ෆ්‍රෑන්ක් ගියාසියෝ තවමත් එකොළොස් හැවිරිදි වියේ පසුවන කුඩා කොලු ගැටයෙකි. එසේ වුවද ඔහුට තමන්ගේම කියා ව්‍යාපාරයක් හිමි ය. FX නමින් ඔහු පවත්වාගෙන යන කුඩා ව්‍යාපාරය මගින් කෙරෙන්නේ ගෙවතුවල තණකොළ කපා මට්ටම් කිරීම ය. තමා පදිංචි වර්ජිනියාහි ෆෝල්ස් චර්ච් ප්‍රදේශයේ අසල්වැසි නිවාස බොහෝමයක ගෙවතුවල තණකොළ කැපීම කරන්නේ පුංචි ෆ්‍රෑන්ක් ය.
එක ගෙවත්තක තණකොළ කපා මට්ටම් කිරීමට ඔහු අය කරන්නේ ඩොලර් අටකි. අනාගතයේ SEAL නමින් හැඳින්වෙන අමෙරිකානු නාවික භටයෙකු වීමට සිහින දකින ෆ්‍රෑන්ක් සෙසු බොහෝ අමෙරිකානු දරුවන් වාගේ කුඩා කල සිටම තමා විසින්ම යමක් ඉපැයීමේ ආභාසය අනුව යමින් තණකොළ කැපීමේ ව්‍යාපාරයක් පටන් ගත්තේ තම මවුපියන්ගේ ද ආශීර්වාදය යටතේ ය.
මෙසේ කුඩාවට නමුත් සාර්ථකව තම ගම්පළාත තුළ ව්‍යාපාර කටයුතු කරගෙන ගිය ෆ්‍රෑන්ක්ට හදිසියේ අලුත් සිතුවිල්ලක් පහළ විය. ඒ තමන්ගේ රටේ පළමු පුරවැසියා වෙසෙන ස්ථානය එසේත් නැතිනම් ධවල මන්දිරයේ ගෙවත්තේ තණකොළ කැපීමට ය.
ඔහු දෙවරක් කල්පනා කරන්නට ගියේ නැත. ජනාධිපති ට්‍රම්ප් වෙත ඔහු ලියුමක් ලියා තැපැල් කළේය. තමන්ගේ ව්‍යාපාරය ගැන කෙටියෙන් සඳහන් කළ ඔහු නොමිලේ ධවල මන්දර ගෙවත්තේ තණකොළ කැපීමට තමන්ට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. “අපි වගේ කුඩා ළමුන්ට රට වෙනුවෙන් කළ හැකි දෑ රටට පෙන්වීමටත් මේකෙන් පුළුවන් වේවි” ෆ්‍රෑන්ක් ලියුමේ අවසානයට සඳහන් කර තිබිණි.
කුඩා දරුවෙකුගේ මේ අරුම පුදුම ඉල්ලීමට කන් දුන් ධවල මන්දිරය පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පවා මේ ගැන කරුණු ඉදිරිපත් කොට තිබුණි. අවසානයේදී ෆ්‍රෑන්ක්ගේ ඉල්ලීම සාර්ථක විය. ධවල මන්දිරයේ රෝස උයනේ තණකොළ කැපීමේ අවස්ථාව ෆ්‍රෑන්ක්ට හිමිවිය.
සාමාන්‍යයෙන් ධවල මන්දිරයේ ගෙවතු අලංකරණ කටයුතු භාරව සිටින්නේ, ජාතික උද්‍යාන සේවාව ය. ෆ්‍රෑන්ක්ගේ ඉදිරිපත් වීම නිසා එහි සේවකයන්ට ඉකුත් සිකුරාදා දිනය නිවාඩු දිනයක් විය. ජාතික උද්‍යාන සේවාවට අයත් උපකරණ ලබාගත් ෆ්‍රෑන්ක් තම රාජකාරිය පටන් ගත්තේය. ගෙවත්තේ එක් කොණක සිට වැඩ ඇරඹූ ඔහු ක්‍රමානුකූලව හරි පිළිවෙලට තණ කැපීම කළේය. පැයක් දෙකක් ගතවිය. මුළු ගෙවත්තේම තණකොළ කපා දැන් අවසන් ය. ගෙවත්ත බොහොම පිළිවෙළ ය. හැඩ ය.
එවේලේ ෆ්‍රෑන්ක් පුදුමයට පත්කරමින් ධවල මන්දිර ගොඩනැගිල්ලේ සිට පැමිණියේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ය. ‘මේ තමයි අපේ රටේ අනාගතය’ යැයි කියූ ජනපති ට්‍රම්ප් පොඩ්ඩා කළ කාර්යය අගය කළේ අත ඔසවා පහක් දමමිනි.
අවසානයේදී අමෙරිකානු ජනාධිපතිවරයාගේ කාර්යාල කාමරය වන ඕවල් කාමරයට යාමට ද ෆ්‍රෑන්ක්ට අවස්ථාව හිමිවිය. ඔහු ඒ කරා ගියේ තම පියා කැටුව ය. තවමත් පාසල් අධ්‍යාපනය ලබන ෆ්‍රෑන්ක්ගේ අනාගත බලාපොරොත්තු ගැන ජනාධිපතිවරයා එහිදී විමසා සිටියේය.
“මට ඕනෙ නාවික හමුදා භටයෙක් වෙන්නයි”
“ඔව් ඔබට එහෙම වෙන්න පුළුවන්. බාගදා ඔබට මේ පුටුවට එන්නත් පුළුවන් වේවි” ට්‍රම්ප් කීවේ තමා හිඳගෙන හුන් ජනාධිපති පුටුවට තට්ටුවක් දමමින් සිනාසෙමිනි.
► Text - Rajitha