2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

මා කැමතිම මා නොලියූ මගේ ගීත

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 621

ඔබ ලියූ ගී හැරෙන්නට ඔබ කැමතිම ගීතය කුමක්ද? ප්‍රවීණ ගීත රචකයන් කිහිප දෙනෙකුගෙන්ම අපි ඇහුවෙ අන්න ඒ ප්‍රශ්නය. ගීත ලියූ ඒ ගී සිත් ඇත්තෝ මම කැමතිම මගේ නොවන ගීය ගැන, කැමති ඇයි කියන එක ගැන කියපු දේවල් බොහෝමයි.

සැන්දෑ කළුවර ගලා හැලෙන විට

කුලරත්න ආරියවංශ

සැන්දෑ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුණු නිවෙස සොයා එමි
ඔබේ සිනා සඳ මඩල මුවාවෙන්
ජීවිතයේ දුක් වෙහෙස නිවා ගමි

සුනිල් සරත් පෙරේරා ලියු විශාරද සනත් නන්දසිරි ගායනා කරන මේ ගීතයට මම හරිම කැමතියි. මම ගීත ලියන්න පෙර සිටම සුනිල් සරත් පෙරේරාගේ රසිකයෙක්. ඒ නිසා මගේ රසිකත්වය පෝෂණය කරපු ගීතයක් තමයි මේ. මම ගීත රචකයෙක් වෙන්න කලින් ගීත රසිකයෙක් වුණු කාලයෙ සිටම හරිම ආසාවෙන් අහපු ගීතයක් තමයි මේ. අඹුසැමි ප්‍රේමය පිළිබඳව ලියවුණු ඉතාමත් සාර්ථක අව්‍යාජ ගීතයක් තමයි මේ. පසු කාලයේදී මම සුනිල් සරත් පෙරේරා මහතාගේ බොහෝම හිතවතෙක් වුණා. ඒ තුළින් ඔහුගේ පවුල අයත් එක්ක බොහෝම කිට්ටු හිතවත්කමක් ගොඩනැගුණා. ඒ හිතවත්කමින් මට තේරෙනවා මේ ගීතය ඔහුගේ අත්දැකීමක් කියලා. සුනිල් සහ ඔහුගේ බිරිඳ අතර තිබූ දැඩි බැඳීම, අවබෝධය, විශ්වාසය සහ ආදරය තමයි මේ ගීතයේ තියෙන්නේ. බිරිඳගේ සෙනෙහස, බැඳීම්, ආදරය හරි අපූරුවට ඒ පදවැල්වල තියෙනවා. 

අම්මාවරුනේ අම්මාවරුනේ

යමුනා මාලනී පෙරේරා

අම්මාවරුනේ අම්මාවරුනේ
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකිනදා
සුරලොව සිට අතපා ඒ කඳුළැලි පිසිනා

මගේ අතින් නොලියවුණු වෙනත් අය අතින් ලියවුණු ගීත කීපයකටම මගේ කැමැත්ත තියෙනවා. ඒ අතරින් මම හරිම ආස කරන ගීතයක් තමයි ධර්මසිරි ගමගේ විසින් පදරචනා කෙරුණ “අම්මාවරුනේ ගීතය. ඒ ගීතය සංගීතවත් කළේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විසින්. ගායන කරන ලද්දේ විශාරද නන්දා මාලනීයන්. අදටත් මොනතරම් ඇහුවත් මගේ මතකයෙන් ඈත් නොවන රසවින්දනයෙන් ඈත් නොවන ගීතයක් තමයි ඒ.
 

මලකින් මලකට ගොස් පැණි බොන්නද 

සුනිල් ආරියරත්න

මලකින් මලකට ගොස් පැණි බොන්නද 
මා හිමි බඹරුනි ඔබ සැරසෙන්නේ//
කරුවල මහ රෑ කෙලෙසද හිමියනි//
මල්වල හැඩරුව හඳුනාගන්නේ

දයානන්ද ගුණවර්ධනයන් ලියූ සෝමදාස ඇල්විටිගල සංගීතවත් කළ මලකින් මලකට ගීතය මම ඉතාමත් ප්‍රියකරන ගීතයක්. ඒක ගායනා කරන්නේ විශාරද නන්දා මාලනීයන් විසින්. ඒක බක්මහ අකුණු නම් චිත්‍රපටයෙ ගීතවත් වුණා. ඉතා ගැඹුරු අදහසක් ඉතාම සරලව හා කාව්‍යාත්මකව ඒ ගීතයෙන් ප්‍රකාශ වෙනවා.

