2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

ස්වේතයි එයාගෙ අම්මයි දාලා අාව දවසේ මුළු කොළඹම මට හිනාවුණා

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 321

ජීවිතයට පට්ට විදිහට ආදරේ කරපු ඒ සෙල්ලක්කාරයා තාමත් ඔය ජීවිතය ඇතුළේ ඉන්නවාද?
ඔව්... මම හිතන්නේ මට මාත් එක්ක ගිවිසුමක් තියෙනවා. මට මාත් එක්ක ආඥාවක් තියෙනවා. ඒ ආඥාවේදී මගේ අන්තිම හුස්ම ටික කවදාහරි කොහේදි හරි තැනක යනකන් මම මාව අතහරින්නේ නෑ. මම මාව පුළුවන්තරම් සුදුසු විදිහට රැකගන්න මම පොරොන්දු වෙනවා. ඒ සුන්දරයාව මම රැකගන්නවා. ඕනෑම කුණු ගොඩක මට මලක් වෙන්න පුළුවන්. ඕනෑම පන්සලක් ඇතුළේ මට ඕනෙ නම් කුණු වෙන්න පුළුවන්. සියල්ල වමට හැරෙද්දි මම දකුණට හැරුනේ කාටවත් ඕනෑවට නෙවෙයි. ඔය කියන මධුමාධව අරවින්ද කියන මම මට ආස දේවල් කළා. ඒ නිසා ඔය ගිවිසුම කඩවෙච්චි දවසට මම ඔහුව අතහරිනවා.

මධුගේ ජීවිතේ සොඳුරුතම කාලය කොයි කාලේදිද?
මේ ප්‍රශ්නය අහපු ගමන්ම අපි හැමෝම අතීතයට හැරෙන්න උත්සාහ කරනවා. අපේ අතීතයේ දිහා බලන්න උත්සාහ කරනවා. එතකොට සමහරවිට අපි දෙන උත්තරය මොකක් වුණත් අපි ඒ මොහොතේදි පරදිනවා. මතක තියාගන්න ජීවිතේ වෙන හොඳම දේ වෙන්නේ හෙටයි. ඒ හෙට වෙනුවෙන් අද හුස්ම ගන්න. මම හිතන්නේ ජීවිතේ කියන්නේ නැවත නොවෙන අතීතයවත් නොදන්න අනාගතයවත් නෙවේ. මේ මොහොතයි. ඒ නිසා කවුරුහරි මගෙන් ඇහුවොත් ජීවිතේ සොඳුරුතම මොහොත මොකක්ද කියලා මගේ උත්තරය මේ ඔයයි මායි කතාබහ කරන මේ මොහොතයි. ඒ නිසා ඊළඟට ගන්න හුස්ම ටික ගැන තමයි අපි හැමෝම හිතන්න ඕනේ. මැරිච්චි මිනිය ගැන මරණ පරීක්ෂණ තියනකොට පැත්ත පළාතම ගඳ ගහනවා. ඒ නිසා හිතන්න ලෝකේ තියන හොඳම මොහොත තමයි ඔබට එන්න තියෙන හෙට දවස. ඒ හෙට දවස හොඳ කරගන්න අද මේ මොහොත සොඳුරුතම කරගන්න. ඒ හෙට දවස වෙනුවෙන් අද නිදියන්න. හොඳට හුස්මක් අරගෙන හෙට දවසෙ නැගිටින්න. 

