2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

නිහතමානී ජෝති

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 74

අග්‍රගණ්‍ය ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාලයන් ගැන හා ඔහුගේ පුදුමාකාර මනුස්සකම  ගැන බොහෝ දේවල් කතා කර තිබෙනවා.

එහෙත් ඔහු ගැන තවත් අලුත් කතා රැසක් විටින් විට මතුවෙන්නෙ ජෝති අපේ මතකයෙන් ඈත් නොවෙන චරිතයක් නිසා. ජෝති ළඟින් ඇසුරු කළ කිංස්ටන් ප්‍රනාන්දු මෑතකදි අපූරු කතාවක් කිව්වා.
රාගම ප්‍රදේශයේ එක්තරා සංගීත ප්‍රසංගයක් නිමවීමත් සමඟම ජෝති ඔහුගේ වාහනය වෙත ගමන් කළා. ඔහු පසුපස මිනුම් පටියක් කරවටේ දමාගත් අතේ කතුරක් ගත් මනුස්සයෙක් ආවලු.
ජෝති තරමක් බියට පත්වුණාලු.

අනේ බයවෙන්න එපා ජෝති අයියෙ මම මේ ළඟ තියෙන දාස ටේලර්ස් එකේ අයිතිකාරයා. මම කැමතියි ජෝති අයියට සූට් එකක් මහලා දෙන්න... ඔහු කිව්වලු.
ජෝති ඔහු සමඟ ළඟ තිබුණ ටේලර් සාප්පුවට ගිහින් ඔහුගේ මිම්ම දුන්නලු.

අනේ ජෝති අයියෙ ආයෙත් රාගම ෂෝ එකක් තිබුණොත් මම මහන මේ සූට් එක ඇඳගෙන ආවොත් මට ලොකු ආඩම්බරයක්... ඔහු කිව්වලු.
ඊට මාස තුනකට පසු ජෝතිට රාගම තවත් සංගීත ප්‍රසංගයක් තිබුණලු. ඔහු එදා ඇඳගෙන ආවෙ එදා මහලා දුන්න සූට් එක. ඒ විතරක් නෙවෙයි ඔහු සින්දු කියලා බහින්න කලින් මෙහෙමත් කිව්වලු.
මේ ලස්සන සූට් එක මට මහලා දුන්නෙ රාගම දාස ටේලර්ස් අධිපති...
අන්න මුල අමතක නැති නියම මිනිස්සු!

 

මල්ලිට පෙට්ටිය පැටලිලා

චිත්‍රපටයකට අලුත් මල්ලි කෙනෙක් එකතුවෙලා තියෙනවා වැඩ පුහුණු වෙන්න.
ඔන්න චිත්‍රපටයේ නළු නිළියන්ගෙ දින ටික වෙන්කරලා හදපු ෂෙඩුල් ටික අදාළ නළු නිළියන්ට තැපැල් කරන වැඩේ මේ අලුත් මල්ලිට තමයි පවරලා තියෙන්නෙ.
ඒත් සතියක් ගිහිල්ලත් කිසිම නළු නිළියකගෙන් ප්‍රතිචාරයක් ලැබිලා නැහැ.

සාමාන්‍යයෙන් නළු නිළියො කතා කරලා තමන්ගෙ දින වෙනස් කරගන්න සහාය අධ්‍යක්ෂකවරයා සමඟ කතා කරනවා. ඒත් මේ පාර කිසිම කෙනෙක් කතා කරලා නැහැ.
සති දෙකකට විතර පස්සෙ අධ්‍යක්ෂකවරයගෙ ගෙවල් ළඟ තියෙන රාජ්‍ය බැංකුවක නිලධාරි මහත්තයෙක් ලියුම් මිටියකුත් එක්ක අධ්‍යක්ෂකවරයා මුණගැහෙන්න ආවලු.
මේ මහත්තයා යවපු ලියුම් කීපයක් අපේ බැංකුවේ උකස් බඩු රිසිට්පත් දාන පෙට්ටියෙ කවුදෝ දාලා ගිහින්...
අධ්‍යක්ෂට තරු පෙනුණලු.

 

නිෂ්පාදක වෙනුවෙන් අතක් උස්සයි

පහුගිය දවසක උදයකාන්ත වර්ණසූරියගේ වස්සානේ සඳ අලුත්ම චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් කොළඹ දී පැවැත්වුණා. ඒ සඳහා සුවිශේෂී පිරිසකට ආරාධනා කර තිබුණා. චිත්‍රපටයේ සම නිෂ්පාදක මහේෂ් බණ්ඩාර පදිංචිවෙලා ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ. ඔහුත් මේ විශේෂ දර්ශනයට සහභාගි වුණා.

