ෂැම්පේන් බෝතලය හිස් වෙද්දී ඇය සිටියේ හොඳටම ප්‍රකෘති සිහියෙන් ඈත් වූ තත්ත්වයක. මගේ දෑසට දැනෙමින් තිබුණේ දැඩි වෙහෙසක් හා නිදිමත ගතියක්. මම සඳළුතලයේ බැම්මට හිස හේත්තු කරගෙන ඇස් පියා ගත්තා.
දුල්යානා කෝ මම අහපු ප්‍රශ්නයට උත්තරයක්?
සිහියෙන් ඉන්න වෙලාවක අපි කතා කරමු ජානා. ඔයා දැන් කතා කරනවා නෙවෙයි නිකම් දොඩවනවා විතරයි...
උඹට පේන්නේ එහෙමද? ඒත් මම කතා කරන්නේ හොඳ සිහියෙන්. මගේ විදිහට ඔයාට ඉන්න පුළුවන්නම් ඔයා මේ ගෙදර ඉන්න. නැත්නම් ඔයාට මේ ගෙදර ඉඩක් නෑ දුල්යානා. ඔයා පල්ලිය සම්පූර්ණයෙන් අමතක කරන්න ඕන. ඔයාට ආයෙත් පල්ලිය එක්ක කිසිම ගනුදෙනුවක් තියෙන්න බෑ.
ඔයා කොහොමද මට ඒ විදිහට බලපෑම් කරන්නේ?
මේක බලපෑමක් නෙවෙයි... මම කියන්නේ ඔයා අපේ ගෙදර ඉන්නනම් ඒක එහෙම වෙන්න ඕන...
නැත්නම්?
නැත්නම් කොහොමද දුල්යානා අපි එක ගෙදරක ඉන්නේ... පල්ලිය අපේ ජීවිතවලට ඇණ ගහනවා. ඒ ජීවිතේට හැමෝටම හුරුවෙන්න බෑ... උඹ හිතුවට පල්ලිය තමා උඹේ ජීවිතේ කියලා ඒක සම්පූර්ණ බොරුවක්. ඒකයි ඔයා ගාව කවදාවත් සතුටක් කියලා දෙයක් තිබ්බෙ නැත්තේ...
අමතක කරන්න බැරි දේවල් බලෙන් අමතක කරන්න හදවන්න එපා...
ඔයා කැමති දෙයක් තෝරා ගන්න...
මම නැගිටලා කාමරයට ගිහින් දොර වහ ගත්තා. ජානා කීප වතාවක්ම යළි අඬගැසුවත් මම කාමරයෙන් පිටතට ගියේ නෑ... මට උවමනා වෙලා තිබුණේ සුවදායක නින්දක් විතරයි.
ඇයි ඔයා මාව හම්බවෙන්න ආවේ?
මම ආදේශ් දිහා බැලුවේ ඒ ප්‍රශ්නයට එක පාරටම දෙන්න උත්තරයක් මගේ ළඟ නැතිවුණ හින්දා...
ඔයාගෙන් එකම එක උදව්වක් ඉල්ලන්න...
මගෙන්... ඔයා මාව එපා කියලා ගියපු කෙනෙක්...
එහෙම ගියේ මටම කියලා ජීවිතයක් හොයා ගන්න.. ඒත් මට වැරදුණා ආදේශ්...
එහෙම නොගියනම් අදටත් ඔයා මගේ ගාව ඉන්නවා...
ඒත් ඒකෙ අවසානයක් නෑ ආදේශ්... මට ඕන මොකක් හරි දේක අවසානයක්... මගේ ජීවිතේ තියෙන්නේ ඉවරයක් නැති ඇවිදිල්ලක් විතරයි. මට දැන් ඕන කොහේ හරි එක තැනක නවතින්න. මටම හිතෙනවා මට දැන් හුඟක් මහන්සියි කියලා...
ඉස්සර හැමදාමත් අපි හමුවුණ ගං තීරයේ අවන්හල වෙත අපි ඇවිද ගියා. ඉස්සර හැන්දෑ වරුවල අපි මෙතෙන්ට ඇවිත් සීත කළ බියර් පානය කරමින් ගෙවා දැමූ හැන්දෑ කාල යළිත් මගේ මතකයට ආවා.
