නිදහසේ පියා ඩී.එස් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපානවා කියලා ආරංචියි?
ඔව්... සුනෙත් මාලිංග ලොකුහේවාගේ නිදහසේ පියා ඩී.එස් කියන චිත්‍රපටයේ ඩී.එස්ගේ තරුණ අවධිය රඟපාන්නේ මම. එකේ ෂුටිං අතරමඟ නතර කරලා තිබිලා දැන් ආයෙත් ෂූටිං පටන් ගත්තා. ඉතින්... ඒකේ ඉතුරු කටයුතුවලට මේ දවස්වල සූදානම් වෙනවා.
ඊට අමතරව මොන නිර්මාණවලටද තුමිඳු මේ දවස්වල දායක වෙලා ඉන්නේ?
රාජිත දිසානායකගේ ආදර වස්තුව වේදිකා නාට්‍යය නව නිෂ්පාදනයක් විදිහට නැවත වේදිකාගත කරනවා. ඉතින් ආදර වස්තුව වේදිකා නාට්‍යයේ දර්ශන වාර කීපයක්ම සංවිධානය වෙලා තියෙනවා.
තුමිඳු රංගන ශිල්පියෙක් වුණාට විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක්. කොහොමද විශ්ව විද්‍යාල ජීවිතේ?
ඔව්.. මම හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳව කථිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරනවා. ඒක මම හරිම ආසාවෙන් කරන වෘත්තියක්. මොන නිර්මාණ කටයුත්තකට දායක වුණත් මම මුල්තැන දෙන්නේ විශ්ව විද්‍යාල ජීවිතයට තමයි.
බොහෝ දෙනා මේ දවස්වල තුමිඳු ගැන කතා කරන්නේ කූඹියෝ හරහා?
ඔව්... කූඹියෝ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළේ ලක්මාල් ධර්මරත්න. කූඹියෝ රූගත කිරීම් අවසන් කරලා අවුරුදු කීපයක්ම ගත වෙද්දි තමයි මෙහෙම මේ වකවානුවේදී ඒක තිරගත වෙන්නේ. ඒක ඇත්තටම හරි අපූරු නිර්මාණයක්. මම හිතනවා අපි කාලෙකට පස්සේ දකින අපූරු නිර්මාණයක් තමයි මේ. ලංකාවේ ටෙලි නාට්‍ය ඉවරයි. ලංකාවේ ටෙලි නාට්‍ය බලලා වැඩක් නෑ කියන අයට කූඹියෝ හොඳ නිර්මාණයක් වේවී. මේ ටෙලි නාට්‍යයේ නිෂ්පාදකයා අසංක දොඩම්තැන්න.
තුමිඳු නිර්මාණ හරහා වැඩිය දකින්න ලැබෙන්නේ නැත්තේ ඇයි?
මම විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක් හැටියට වැඩකරන්න තෝරා ගනිද්දි ගොඩක් දේවල් ගැන කල්පනා කරනවා. මම උගන්නනවානම් හරිදේ කරන්න ඕනේ. මම නොගැලපෙන දේවල්වල ඉඳලා මට හරිදේ උගන්වන්න බෑ. එක පැත්තකින් මම මගේ වෘත්තිය ගැන කල්පනා කරනවා. අනිත් පැත්තෙන් මම හිතන දෙයක් තමයි නළුවෙකුට ඉතුරුවෙන්න පුළුවන් වෙන්නෝනේ කියලා නළුවෙක් විදිහට. නළුවෙක්ට නළුවෙක් විදිහට ඉතුරු වෙන්න පුළුවන් වෙන්නේ හැමවෙලේම වැඩ කළොත් නෙවේ. මම මාව ඉතුරු කරගන්න උත්සාහ කරනවා. හැම වැඩක් ඇතුළේම හැම වෙලේම රැඳිලා ඉන්න මම කැමති නෑ. මම හිතනවා ඕනේම කෙනෙක්ට රූපමය වටිනාකම ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නෝනේ.
නිර්මාණයකට කතා කරද්දී තුමිඳු පිටපත ගැනත් සැලකිල්මත් වෙනවද?
