2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

අහස සිඹින වතුර මල

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 388

රුහුණට යන ගමන් නැවතිලා බලන්න

අද ඉරිදා.. අද අපි ඔයත් එක්ක කොහේ හරි ඇවිදින්න යන දවස. ගිය සතියේ අපි ඔයාව එක්ක ගියේ කතරගම යන ගමන් දකුණු මුහුදේ නාන්න පුළුවන් අපූරු තැනකට. මතකනේ සීතගල්ලේ නාන තටාකයට අපිත් එක්ක ගිය ගමන. ඉතින් මේ සති අන්තේ අපි සීතගල්ලේ ඉඳන් යමු මුහුදේ ඉඳන් වතුර විදින වතුර මලක ලස්සන බලන්න. හෝව්... හෝව්... ඔහොම ඉන්න. යන්න ඉස්සර යන පාර කියන්නයි යන්නේ.

මුහුදුබඩ ප්‍රධාන මාර්ගයේ 184 කිලෝමීටර් කණුවට අයත් නාකුලුගමුවෙන් හැරිලා වෙරළ දිහාවට සැතපුමක් විතර යද්දී හමුවෙන කුඩාවැල්ල වැලිකොලේ වෙරළට ගියාම තමා අද walk 111 එක්ක අපි ඔයාව එක්ක යන සොබාදහමේ මේ අපූරු නවාතැන හමුවෙන්නේ. ඔයා නොදන්න තැනකුත් නෙවෙයි. ඒත් දන්නා තැනක් ගැන වුණත් නොදන්නා දේවලුත් ඔයාට කියලා දෙන්න අපි උත්සාහ කරන නිසා එන්න අහස උසට වතුර විදින වතුර මලක ලස්සන බලන්න ඔයත් යමු අපිත් එක්කම.

අද අපි යන්නේ හූ+මානයට. කොතනදෝ ගැඹුරකින් හූ ගාගෙන ඇවිත් වතුර විදින හූ+මානයට. නොඑසේනම් හුම්මානයට. BLOW  HOLE නැත්නම් හුම්මානය බලන්න මුහුදු බඩ ප්‍රධාන මාර්ගය පහුකරගෙන යන හුඟක් දෙනා එන්නේ හරියට මුතු අහුරක් විසිරෙව්වා වගේ අහසට නැගී යළිත් මුහුදටම වැටෙන මේ සිඳු දියේ චමත්කාරය ඇති හැටියෙන් විඳගන්න.

හුම්මානය හඳුන්වන්නේ ඉතා දුර්ලභ භූ විෂමතා පිහිටීමක් විදිහට. ලෝකයේ මේ වගේ ස්ථාන හයක් තියෙනවා. මේ ස්ථාන හයෙන් දෙවැනියට විශාලම සහ භයානකම, ඒ කියන්නේ අනතුරුදයකම හුම්මානය තියෙන්නේ කොහෙද කියලා ඔය දන්නවද? අර ඉස්සරවෙලා පාර කිව්වේ අන්න ඒ හුම්මානය බලන්න යන්න තමා. කතරගම හෝ යාල යනවනම් නොවැරදීම ලෝකයේ දෙවැනියට විශාල සහ අනතුරුදායකම හුම්මානය බලන්න යන්න අමතක කරන්න එපා කියලා අපි ඔයාට කියන්නේ ඒකයි. ලෝකයේ විශාලතම සහ පළල් ජල පහර සහිත හුම්මානය තියෙන්නේ හවායි රටේ මවුල් කියන දූපතේ.

අප්‍රේල් ඉඳන් ඔක්තෝම්බර් වෙනකම් වාරකන් කාලය. මුහුද හිටු කියලා හිතුවක්කාර වෙන කාලෙ. මද කිපෙන්නේ අලින්ට විතරද කියලා ඒ සැඩ මුහුදු රළ දිහා බලාගෙන ඉද්දී හිතෙනවා. ෙම් අපූරු වතුර මල බලන්න යන්න ඕනෙත් අන්න ඒ මුහුදු වසන්තයේදී තමා. ඒ කාලෙට මේ රළ මල අඩි 40ක් 50ක් විතර උඩට විසිවෙනවා. මේ වතුර මල මේ තරම් අලංකාරවත්ව උඩට නැගෙන්නේ කොහොමද දන්නවද? පහළ කළු ගල් අතරින් සැරින් නැගෙන සැඩ මුහුදු රළ තියෙනවා නේද? ඒ මුහුදු රළ පහළ ගල යට සිට උඩට ක්‍රමයෙන් පුංචි වෙමින් එන සිදුරකින් උඩට විදිනවා.
එක මොහොතක් - විසල් සුන්දරත්වයක් 

හුම්මානය
ඉතින් දවස් හතකින් walk 111  අපිත් එක්ක යමු තවත් කොහේ හරි.....
 

► Text -Saara / Pic- Channa Kassapa Koralearachchi