මේ හැමදේම එදා වගේමයි ආදේශ්...
ඔව් වෙනස් වුණේ ඔයා විතරයි දුල්යානා...
මම වෙනස් වුණේ නෑ... ඒත් මටම කියලා නවතින්න ඉඩක් නැති කෙනෙක්ගේ ලෝකේ ඇතුළෙ මම කොහොමද ආදේශ් හැමදාටම නවතින්නේ...
ඒත් කවුරුත් ඔයාට ආදරේ නොකළ තරම් මම ඔයාට ආදරේ කළා නේද දුල්යානා...
මගේ ඇස් දෙකට කඳුළු එකතු වෙන්න ගත වුණේ එක මොහොතක් විතරයි.
ආදේශ් හැමදේම අමතක කරලා මට මේ රටින් යන්න විදිහක් හදලා දෙන්න. මම ඔයාගෙන් දැන් ඉල්ලන්නේ එච්චරයි...
කාත් කවුරුත් නැතුව ඔයා ඉන්නේ කොහොමද එහෙම ගිහින්...
දැන් කියලත් ඒකෙ වෙනසක් නෑනේ...
ඒත් දැන් කතා කරපු වෙලාවක එන්න තාමත් ඔයාට මම ඉන්නවා නේද?
කොච්චර අමාරුවකින්ද ආදේශ් අද මේ විදිහට ඔයාව හම්බවුණේ. මම කතා කරන හැමවෙලාවකම ඔයාට එන්න බෑ. මම කොහොමද හිතන්නේ මම වෙනුවෙන්ම කෙනෙක් ඉන්නවා කියලා. මට එහෙම දැනෙන්නේ නෑ...
ආදේශ් ඉස්සර වගේම මගේ අත තද කරලා අල්ලගත්තා...
ඔයා තාමත් තනි වෙලා නෑ දුල්යානා...
අපි පුරුද්දට වගේ ගිහින් බීර අවන්හලක ඉඳගත්තා.
බැදපු මස් අලපෙති එක්ක සීතල බියර් අපි ඕඩර් කරමුද?
මට ඕන ඔයත් එක්ක කතා කරන්න විතරයි...
සමහරවිට අපි ආය මේ විදිහට හම්බවෙන එකක් නෑ දුල්යානා. ඉස්සර දවස් මතක් වෙන්නත් එක්ක අපි අද සතුටින් ඉමු...
ඒක තේරුමක් නැති සතුටක් විතරයි...
හැමදේකම තේරුම් හොයන්න එපා... තේරුමක් ඇතත් නැතත් සතුටක් දැනෙනවනේ...
අපි වෙනදා වගේම සීතල බියර් බොමින් හැන්දෑවේ ගඟ දිහා බලාගෙන හිටියා.
ඔයා කොහේවත් යන්න එපා දුල්යානා. මොහොතකින් ඔහු පැවසුවේ හැඟුම්බර ස්වරයකින්.
නෑ... මම යන්න ඕන. නොගිහින් මොනවා කරන්නද?
ගියා කියලා?
මට රස්සාවක් කරන්න පුළුවන්නේ...
මෙහෙ ඉඳනුත් ඔයාට රස්සාවක් කරන්න පුළුවන්නේ...
මට ඕන අලුත් ජීවිතයක්. මේ ජීවිතේ දැන් හරි ඒකාකාරියි කියලා මට හිතෙනවා. පල්ලියත් එක්ක තියෙන බැඳීමෙන් මට නිදහස් වෙන්න ඕන. මට හැමදේම අමතක කරන්න ඕන...
එහෙම හැමදේම අමතක කරන්න පුළුවන්ද? ඇත්තටම මේ දුල්යානා ඔයාමද කතා කරන්නේ?
ආදේශ් ඉස්සර වගේම මගේ ඇස් අස්සට එබුණා. ඒත් ඒ බැල්ම ඒ මොහොතේ මට දරාගන්න පුළුවන්කමක් තිබුණෙ නෑ.