2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

එමීගේ අැත්ත නමවත් මම දැන්ම කියන්නෙ නෑ /එක පාරක් මම අනාගත්තේ ගෙඩි පිටින් කියන්න ගිහිල්ලා

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 178

අකිල... දැන් හරිම ආදරණීය පෙම්වතෙක් කියලා ආරංචියි...?
ඔව්... ඔව්... ඒක ඇත්ත. ආදරවන්තයෙක් නෙමෙයි කියලා ලෝකෙට බොරු කරන්න මට බැහැ. හැබැයි මම ඒ ප්‍රේම කතාව දැන් මාධ්‍යයට වැඩිය කියන්නේ නෑ. එක පාරක් මම මගේ ආදරේ මාධ්‍යයෙන් කියලා හොඳට අනාගත්තා. ඒ නිසා මම තීරණය කළා. මේ පාර අඩුම ගාණේ මගේ පෙම්වතියගේ නමවත් කියන්නේ නෑ කියලා. එමී කියන්නේ එයාගේ pet name එක විතරයි. 

ඔය කිව්වට අකිල එමීගේ Birth Day එකට කරපු ස්ප්‍රයිස් එකනම් දැන් කවුරු කවුරුත් දන්නවා...?
ඔව්... ඒක රෑ දොළහට කරපු ස්ප්‍රයිස් එක විතරක් නෙමේ. එමීගේ Birth Day එක වෙනුවෙන් අපි ස්ප්‍රයිස් තුනක් කළා. හැබැයි ෆොටෝ ගියේ ඔය ස්ප්‍රයිස් එක විතරයි. එදා එමී ඇති තරම් අඬනකන් අපි එයාව ස්ප්‍රයිස් කළා. කොහොමටත් මම එයාව නිතර ස්ප්‍රයිස් කරනවා. මුලින්ම පාන්දර දොළහට කරපු ඔය ස්ප්‍රයිස් එක ලෑස්ති කළේ මගේ අක්කා. ඊට පස්සේ දවල් වරුවේ අම්මා එයාව ස්ප්‍රයිස් කළා. එදා රෑ එමීව මම ස්ප්‍රයිස් කළා. මම හිතන්නේ එහෙම ස්ප්‍රයිස් කරලා ෆොටෝ ගන්නෙක වරදක් නෑ. ආදරේ සුන්දරයි කියලා හිතලා ඔහොම දේවල් කළා. සමහරු ඔය ස්ප්‍රයිස් මහ මෝඩ දේවල් කියලා හිතුණට ඒවා ඇතුළේ මහ සුන්දරකමක් තියෙනවා. 

එමී අඬනකම්ම මම එයාව ස්ප්‍රයිස් කළා  

එමී මොන වගේද...?
එයා හරිම සංවේදී කෙනෙක්. ඔය එයාගේ ස්ප්‍රයිස්වලින් එයා පුදුම විදිහට ඇඬුවා. එයාව සතුටු කරලා අඬනවා බලන්න මම හරි ආසයි. හැබැයි සතුටු කරලා විතරයි. එයා හුරතල් වෙනවා. මම හිතන විදිහට  මට ජීවිතේ වැරදිච්චි තැන් අනන්තයි. මගේ ජීවිතේ පසුගිය කාලවලදී ආදර කතන්දර නොතිබුණාම නෙමෙයිනේ. එහෙම එක එක ආදර වර්ග සදාකල් පවතිනවා. මම කවදාවත් මීට කළින් තිබුණු ආදර කතා නරකයි කියන්නේ නෑ. මොකද ඒ අය තුළත් මොකක්දෝ විශේෂයක් තියෙන්න ඇති. ඉතින්... අද මගේ ජීවිතේ ඉන්නේ එමී. ලොකේ ඉන්න හොඳම ගෑනු ළමයා එමී කියන්නේ නෑ. නමුත් ජීවිතේ සමහර තැන් පසුකරද්දී අද මගේ ජීවිතේ ළඟ නතරවෙලා මාත් එක්ක ඉන්නේ එමී.

එමීට අකිලගේ අප්පච්චියි අම්මයි කැමැත්තත් ලැබුණා...?

 “මෙයා මගේ ගෑනු ළමයා. මෙයාට කැමති වෙන්න... කියලා අප්පච්චිටවත්, අම්මටවත් මම කියලා නෑ. එමීව අපේ ගෙදර අය දන්නවා. එයාව දැකලා තියෙනවා. එමීව මට මුණගැහුණේ මීට අවුරුදු දහයකට විතර උඩදී. ඒ එක්තරා මළ ගෙදරකදී. එදා ඉඳන් එමීව මම දැනගෙන හිටියා. මේ අවුරුදු දහයක් තිස්සේ එමී පරිණත ගෑනු ළමයෙක් වුණා. මම වගේ මගේ අම්මයි අප්පච්චියි වුණත් එමීගේ ඒ පරිණත බව තේරුම් ගත්තා. කොහොමටත් මගේ අම්මා මගේ මල්ලිගේ ගෑනු ළමයට වගේම එමීටත් හරි ආදරෙයි. ඉස්සර මට මතකයි මම පුංචි කාලේ ඉඳන්ම අම්මා හරියට මන්තරයක් මතුරනවා වගේ කියපු කතාවක් තියෙනවා. ඒ තමයි කවදාහරි එයාගේ ලේලිලාට එයා “ලේලි කෙනෙකුට වගේ නෙමේ දුවෙකුට වගේ සලකනවා කියලා... ඒක මගේ හිතේ හැමවෙලේම කා වැදුණා. ඇත්තටම මගේ අම්මා එමීට එයාගේ දුවෙකුට වගේ සලකාවී. මගේ අප්පච්චිත් එහෙමයි. 