ඔව්... අනිවාර්යයෙන්ම කූඹියෝ පිටපත ලක්මාල් දෙද්දිත් මම ලක්මාල්ට කිව්වේ මට පිටපතක් දෙන්න එපා මට ටෙලි නාට්‍යයට එන්න බැහැ කියලා. ඒ වෙද්දි පශ්චාත් උපාධිය වෙනුවෙන් සූදානමින් හිටියෙ. නමුත් ලක්මාල් මට පිටපත එවලා තිබුණා. ඒ පිටපත කිෙයව්වම මට තේරුණා.. ඒක ඉතා අපූරු පිටපතක් කියලා. ඒකේ ඇතුළේ නළුවෙක්ට රඟපාන්න බොහෝ දේවල් තිබුණා කියලා මම තේරුම් ගත්තා. ඉතින් පිටපතින් යම් කිසි සමාජය පණිවිඩයක් ලබාදිය හැකි පිටපතක් විතරයි මම තෝරාගන්නේ. ඒ නිසා තමයි මාව වැඩිය දකින්න ලැබෙන්නෙ නැත්තේ.
තුමිඳු වැඩිපුරම කැමති වේදිකාවටද? පුංචි තිරයටද?
ඇත්තටම මම වැඩිපුරම කැමති වේදිකාවට. මම හිතන්නේ නළුවෙකුට ප්‍රේක්ෂකයාට සජීවීව කතාකරන්න පුළුවන් තැන වෙන්නේ වේදිකාවයි. ඒකෙන් ලැබෙන අත්දැකීම් සහ එයින් ලැබෙන අභියෝගාත්මකභාවය පුංචි තිරයේදීවත් සිනමාවේදීවත් ලබාගන්න බෑ. ඒකේදි අපි රඟපෑමට අපි ඉස්සරහ තියෙන්නේ කැමරාවක් විතරයි. හැබැයි ප්‍රේක්ෂකයින් ඉදිරියේදී වේදිකාව මත රඟපාද්දි එක මොහොතකින් වරද්දවා ගන්න කිසිම ඉඩක් නෑ. ඒවගේ සාර්ථකව නිර්මාණයන්ට දායක වෙන්න පුළුවන්නම් ඒක අපි පිළිබඳව අපි තුළ ඇතිවෙන්නේ ආත්ම තෘප්තියක්. අනිත් පැත්තෙන් අපිට නළුවෙක් විදිහට ලැබෙන්නෙ හොඳ වටිනාකමක්. ඒ වගේම ලොකු අත්දැකීමක්. ඒ තත්ත්වය මට සිනමාවේදිවත්, පුංචි තිරයේදිවත් ලැබෙන්නේ නෑ.
කොහොමද කළණිව මුණගැහුණේ?
කළණිව මුණගැහෙන්නේ නාට්‍යයක් බලන්න ඇවිල්ලයි. මම වේදිකා නාට්‍යයක් බලන්න කළණි ඇවිත් හිටියා. එතනදි අපි හඳුනාගත්තා. එයා මගේ රංගනයන් පිළිබඳව සතුටින් ඇඟයීම් කළා. ඒ කාලේදි කළණි කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිය හදාරනවා. ඒ වේදිකා නාට්‍යයෙන් පස්සේ අපි හඳුනාගත්තා. ඒ හඳුනාගැනීම ප්‍රේමයක් වුණා. ඒ ප්‍රේමයේ වසර තුනක් ගතවීමත් සමඟ අපි විවාහ වුණා.
තුමිඳු රඟපෑ චිත්‍රපට කීපයක්ම තිරගත වෙන්නට තියෙන බවයි ආරංචි?
ඔව්... ඒ ආරංචිය ඇත්ත. මම රඟපෑ චිත්‍රපට කීපයක්ම ඉදිරියේදී විකාශය වේවී. සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ වෛශ්යාවි චිත්‍රපටයේ මම ප්‍රධාන භූමිකාව රඟපානවා. ඒ චිත්‍රපටය කරලා දැන් අවුරුදු ගණනාවක් ගත වෙනවා. ඊට පස්සේ බෙනට් රත්නායකගේ නීලා චිත්‍රපටයත්, මේ දවස්වල රූගත කිරීම අවසන් කරන සුනෙත් මාලිංගගේ නිදහසේ පියා ඩී.එස් චිත්‍රපටයත් ඉගිලෙන සමනල්ලු චිත්‍රපටයත් ආදරය තාමත් උසස් පෙළ චිත්‍රපටයේත් මම දායක වුණා. ඊට අමතරව සෝමරත්න දිසානායකයන්ගේ චිත්‍රපටයකටත් මම දායක වුණා. කොහොමත් චිත්‍රපට හයක් විතර තිරගත වෙන්න නියමිතව තියෙනවා.
කළණ ගැන වැඩිය දන්නේ නැති අයට අපි මුලින්ම කළණ ගැන කියන්නම්කෝ. කළණ කියන්නේ දක්ෂ වේදිකානාට්‍ය නළුවෙක්. ඒ විතරක් නෙවේ මේ දිනවල සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රි 8.00 ස්වාධීන රූපවාහිනි සේවයේ විකාශනය වන කූඹියෝ ටෙලිනාට්‍යයේ ගමෙන් කොළඹට ඇවිත් ජීවත්වෙන්න ලොකු ගේමක් ගහන ගමේ තරුණයාට රඟපාන්නේත් කළණ. බලමු කළණගේ සැබෑ ජීවිතේ ගහන ගේම කොහොමද කියලා.