 

නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා

ශාන්ත කුමාර විතාන

නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා//
පවුරු බැඳගෙන සිතක වැජඹුණු රසවතී නෑ කොයි ගියා
රසවතී නෑ කොයි ගියා
ආදරෙයි මම ආදරෙයි - ආදරෙයි මම ආදරෙයි
ධම්මි තවමත් ආදරෙයි
මවා පියකරු සිහින සිතුවම් මතුකළා රසබර හැඟුම්
දයාවන්තය යොවුන් සිතිවිලි රසකළා ඔබ නෙත් කැළුම්
රසකළා ඔබ නෙත් කැළුම්

ඉස්සර මම තරුණ කාලේ මට මතකයි මම ගොළු හදවත පොත එකදිගට පස් හය පාරක් විතර බැලුවා. ඒ තරමටම මම ඒ පොතට ඇළුම් කළා. පොත් කියවන්න මට ඇතිවෙච්චි උනන්දුව වැඩිකරන්න පොත් කීපයක්ම හේතු වුණු අතර ගොළු හදවත පොතත් ඒකේ මුල් තැන ගන්නවා. පසු කාලයේදී ඒක චිත්‍රපටයක් වුණා. ඒ චිත්‍රපටයේ තියෙන නුහුරු නුපුරුදු රහස පිළිබඳ ගීතයට මම ඉතා ආස කරනවා. ඒ ගීතය පද රචනා කළේ කරුණාසේන ජයලත්, සංගීතවත් කළේ සිසිර සේනාරත්නයන්. ඒ ගීතය ගායනා කළේ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර සහ සිසිර සෙනාරත්නයන්.

 

තාත්තා වුණත් මා බත සරිකරන

බන්දුල නානායක්කාරවසම්

තාත්තා වුණත් මා බත සරිකරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින//
මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්
රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදි නොනිම්
ඔබ දුටු මුල් දිනේවත් හඳ නොනැඟි පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුලු වෙමින්

මහගම සේකරයන්ගේ සිට අද බිහිවන නව යොවුන් ගීත රචකයන් දක්වාම මම කැමති ගීත ඕනෑතරම් තියෙනවා. ඒ අතරින් මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ ගීත අතරින් මේ ගීතය හොඳම ගීතය නොවෙන්නත් පුළුවන්. නමුත් පෞද්ගලිකව මම කැමති ගීතය තමයි මේ. සුනිල් ආරියරත්නයන් ලියූ රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ මේ ගීතය ගායනා කරන ලද්දේ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්. කුලගෙය පිළිබඳ ලියවුණු විශිෂ්ටතම ගීත කිහිපයකින් එකක් තමයි මේ. ඒ වගේම තනිකඩයෙකු මේ ගීතය ලිවීමත් එක්තරා ආශ්චර්යයක් වෙනවා. ආදරය හෝ ප්‍රේමය පිළිබඳව ඔහු තුළ අත්දැකීම් නැහැයි කියන්න බෑ. නමුත් පැහැදිලි කුලගෙයක් පවත්වාගෙන නොගිය බව අපි දන්නවා. සැබෑ කවියා වන්නේ එයයි. කෙනෙකුගේ අත්දැකීමක් තම අත්දැකීමක්කොට නිර්මාණයක් බිහිකිරීම සැබෑ කවියාගේ ලක්ෂණයක් වෙනවා. ඒක මහාචාර්ය සුනිල් ආරියරත්තයන් ඉතා විස්මිත අයුරින් කර තිබෙනවා. කුලගෙයක් පවත්වාගෙන යන දරුවෝ ඉන්න, බිරිඳක් ඉන්න කිසිම කෙනෙකු අතින් නිර්මාණය කරගැනීමට නොහැකි අපූර්ව නිර්මාණයක් සුනිල් ආරියරත්නයන් අතින් නිර්මාණය වුණා.