ජීවිතයේ හැම දෙයක්ම ජය ගත්තු මධු ප්‍රේමයේදි අවාසනාවන්ත පෙම්වතෙක් කියලා මම කිව්වොත්?
නෑ... මම එහෙම හිතන්නෙ නෑ. ලියන කෙනෙක්ට නම් අකුරු එක්ක ආත්මීය බැඳීමක් තියෙනවා. ගැහැනියක් කියන්නේ පිරිමියෙක් එක්ක ආත්මීය බැඳීමක්. එතකොට එක අකුරක් ඔබ අවුරුදු සීයයක් ලිව්ව පමණින් ඔබ අකුරු ප්‍රේමවන්තයෙක් වෙන්නේ නෑ. ඔබ අපි පිටු දාහක ලිව්වත් ඔබ දන්නේ අපි විතරයි. ඒකට අම්මා කියලා ලිව්වම ඒකේ අර්ථය වෙනස් වෙනවා. ගැහැනිය කියන්නෙත් එහෙමයි. ඇයත් මට එක අකුරක් නෙවේ. අකුරු ගොඩක්. මම බොහෝ රටවල්වලට ගියපු සංචාරකයෙක් නම් මට ගම්මාන ගොඩකට යන්න ලැබීමත් ලොකු වාසනාවක්. එක ගම්මානයක රැඳිලා ඒ නගරයටම ආදරේ කරන අය හරි පිංවන්ත වාසනාවන්ත අයයි. හැබැයි මම කියනවා මට එහෙම කරන්න බැහැ. මම එක නගරයකින් අනිත් නගරයකට යද්දි ඒ කිසිම නගරයකට අපහාස නොකරන්නේ ඒ හැම නගරයකම මට ප්‍රේමණීය ගැහැනියක් හිටියා. ඒක ආත්මීය පූජාවක්. ඒක ඇතුළේ සෙනහසත්, ආදරණීයකමත් තිබුණා. මම හැරිලා බලද්දි ඒ ගම්මාන සියල්ලම මගේ ජීවිතේ ලස්සන කළා. ඒ නිසා මම හොඳ සංචාරකයෙක් නම් මගේ ප්‍රාර්ථනාව මම දිනුම්. 

ඔබේ හිත හඳුනාගත් ඔබේ හිත වඩාත්ම සංවේදි කරපු ඔබේ හිත වඩාත්ම සසල කරපු ගැහැනිය කවුද?
එහෙම කියන්න එක ගැහැනියක් නෑ. මගේ ජීවිතේ වෙන්වීම් ගොඩක් තියෙන නිසා මට එහෙම එකක් කියන්න බෑ. මගේ ජීවිතේ මගේ මුල්ම ප්‍රේමය මම අතහරිද්දි මගේ වයස අවුරුදු දහසයයි. ඇය අද දරුවන් තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙක්. ඇය තවමත් මට කතා කරලා සුභ පතනවා. මම අද ලොක්කෙක් නෙවේ. නමුත් ඒ කිසිකෙනෙකුට මගෙන් මිඳෙන්න බෑ. ඔවුන් අදටත් මට කතාකරනවා. සුභ පතනවා. ජීවිතේ එක්ක කෝලම් කරන්නේ නෑ. හැබැයි අපේ ජීවිතේ සමරනවා. ඒ සැමරීම හරි ගෞරවාන්විතයි.

ඒ පළවෙනි ප්‍රේමයෙ වියෝව හිතට දැනුණු ලොකු කම්පනයක්ද?
ඔව්... ඇත්තෙන්ම ඒ වියෝව පුදුමාකාරයි. එදා අපි දෙන්නා මේ ආදරය ඉවරයි කියලා කතාබහ කරලා වෙන්වෙච්ච දවසේ මම ගෝල්ෆේස් ගිහින් පුංචි දරුවෙක් වගේ ඇඬුවා. අවුරුදු දාසය වයසේ හිටපු මට ඒක ලොකු වේදනාවක් කියලා දැනුණා. ඒ වගේම මගේ අන්තිම ප්‍රේම සම්බන්ධතා රාත්‍රියත් ඒ වගේමයි. එදා මම දැනන් හිටියේ නෑ මේ ලෝකයම කළුවර වුණාට මේ මොහොත ගෙවුණට පස්සේ අලුත් ලෝකයක් ලැබෙනවා කියලා. අද මම ඒ දේවල් දන්න නිසාම මම ඒ හැම දෙයක් දිහාම ගෞරවයෙන් බලනවා. මතක තියාගන්න විරහව කියන එක අපිට වර්ගීකරණය කරන්න බෑ. මේ හැමෝගෙම ප්‍රේමය මට එකයි. මට දවසක් හරි කන්න දීපු මට දවසක් හරි ආදරේ කරපු ඒ හැමෝම මට ගෞරවාන්විතයි. ඒ අය වෙන්වෙලා නම් මගේ හදවතින් අදටත් ඔවුන් නැතිව ඔබ දන්න මධුමාධව පොළොවෙ හැපි හැපී ඇඬුව බව විතරක් මතක තියාගන්න. ඇතැම් ප්‍රේමණීය බැඳීම් මම නතර කරපු තැන් තිබුණා. සමහර ළමයින්ගේ ආනාගතය වෙනුවෙන් මම එහෙම කළා. මධුමාධව හුළඟක් වගේ කියපු අය ගොඩයි. ඒ නිසා සමහර නගරවලට මම ඇතුළුවුණේ නෑ. ඒ නිසා මගේ රත්තරන් නංගී... යන්න කියලා කියපු අය මගේ ජීවිතේ නැතිවා නෙවේ. ඒවා හරිම ගෞරවයෙන් කරපු ආයාචනා. ඔවුන් මම හරිම ආදරයෙන් ආරක්ෂා කරපු ආදරණීය නගරයන්. ඒ වෙන්වීම් ඇතුළේ අලුත් වේදනාවක්. ඒක දරාගැනීම හරි අපහසුවක්. නමුත් මොකක්දෝ හේතුවකට මම ඒ වේදනාව විඳදරාගත්තා. 
අරවින්ද යායේ මල් පරවෙන්නේ නෑ. ඒකට මේ යායට ආපු අය දන්නවා. ඒ අරවින්ද යායේ මල් පිපෙන්නේ නැතිවුණත් මම ඒ ගස්වලට වතුර දානවා. ඒ නිසා අරවින්ද යායේ අන්තිම ගස තමයි ඊළඟට හැදෙනවා නම් හැදෙන්නේ. ඒ ගසත් ඒ මලත් අතහරිනවා කියන්නේ මම ගොඩක් දේවල් අතහරීවි. මට තේරෙන විදිහ තමයි අරවින්ද යායේ අන්තිම මල පිපෙන්න ළඟයි.

