2016 දෙසැම්බර් 23 වන සිකුරාදා

දෙවියන්ට අපි අමතක නෑ දුල්යානා....

 2016 දෙසැම්බර් 23 වන සිකුරාදා, ප.ව. 05:02 102

මම වේගයෙන් දිය පතුලටම ඇදී යමින් හිටියා. මට තේරැණා ඇය මා අත්නොහැර ඇති බව. ඒත් මගේ අරමුණ විහිද තිබුණේ ඇය සමඟ පයිරැ පාසානමක් වෙනුවෙන් නෙවෙයි. මට වුවමනා වුණේ ජීවත් වෙන්න. මට ඕනෑ වුණේ සියලු හැලහැප්පීම් අලකලංචි මැද්දෙ මගේ ජීවිතය හොයාගෙන යන්න. මම දෙවියන් යැද්දේ ජීවිතය වෙනුවෙන්. ඒ මොහොතේ මම මරණයට වෛර කරමින් හිටියා. මට හිතුණා ඇය උත්සාහ කරන්නේ මා ඇගේ ලෝකයට කැටුව යන්න කියලා. මම දෙවියන් වෙනුවෙන් ජීවත් වෙන්නට කල්පනා කළ පළමු මොහොත තමා මම ගෙවා දමමින් හිටියේ. 

දෙවියනි මට දැන් ඕනෑ මැරෙන්න නෙවෙයි... මැරි මැරී හරි ජීවත් වෙන්න.. ජීවිතේ පළමු වතාවට මම ඔබවහන්සේට පොරොන්දු වෙන්නම් මම මගෙ ජීවිතේ එක දවසක් හරි ඔබ වහන්සේ වෙනුවෙන් කැප කරනවා කියලා... ඒ වෙනුවෙන් මට සැනසිලිදායක ජීවිතයක් ප්‍රදානය කරන්න දෙවියනි.. මම දෙවියන් යදිමින් ඉල්ලා සිටියේ එපමණයි.

මම දන්නේ නෑ මම එගොඩ ඉඳන් මෙගොඩට කොහොම පීනුවද කියලා. ඒ වෙනුවෙන් පැය කීයක් ගතවුණාද කියලා මට හරිහැටි නිනවුවක් තිබ්බෙත් නෑ. මම ඒ වෙද්දී හිටියේ සීතලේ ගැහෙමින්. සීතල දරාගන්න බැරිම තැන මම සුදු වැලි ඉහිරිච්ච ගං ඉවුරෙ වකුටූ වෙලා හිටියා. මම හිටියේ මටම තුරැල්වෙලා. මගේ ඇඟේ සීතලට හිරිගඬු පිපිලා ගැහෙමින් තිබුණා. ඒත් මටත් නොදැනෙන මොකක්දෝ සතුටක් මේ වෙද්දී මගේ සිත පහුරැගාමින් තිබුණා. සුළගේ පවා දැනුණේ ඉවසන්න බැරි තරමේ සීතලක්. ඒ සුළඟ ඉවසිල්ලක් නැතුව මගේ කොපුල් මත ඇතිල්ලෙමින් තිබුණා. මට වුවමනා වුණේ හැකි තරම් ඉක්මණින් පල්ලියට යන්න. මගේ ලෝකයේ සියල්ල තිබුණේ ඒ පල්ලිය තුළ කියලා මට හිතුණා. ඒත් එක්කම මගේ සියොලඟම හිරිවැටී යමින් තිබුණෙ සිස්ටර් සේරා මාව පල්ලියේ තබාගැනීම තවදුරටත් ප්‍රතික්ෂේප කළොත් කියන සිතුවිල්ලත් එක්ක.

දෙවියනි එහෙම වුණොත් මම කොහේ කියලා යන්නද? එහෙම යන්න කෙනෙක් මගේ ලෝකෙ මට හිටියෙ නෑ... එක්වරම මට මතක් වුණේ ආදේශ්... ඒත් ඔහුගේ ලෝකයේ ම‍ට ඒ වෙද්දී තිබුණ තැන ගැන මට ඒ මොහොතෙ කිසිම හැඟීමක් තිබුණෙ නෑ. කමක් නෑ වෙන දෙයක් වෙච්චදෙන් කියලා මම සුදු වැලි පාර දිගේ පල්ලියට ගියා.. මම එක්වරම පල්ලියට නොගිහින් උද්‍යානයේ රුඳී හිටියා.

දුල්යානා...

ඒ කට හඬින් එක්වරම මා තිගැස්සී ගියා. ඔව් මට ඒ ඇහුණේ සිස්ටර් සේරාගේ කටහඬ
සිස්ටර්... මම සීතලේ ගැහෙමින්ම හිස ඔසවා ඈ දිහා බැලුවා.
දෙවියනි මේ මොනවද ඔයාටවෙලා තියෙන්නේ... ඔයා ඊයෙ කොහේද හිටියේ? පිස්සියක් වගේ ඔයා හොඳටම අවුල් වෙලා දුල්යානා..

මට සිස්ටර් එක්ක කියන්න දිග කතවක් තියෙනවා.. මම ඒ හැමදේම කියන්නම්.. දෙවියන්ගේ නාමෙන් මට පල්ලියෙන් යන්න කියන්න එපා සිස්ටර් මට යන්න තැනක් නෑ... සිස්ටර් සේරා මගේ දිහා බලන් හිටියෙ හැඟීම්බර විදිහට. 
හෙට නත්තල්... ඔයාට ඒකත් අමතක වුණා. අපි පස්සෙ කතා කරමු. දැන් යමු පල්ලිය ඇතුළට.
හෙට නත්තල්...

ඔව්... ඔයා කොහේ ගියාද ඔයාට මොකද වුණේ කියලා මට හිතාගන්න බැරැව හිටියේ. ඔයා කවදාවත් මට නොකියා එක රුයක් පල්ලියෙන් පිටගියේ නෑ...

මම ගියේ අර ගඟෙන් එහා සොහොන් බිමට... දැන් මගෙන් මොකුත් අහන්න එපා සිස්ටර්... ඒ තරමට මාව හෙම්බත්වෙලා... මම හැමදේම සිස්ටර්ට කියන්නම්. මට මගේ ජීවිතේ සිස්ටර්ට හංගන්න දෙයක් නෑ...
සිස්ටර් සේරා මගේ උරහිසට අත තියලා මා නැගිට්ටුවා.

ඔයා දෙසැම්බර් පටන්ගද්දිම නත්තල් ගහ හැදුවා... අංජලී ඊයේ ඔයාව මතක් කළා ඒක කිය කියා..
මොනවා... අංජලී මාව මතක් කළා...
ඔව්...
එයාගේ මතකයට මා අරන් ගියාට දෙවියන්ට ස්තූතිවේවා...
දෙවියන්ට අපි අමතක නෑ දුල්යානා...