 

පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ

නිලාර් එන්. කාසිම්

පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ
රන්කඳ තාම පැල් රකිනවදෝ නිදි නැතිද

රත්න ශ්‍රී විජේසිංහයන් පද රචනා කළ ඔස්ටින් මුණසිංහ සංගීතවත් කළ නිරෝෂා විරාජිණිගේ මියුරු හඬින් ගායනා කරන පුන්සඳ රෑට ඇවිදින් ගීතය මම ඉතාමත් ප්‍රිය කරනවා. මේ ගීතයේ තියන විශේෂතාවයක් තමයි මේකේ කියවෙන අදහස අමු අමුවෙන් එළිපිට කියනවාට වඩා බොහෝම ව්‍යංගයෙන් සඟවා ප්‍රකාශ කරලා තිබීම. අලුත විවාහ වුණු ගැමි යුවළක් දරුවන් නැතිව තැවෙන වේදනාවක් ගැන තමයි මේකෙන් කියවෙන්නේ. හේන් ගොවිතැන් කරන නිසා සැමියාට රෑ එළිවෙනකන් තමන්ගේ භවගෝග බලාගන්න සිද්ධ වෙනවා. මේ නිසා බිරිඳට තට්ට තනියම ගෙදර ඉන්න සිද්ධ වෙනවා. මේ සම්ප්‍රදායික කෘෂි ආර්ථික ජීවන රටාව ඇතුළත මේ දෙන්නා අලුත විවාහ වුණත් එකට ජීවත් වීමේ ඉඩ ප්‍රස්ථාව බොහෝම අවමයි. එවැනි වටපිටාවක් එක්ක ගෙවන ජීවිතේ ගැන අපූරුවට ලියවුණු ගීතයක් තමයි මේ.

 

මුතුකුඩ ඉහළන මල් වරුසාවේ

වසන්ත කුමාර කොබවක

මුතුකුඩ ඉහළන මල් වරැසාවේ
උඩ ඉගිලෙන විට වැහිලේනී
එබී බලා රිය කවුළු දොරින් 
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

ලූෂන් බුලත්සිංහල මහතා ලියූ මෙම ගීතයට මම ඉතා ආසා කරනවා. මෙම ගීතයේ කතා තේමාව පොදුයි. පෙම්වතාව අතහැරලා; පෙම්වතිය වෙනත් කෙනෙකු සමඟ සම්බන්ධ වීම හරහා ලියවුණු ගීතයක් තමයි මේ. නමුත් මේ ගීතයේදී සියල්ල අමතකව යන සියලු ප්‍රාර්ථනා බිඳ වැටී ගොස් ප්‍රේමය අමතක කරන්න උත්සහා කරපු පෙම්වතෙකුට අහම්බෙන් පෙර දිනවල ප්‍රේම කරපු පෙම්වතියව මුණගැහෙනවා.

මුළු නුවර නගරයම එකම මොහොතකදී අපිට මේ ගීතයෙන් චිත්‍රයට මවා ගන්න පුළුවන් වෙනවා. පේරාදෙණිය සරසවි ඇසුරත් එක්ක පෙම්වතුන්ගේත් එක්තරා කුලකයක් සිහිනයක්. නුවර ආශ්‍රිත ප්‍රදේශ මවා ගන්නවා. නුවර වැව, වලාකුළු බැම්ම, දළදා මාලිගාව, හන්තානය වගේ ප්‍රදේශ සුවිශේෂීයි. නුවරට වහින අහඹු වැස්සත් හරි සුවිශේෂියි.
ඉතින් අහඹු අවස්ථාවක මේ පරාජිත පෙම්වතා තෙමි තෙමී යද්දී පාරේ යන වාහනයක් මඩ වලක වැටී ඒ මඩ පෙම්වතාව නහවනවා. බලද්දී පරණ පෙම්වතිය. තවත් පෙම්වතෙකු සමඟ යනවා දකිනවා. මේ සංසිද්ධිය ලූෂන් බුලත්සිංහල මහතා හරි අපූරුවට නිර්මාණයකින් පෙන්නලා දීලා තියෙනවා. ගීත රචනය හැදෑරීමක් කරන කෙනෙකුට මෙම ගීතය හරි අපූරු නිර්මාණයක්.

► Text -Dishani /  Pic - Sumudu/ Internet