එතකොට මොකක්ද අර එමීව මළගෙදරක හම්බු වුණු කතාව. කොහොමද එමීව මුලින්ම මුණ ගැහෙන්නේ...?
ම්... මෙහෙමනේ... දැන් ඔය දෙදහ අවුරුදුවලනේ ඔය හෑන්ඩ්ෆෝන් කියන දේ අපි අතරට එන්නේ. එහෙම ආවට හැමෝ ළඟම එහෙම හෑන්ඩ්ෆෝන් නෑ. තිබ්බත් හැමවෙලේම කතා කරන්න බෑ. පළවෙනි තප්පර තිහ විතරයි ෆ්‍රී වෙන්නේ ඉතුරු එක කෝල්වලටත් කැපෙනවනේ. ඉතින්... ඒ කාලෙත් මම කලාවට සම්බන්ධ නොවුණාට ඔය පුංචි පුංචි රස්සාවල් කළා. ඒ කාලේ ඔය “රෝන් නම්බර් කාලයක්නේ. ගොඩක් දෙනෙක් “රෝන් නම්බර්  වලට කතා කරනවා. එහෙම ආපු “රෝන් නම්බර් එකක් තමයි ඔය. හැබැයි මුලින්ම මම “රෝන් නම්බර් එකට කතා කළාම කතා කළේ එමී නෙමේ එමීගේ යාළුවා. හැබැයි එමීත් ළඟ ඉදලා. ඔය දැනගෙන නොදන්නා වගේ ආපු “රෝන් නම්බර් එකක් තමයි මේ.

විවාහ නොවිච්ච ගෑනු ළමයෙක් විදිහට එමී සමරපු අන්තිම B'day එක  

එමීට ආදරේ කරන්න තරම් ඇය ළඟ තියෙන සුවිශේෂීකම මොකද්ද...?
ඒ කාලේ ඉදන්ම එමී සුවිශේෂී ගෑනු ළමයෙක්. “එමී මට වඩා බාල අවුරුද්දයිනේ. අපි කාලයක් තිස්සේ අඳුනනවා. ඒ කාලෙදී මට තේරුණා ඇය හරි පරිණත විත්තිය. මම කලාවට එන්නේ මට අවුරුදු විසි එක පන්නලනේ. ඒ වෙද්දී ජැක්සන්ගෙයි කුමාරිගෙයි ලොකු පුතා කිසිම කෙනෙක් දන්නේ නැති කොල්ලෙක්. කාලයක් යනකන්ම බොහෝ දෙනා දැනගෙන හිටියේ මේ ගෙදර ඇතුළේ ඉන්නේ දෙන්නයි කියලනේ. හැබැයි ඒ කාලේ ඉඳන්ම එමී මාව දැනගෙන හිටියා. එයා හරිම ස්ථාවරව හිටියා. අදටත් ඇය හරිම සංවේදී, පුංචි දේටත් අඬන ගෑනු ළමයෙක් වුණාට ඇය හරි පරිණත ගෑනු ළමයෙක්. ඇය තුළ එදා තිබුණු ස්ථාවරය මාර විදිහටම පවතිනවා. කාලයකදී මගේ ජීවිතේ තිබුණු වෙන වෙන කතාන්දර ඉවර වෙලා මම පරිණත වෙලා ලොකුවෙලා ඉදිරි ජීවිතය ගත කරන්න යද්දීත් ඇය එදා හිටපු විදිහටම එහා පැත්තේ හිටියා. ඉතින්... ඒ තරම් ආදරයක් ගැන තවත් මොන කතාද...

එමීයි අකිලයි කවදා විතර අලුත් කැදැල්ලක් හදන්න යනවාද...?
මම එමීගේ මේ පාර බර්ත් ඩේ එක දවසේ ස්ප්‍රයිස් කරලා කිව්වේ “විවාහ නොවිච්චි ගෑනු ළමයෙක් විදිහට ඔයා සමරන අන්තිම බර්ත් ඩේ එක තමයි මේ කියලා. ඒ නිසා ගෙදර ඉන්න හස්බන්ඩ්ට ඒ වගේ ස්ප්‍රයිස් එකක් කරන්න බැරි නිසා මේ අවුරුද්දේ මම එහෙම ස්ප්‍රයිස් කළා. ඉතින් බලමු නේද... කොහොමටත් මම කාලයක් තිස්සේ හිතපු දෙයක් තමයි මම මිනිහෙක් විදිහට ස්ථාවර වෙලා මේ මහ පොළොවේ හිටගත්තු දවසට මම කසාද බඳිනවා කියලා. මම හිතනවා දැන් ඒකට කාලය හරි කියලා... 

 

► Text - Jayamali / Pic - Internet
  

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00