අද ජීවිතේ තනිකඩයි කියලා හිතෙන තැන් තියෙනවද?
එක ඇඳේ ඉන්න සමහර ගැහැනිය සහ මිනිහා ජීවත් වුණාට ජීවත් නොවන ගෙවල් මම දැකලා තියෙනවා. ශරීර කූඩු දෙකක් එක ගෙයක් ඇතුළේ යුතුකම් කරමින් ඉඳීමයි ඒ. දරු පැටව් ඉස්කෝලේට අරන් යන අම්මලා, තම උපන්දිනයට චූටි ප්ලාස්ටික් වළල්ලක්වත් හම්බ නොවන අම්මලා මැරිලා. දෙන්නත් එක්ක එළියට ගිහින් වඩේ එකක් දෙකට කඩාගෙන ප්ලේන්ටියක් බීපු නැති අම්මලා මැරිලා. මම කියන්නේ හොඳට බලන්න ඔබ මැරිලද නැද්ද කියලා. ඔබ යුතුකම් ගොඩක් කරන්න ආපු කෙනෙක්නම් ඔබට මම ගෞරව කරනවා. ඒත් මම හිතන්නේ ඒක නෙවේ ජීවිතේ. ගහේ මල් පිපෙන්නේ නැතිනම් ගහ කපන්න එපා. ගහෙන් බැහැලා යන්න. ජීවත් වෙන්න. අන්තිම හුස්ම දක්වා ඔබේ ජීවිතේ හොයන්න. මට මහ සෙනඟ මැද්දේ තනිවෙන්නෙ නැතිව හුදෙකලා වෙන්න පුළුවන්. මම හුදෙකලා වෙන හැම මොහොතකම මගේ මතක මාව පුරවනවා. තරු නැති අහසේ මම තරු හදනවා. හඳවල් ගොඩයි. මුහුදු වෙරළවල්වල මම ලයිට් දානවා. හැබැයි දහසක් සෙනඟ මැද්දේ මහ ගෝශාකාරි ප්‍රසංග මැද්දේ මම අතිශය හුදෙකලා වෙනවා. කාටවත් මාව හොයන්න බෑ. මම කෑගහලා හිනාවෙනකොට මම ඇතුළෙන් අඬනවා. ටැටෙනවා. කාටවත් පෙන්නන්න මම කැමති නෑ. ඒ නිසා මම ජීවිතේ වැටුණානම් වැටුණේ තනියම. සෙනඟ මැද්දේ. මම කෑගහලා හිනාවුණේ ඇත්තටම තනියම හුදෙකලාවයි. 

