටම ජනප්‍රිය වෙලා හිටිය කාලේ එයාට ඕනේ වුණා මෝහන පුන්නගේ කියලා චිත්‍රපටයක් කරන්න. එකේ වැදගත්කම තිබ්බේ හිනාවට වශී වී කියලා. ඉතින් මම දන්නේ නැහැ මගේ හිනාවට වශී වෙනවද කියලා කොහොම හරි මට ඒ අවස්ථාව ලැබුණා, ඉතින් මම ඉන්දියාවේ දී මේ චිත්‍රපටයේ රූගත කිරීම් කරන කාලේ මට තව ගොඩක් ඉන්දියානු චිත්‍රපට වලට ආරධනා ලැබුණා, ඒත් මම ඒ වෙද්දී විවාහ වෙන්න තීරණය කරලා තිබ්බේ. ඒ නිසා මම ඒවා භාර ගත්තේ නැහැ.
සිනමාවෙන් ලැබුණු ඇඟයීම් සහ සම්මාන ගැන මතක් කළොත්?
ජනාධිපති සම්මාන ලැබුණා මට 1981 - හොඳම සහය නිළිය, 1997 - හොඳම නිළිය - ලොකු දුව, 2000 - නිර්මාණාත්මක කුසලතා - අනුරාගයේ අනන්තය, 2000 - හොඳම නිළිය - රාජ්‍ය සේවය පිණිසයි, 2005 - හොඳම නිළිය - රන් දිය දහරට. ඒ වගේම සරසවිය සම්මාන ගත්තම මට ලැබිලා තියෙනවා. 1990 - හොඳම නිළිය - පාලම යට, 1990 - ජනප්‍රිය නිළිය, 1996 - හොඳම නිළිය - ලොකු දුව, 2000 - හොඳම නිළිය - රාජ්‍ය සේවය පිණිසයි සහ 2004 - හොඳම නිළිය - රන් දිය දහර චිත්‍රපටයට, ඊට අමතරව සිග්නිස් (ඕ.සී.අයි.සී) සම්මාන 1990 - Merit Awards - පාලම යට සහ 2005 - Most Outstanding Performance - රන් දිය දහරට ලැබුණා. තව 1990 - ස්වර්ණ සංඛ සිනමා උළෙල - හොඳම නිළිය - පාලම යට චිත්‍රපටයට සහ 1996 - ස්වර්ණ සංඛ සිනමා උළෙල - හොඳම නිළිය - ලොකු දුව චිත්‍රපටයට මට ලැබුණා.
Text — Anusha Ranasinghe