බ්‍රිතාන්‍ය රජ කිරුළේ තෙවැනි උරුමක්කරු ලෙස සැලකෙන පුංචි ජෝර්ජ් කුමරු තම සිව්වැනි උපන්දිනය සැමරැවේ ඉකුත් ජූලි මාසයේදීය. මෙතෙක් පෙර පාසල් අධ්‍යාපනය ලබමින් හුන් පුංචි කුමරුවා පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී තම අධ්‍යාපන කටයුතු ඇරඹීය. ඒ, ලන්ඩනයේ උසස්ම ප්‍රාථමික පාසලක් ලෙස සැලකෙන තෝමස් බැටර්සී පාසලේදීය.
බොහෝ බ්‍රිතාන්‍ය ජාතිකයින් විශ්වාස කළේ විලියම් සහ හැරී කුමාරවරු තම ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ලන්ඩනයේ වෙදර්බි පාසලටම ජෝර්ජ් කුමරු ද ඇතුළු කරනු ඇත කියාය. එහෙත් බැටර්සී පාසලට ජෝර්ජ් ඇතුළු කිරීමට විලියම් සහ කේට් මවුපියන් පියවර ගෙන ඇත්තේ, එය මිශ්‍ර පාසලක් නිසා බව කියැවේ. එනම් තවත් කෙටි කලෙකින් ජෝර්ජ් කුමරුගේ නැඟණිය වන චාලට් කුමරියද අධ්‍යාපනය ආරම්භ කළ යුතු නිසා බැටර්සී මිශ්‍ර පාසල තෝරාගන්නට ඔවුන්ගේ මවුපියන් වන කේම්බ්‍රිජ් ආදිපාදවරයා සහ ආදිපාදවරිය පෙළඹුණා විය හැක.
එංගලන්තයේ මාධ්‍ය වාර්තා කරන ආකාරයට තෝමස් බැටර්සී පාසල බ්‍රිතාන්‍යයේ ඇති ඉහළම පෙළේ ප්‍රාථමික පාසලකි. වසරකට පවුම් 17,604ක් (රුපියල් ලක්ෂ 35ක් පමණ) පමණ අය කරන මෙම පාසල එංගලන්තයේ උසස් ප්‍රභූ හා ධනවත් පවුල්වල ළමුන්ට වෙන්වූ පාසලකි. එහි අවුරුදු හතරේ සිට දහ තුන දක්වා වයස්වලට අයත් ළමුන් ඉගෙනුම ලබති. මෙම පාසලේ තවත් විශේෂත්වයක් වන්නේ එහිදී ලබාදෙන දිවා ආහාරය සියයට සියයක්ම කාබනික එළවළු හා පළතුරුවලින් සැකසූ පෝෂණීය ආහාරවේලක් වීමය.
1971 වසරේදී ආරම්භ වූ මෙම පාසල තෝමස් පවුල විසින් පරිපාලන කටයුතු සිදුකරන ස්වාධීන පාසලකි. ජෝර්ජ් කුමරුගේ ප්‍රාථමික අධ්‍යාපනය වෙනුවෙන් තම පාසල තෝරාගැනීම පිළිබඳ සතුට පළකරමින් පාසලේ බලධාරීන් විසින් විශේෂ නිවේදනයක්ද නිකුත් කොට තිබේ.
“බ්‍රිතාන්‍ය රජ පවුල පුංචි කුමරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් අප පාසල තෝරාගැනීම ගැන අපට ඇත්තේ විශාල සතුටක්. ජෝර්ජ් කුමරු වගේම සැප්තැම්බර් මාසයේ අප හා එක්වන සියලු පොඩිත්තන් අපි ආදරයෙන් පිළිගන්නවා”. යනුවෙන් එම නිවේදනයේ දැක්වේ.
තෝමස් බැටර්සී පාසල සඳහා තම දරුවන් ඇතුළත් කිරීම සඳහා එංගලන්තයේ ඉහළ පෙළේ පවුල්වල මාපියන් අතර ඇත්තේ ද විශාල තරගයකි. එක්වරකට සිසුන් 200 දෙනෙකු පමණක් ලියාපදිංචි කරගන්නා නිසා බොහෝ ධනවත් මාපියන් තම දරුවා උපන් මොහොතේදීම පාසලේ ලියාපදිංචි කරවීමටද කටයුතු කරතිබේ.
පුංචි ජෝර්ජ්ට පාසල සඳහා තෝරාගෙන ඇත්තේ නේවි වී කොලරය සහිත කමිසයක් හා ඊට ගැළපෙන බර්මියුඩා විලාසිතාවේ කොට කලිසමකි. ඊට රතු පැහැ මේස් කුට්ටමක් ද කළු පැහැ සපත්තු යුගලයක් ද එක්වෙනු ඇත.
ජෝර්ජ් කුමරුගේ පාසල් ගමන යෙදෙන මේ මොහොත් සිහිපත් කළ යුතු තවත් විශේෂ කරුණක් තිබේ. එනම්, ජෝර්ජ්ගේ පියා වන විලියම් කුමරු මුල්වරට පාසල් ගොස් ඇත්තේ 1987 වසරේදීය. විලියම් කුමරුගේ පියා වන චාල්ස් කුමරු මුලින්ම පාසල් ගොස් තිබෙන්නේ 1957 වසරේදීය. මෙහි විශේෂත්වය වන්නේ දැනට බ්‍රිතාන්‍ය රජ කිරුළේ උරුමකරුවන් වන තිදෙනාම වසර 30න් 30ට පාසල් ගොස් තිබීම ය.
මේ අතර පුංචි ජෝර්ජ් කුමරු වාසය කරන කෙන්ග්සින්ටන් මාළිගයෙන් ඇසෙන අලුත්ම ආරංචිය වන්නේ, කේට් කුමරිය විසින් තවත් දරුවෙකු සඳහා සූදානමින් පසුවන බවය. ඒ ගැන විස්තර ඉදිරියේදී කතාකරන්නට ඉඩ ලැබෙනු ඇත.
(අන්තර්ජාලය ඇසුරෙනි)
► Text - Rajitha