මුළු රැයක් එළිවෙනකන් ඇහැරගෙන හිටපු සංවේදි රුයක් මතක් කරන්න කිව්වොත්?
ස්වේතා දුවවයි, ස්වේතාගේ අම්මවයි දාලා ඒ ගෙදරින් එළියට බැහැලා මම මගේ අම්මගේ ගෙදර ආපු දවස තමයි මට මුලින්ම මතක් වෙන්නේ. එදා මට මගේ අම්මගේ ගෙදරට ආපු පැය කොච්චර දිගයිද කියලා මම දන්නේ නෑ. මම පයින් ආවා. මම වාහනේ ආවා. ඒ කාලය හරිම දිගුයි. මුළු කොළඹම ලයිට් කණු මට හිනාවුණා. ඒ හැම පාරක්ම මාව අතරමං කළා. මට පාර වරද්දවනවා කියලා මට දැනුණා. ඒත් කොච්චර වෙලාවක් ගියාද කියලා මම දන්නේ නෑ. ඒ රාත්‍රිය මම නිදිය ගත්තේ නෑ. එතනින් එහාට බොහෝ රාත්‍රීන් මම නිදාගත්තේ නෑ. 

දෙදෙනෙක්ගේ දෙපැත්තකට වීමකදි මිනිස්සු උසාවියේදි කවුරු හරි කවුරු වැරදිද කියලා හොයනවා. ඒත් ඒ දෙන්නාගේ වේදනාවේ අයිතිකරුවන් වන්නේ ඒ දෙන්නයි. ඒ නිසා කියන්නේ දෙන්නෙක් එහෙම දෙපැත්තට වෙද්දි හරි වැරදි හොයනවාට වඩා අනේ උන් පව් කියලා හිතන්න. මාත් එදා පව්. ඇයත් පව්. ස්වේතාගේ අම්මාගේ හුස්ම වැටෙනකන් ඇය දැක්ක හීනය ඇයට මතක් වේවි. ස්වේතාගේ තාත්තා ලෝකේ කොහේ හිටියත් ඒ දිහා බලාගෙන ඉඳීවි.

ඔබේ ජීවිතේ ලැබිච්චි වටිනාම සම්පත මොකක්ද?
මගේ ජීවිතේ ලැබිච්චි වටිනාම සම්පත්නම් ගොඩාක් තියෙනවා. නමුත් මට හොඳට මතක දෙයක් තියෙනවා. මම පුංචි කාලේ අහස බලන් කල්පනා කරනවා. මම කිසි අරමුණක් නැතිව අලුත් දේවල් දකින්න උත්සහ කරපු කෙනෙක්. මට මගේ ජීවිතේ කිසිම හීනයක් තිබුණේ නෑ. මට එහෙම හීනයකට යන්න පාරක් තිබ්බෙත් නෑ. මම දැනන් හිටියා මම මාවම රස්තියාදු කරවනවා. එහෙම කරලා කොහේ හරි නතර කරාවි කියලා. 
ප්ලේන්ටියක් බීලාතෝසයක් කාලා අපි සල්ලි නොදී විනෝදයට දුවපු දවස් තිබ්බා. සමහර දවස්වලට ඇත්තටම ඒ බිල ගෙවා ගන්න බැරිව දුවපු දවස් තිබ්බා. ඒ කාලේදි මා හිතපු දෙයක් තමයි රුපියල් දහයක් දොළහක් නැති මම කොහොමද හීන හදන්නේ කියලා. නමුත් මට තාම මතකයි 1989 දෙසැම්බර් මාසේ 31 වැනිදා මට මතකයි මූණ පිටිපස්සට හරවා පිට පැත්ත හරවා ගත් තරුණයෙක් එකපාරටම මේ පැත්තට හැරුණා. රූපවාහිනිය තිරය යටින් මධුමාධව අරවින්ද කියලා නම ගියා. එදා ඉඳලා මගේ ජීවිතේ වසන්ත කාලයයි. එදා ඉඳන් ලැබිච්චි දේවලුත් නොලැබිච්චි දේවලුත් තිබුණත් එදා මාව රට මධුමාධව අරවින්ද ලෙස පිළි නොගත්තේ නම් අද මම මැරිච්චි තැන්වල ගසුත් පැලවෙලා තියේවි.

 

► Text – Dishani  /  Pic - Internet

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00