කළණ පවුලේ විස්තර ටිකක් කියමුකෝ?
මගේ තාත්තා අද ජීවතුන් අතර නෑ. අම්මයි මල්ලියි තමයි මගේ පවුලේ ඉන්නේ. මම දැන් විවාහකයි. ඒ තමා මගේ පුංචි පවුල.
ඉස්කෝලේ යන කාලේ ඉඳන් ආසාවෙන් හිටියේ නළුවෙක් වෙන්නද?
නෑ.. ඇත්තටම මගේ හිතේ එහෙම කිසිම අදහසක් තිබුණේ නෑ. ඇත්තටම ඉස්කෝලේ යන කාලේදි මට එහෙම ලොකු ටාගට් එකක්වත් ලොකු හීනයක්වත් තිබුණේ නෑ. හැබැයි මම නාට්‍ය කළා. මම ඉගෙනගත්තේ පිලියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ. විශේෂයෙන් මම ප්‍රේමකුමාර කරුණාරත්න සර් මතක් කළ යුතුයි. ඒ වගේම මගේ රංගන ජීවිෙත්දී ධර්මප්‍රිය ඩයස්වත්, ප්‍රියන්ත විතානගේවත් ආදරයෙන් මතක් කරන්න ඕනේ. ඔවුන්ගෙන් මම රංගනයන් සම්බන්ධව යම් යම් දේවල් ටිකක් හදාරලා තියෙනවා.
වේදිකා නාට්‍යවලට ආසා නිසාමද කළණ වේදිකා නාට්‍ය බලන්න වැඩිපුර පෙළඹුණේ?
ඔව්... ඒක ඇත්ත. 2001 අවුරුද්දේ ඉඳන් වේදිකා නාට්‍ය කරන පිරිස අතරේ රස්තියාදු ගහමින් බොහෝ දේවල් ඉගෙන ගත්තා. බොහෝ දේවල් ගැන අත්දැකීම් ගත්තා. වේදිකා පරිපාලනය, රංගනය, අධ්‍යක්ෂණය වගේ සියලුම දේවල් කරමින් අවුරුදු දහයක් විතර නාට්‍ය කලාවත් එක්ක රස්තියාදු ගැහුවා. තාමත් මම ඒ දේවල් එක්ක රස්තියාදු ගහනවා. ඉතින් ඔය කාලේදිත් කොහොමත් අපි එකතුවෙලා එක එක නාට්‍ය කළා. 2004 අවුරැද්දේ මමයි රුවන් මලිත් පීරිස් මිත්‍රයායි එකතු වෙලා දාස මල්ලීගේ බංගලාව කියලා කළ වේදිකා නාට්‍යයට රාජ්‍ය සම්මාන උළෙලේ සම්මාන අටක් ලැබුණා. ඒකේදි හොඳම අධ්‍යක්ෂණය සම්මානය ලැබුණේ අපි දෙන්නට. ඒකත් එක්ක මම රංගනයට වඩා අධ්යක්ෂණයට වැඩිපුර යොමු වුණා.
ඒ කියන්නේ කළණ රංගනයට වැඩිපුර ඇල්මක් දැක්වූයේ නෑ කියලා?
මෙහෙමයි... රංගනය කියන දේ ඇතුළේ මම ජනප්‍රිය වෙන්න උණක් තිබුණේ නෑ. දැනටත් මට ජනප්‍රිය වීමේ උවමනාවක් නෑ. මට තියෙන්නේ ඒ විෂය ඇතුළේ අපිට කොච්චර දුරට වැඩ කරන්න පුළුවන්ද කොච්චර පරාසයක් යන්න පුළුවන් මට්ටමට මාව පුළුල් කරගන්න පුළුවන්ද කියන දේ ගැන අධ්‍යයනයක් ලැබීම විතරයි. රංගනය කියන්නේ එක්තරා විෂයක්. මේ රංගනයට සෑහෙන පිරිසක් ඉන්නවා. මේ බොහෝ නළුවන් කැමතියි තරු වෙන්න. ඒත් බැබළෙනවාට වඩා මම කැමති බොහෝ දේවල් ඉගෙන ගන්න. ඒ විෂය හදාරන්න මට ලොකු උණක් තිබුණා.