චිත්‍රපටය ආරම්භ කරන්නට මත්තෙන් උදයකාන්ත සභාව ඇමතුවා. ඕස්ට්‍රේලියාවෙන් පැමිණි මහේෂ්වත් සභාවට හඳුන්වලා දෙන්න උදයකාන්ත ඔහුව හෙව්වා.
කෝ අපේ මහේෂ් මහත්මයා...

මහේෂ් හිටියෙ ශාලාවෙ කොනක වාඩිවෙලා.
කෝ මහේෂ් ඉන්න තැනකින් අත උස්සන්න..., උදයකාන්ත ආයෙත් කිව්වා.
ඒ පාර අතක් ඉස්සුනා. ඒත් ඒ මහේෂ්ගෙ අත නෙවෙයි, චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂක අයේෂ්මන්ත හෙට්ටිආරච්චිගෙ අත.
බැලින්නම් මහේෂ්ගෙ අතේ බඩු වගයක් තිබුණු නිසා ඔහුට අතක් උස්සන්න බැරිවෙලා. 
එයාට සහයෝගයක් හැටියට තමයි අයේෂ්මන්ත අත උස්සලා තියෙන්නෙ.

ගුරාටත් ගුරුවෙන්න හදන පත්තර නංගි

මේ ලෝකෙ කිසිම ක්ෂේත්‍රයක ප්‍රවීණයො එක රැයකින් බිහිවෙන්නෙ නැති බව අමුතුවෙන් කිව යුතුද?
තිරරචනය ගැන මෙලෝ හසරක් නොදැන සිටි එක්තරා තරුණියක් මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. ඒ කාලය තුළ ඇයට ප්‍රවීණ තිරරචිකාවියක් මුණගැහුණා. ඇගෙන් තිරරචනය ගැන හොඳ අවබෝධයක් ලබාගත් අතර, කාලයක් යත්ම ප්‍රවීණ තිරරචිකාවියගෙ සහායිකාව ලෙසද ඇය කටයුතු කළා.
ඔන්න ඔය විදියට කාලය ගෙවිලා ගියා.

දැන් දැන් අර ප්‍රවීණ තිරරචිකාවිය ඇගේ නිර්මාණ ගැන මූණුපොතේ පෝස්ට් එකක් දාපු ගමන් කමෙන්ට් කරන්නෙ කලක් ඇගෙන් තිරරචනය ඉගෙන ගත්තු නංගි. ඒත් ඇගේ හැම කමෙන්ට් එකකින්ම ඇය කරන්නෙ ඇගේ ගුරුවරියට තිරරචනය ගැන ගුරුහරුකම් දීමයි.
මේක පුදුම ලෝකයක්!

 

ඔයා කවුද?

සමහර පෞද්ගලික රූපවාහිනී නාලිකාවල පෙන්නන සින්දු - චැට් වැඩසටහන්වලට එන අය බොහෝ අය මුල්වරට දකින්නෙ ඒ නාලිකාවල තමයි.
ඒත් ඇවිල්ලා කියන වැල්බයිලා ටික නම් කියලා වැඩක් නෑ.

ඔන්න ඒ වගේ වැඩසටහනකට අපේ ජනප්‍රිය නළුවෙකුත් සහභාගිවෙලා තියෙනවා. හැබැයි ඒ වැඩසටහනට ඇවිත් ඉන්න එක කෙල්ලෙක්ව මෙයාට කොහෙත්ම නිච්චි නැහැල්ලු.
නංගි ඔයා කවුද? ඔහු අහලා තියෙනවා.
මම ඇක්ට්‍රස් කෙනෙක්...
මොන ෆිල්ම් එකේද හිටියෙ...
ෆිල්ම් නෙවෙයි අයියෙ...
එහෙනම් ටෙලිනාට්‍යවලද?
නැහැ අයියෙ...
එහෙනම්?
අයියෙ කටුනායක ගුවන්තොටුපොළින් කොළඹ පැත්තට එනකොට සීදුව හන්දියට කලින් තියෙන ලොකු කටවුට් එකේ ෆ්‍රිජ් එකක් අල්ලගෙන ඉන්නෙ මමනෙ...
ආ... ඇත්තද...? ඔහු එතනින් එහා කිසිම දෙයක් කිව්වෙ නැහැ. වැඩසටහන මෙහෙයවන්නා ඒ නංගිව හඳුන්වලා දුන්නා.
ලංකාවෙ වගේම පිටරට ඉන්න ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගෙ ආදරය හා ගෞරවය දිනාගත් ....... ආයුබෝවන් ඔබට...
ආයුබෝවන් අයියෙ...

 

► Text – Mithra