කූඹියෝ තුළින් කළණ බොහෝ අත්දැකීම් ලබාගත්තා... එහෙමද?
ඔව්... කූඹියෝ මට විශේෂ වුණා. අපි නාට්‍යයක් බලලා තීරණය කරනවනේ මේ පුද්ගලයා මෙහෙම වෙන්න ඇති කියලා. නමුත් චරිතවල ඉන්නේ අපි නෙවේ. ඒ චරිත තවත් එක වෙනත් චරිතයක් විතරයි. ලක්මාල් ධර්මරත්න මාව යෝජනා කරද්දී ලක්මාල් කිව්ව දෙයක් තමයි උඹ හිනාවෙද්දි ලස්සනයි... ඔන්න ඔය හිනාව තමයි මට ඕනේ කියලා. හැබැයි මම දන්නවා එහෙම ලක්මාල් කිව්වේ බොරුවක් කියලා. ලක්මාල්ට ඕන වුණේ ගමේ තිබිච්චි ඒ අව්‍යාජ හිනාවයි... ඉතින් කූඹියෝ කෘතිය ගත්තම මගේ ජීවිතේ ඇතුළේ ටෙලි නාට්‍ය වලින් මම කියවපු අති විශේෂ පිටපතක්.
කූඹියෝ අමතරව කළණ මේ දවස්වල නියැලිලා ඉන්න නිර්මාණ මොනවාද?
කිත්සිරි මෙවන් ජයසේනයන්ගේ වේදිකා නාට්‍යයක පුහුණුවීම්වල මේ දවස්වල නිරත වෙනවා. ඊට අමතරව නාලක දේවප්රියගේත් කසුන් පතිරණගේත් කෞෂල්‍ය මාධවගේත් කෙටි චිත්‍රපට කීපයකට දායක වුණා. ඊට අමතරව මම දුලිකා මාරපනගේ සුපර්ණා චිත්‍රපටයටත් රංගනයෙන් දායක වුණා.
කළණ වෘත්තියෙන් කලාකරුවෙක්ද?
එහෙම වෘත්තියෙන් රංගන ශිල්පියෙක් කියලා හිතමු නේද? මේක වෘත්තිය මට්ටමේ කරන්න පුළුවන් විෂයක් නම් නෙවේ. හැබැයි මේක වෙන රස්සාවක් කරලා විනෝදාස්වාදයක් උදෙසා කරන්න පුළුවන් රස්සාවකුත් නෙවේ. කොහොමහරි මම හිතන්නේ රඟපෑම කියන්නේ විෂයයක්. හැබැයි ලංකාවේ ඒක රස්සාවක් නෙවේ.
කූඹියෝ හරහා කළණට හරි අපූරු මිත්‍රයෙක් මුණගැසුණා?
ඔව්... ඒ තුමිඳු... ඉස්කෝලේන් අවුට්වෙලා එළියට ඇවිත් මුලින්ම මම බලපු අරුන්දතී වේදිකා නාට්‍යයේදි තුමිඳු දොඩම්තැන්නත් ඉන්නවා. ඒක මම හරිම ආසාවෙන් බලපු වේදිකා නාට්‍යයක්. ඊට පස්සේ තුමිඳු කරපු වේදිකා නාට්‍යයක මාත් රඟපෑවා. ඊට පස්සේ තමයි කූඹියෝ හරහා මට ආයෙත් තුමිඳුව මුණගැහෙන්නේ. තුමිඳු කියන්නේ තවත් නළුවෙක්ට හම්බවෙන්න ඕනේ ඉතාමත් සහායක් දෙන අපූරු මිත්‍රයෙක්. ඔහු එක්ක රඟපාද්දි මම ලබපු අත්දැකීම් අති විශාලයි.
ඔබ විවාහකයි... කොහොමද ඒ ජීවිතේ?
ඔව්... මම විවාහකයි. එයාගේ නම ගයාත්‍රි ගුණසේකර. ගයාත්රියි මායි මුලින්ම මුණගැහුණේ නියකෝ වීඩීයෝ ආයතනයේදී. හැබැයි ඒ කාලේදි අපි ප්‍රේම කළේ නෑ. පසු කාලේදි අපි කරපු මෝක්ෂා කියන වැඩසටහන දෙරණ නාලිකාවට දෙන්න ගියපු වෙලාවක ආයෙත් මට ගයත්රිව මුණගැහුණා. එතකොට ගයත්‍රි සේවය කළේ දෙරණ ආයතනයේ. ඊට පස්සේ අපි කතාබහ කළා. ප්‍රේම කළා. අන්තිමට ඒ ප්‍රේමය විවාහයකින් අවසන් වුණා.
► Text -Dishani / Pic- Sumudu