අපේ ජීවිතය රඳා පවතින්නේ අපි කරන රැකියාව, ගේ දොර, හම්බකරන මිල මුදල් මත නොව සබඳතාවයන් මත ය. අවසානයේදී ජීවිතය තුළ අපි උපයාගත් වටිනාම දේ වන්නේ එවැනි සබඳතාවයන් ය. සමහරුන්ට මිනිස් සබඳතාවන්ට එහා ගිය සම්බන්ධතාවයන් ද පවතී.
අසූ හත් හැවිරිදි සෝන්ඩර්ස් රෝහල්ගත කෙරුණේ ඔහුගේ තත්ත්වය දිගින් දිගටම බරපතළ අතට හැරෙමින් තිබුණු මොහොතක ය. ඔහුගේ ගත කෙමෙන් කෙමෙන් දුබල වෙමින් තිබුණි. ඔහු තම අවසාන මොහොතට ළංවෙමින් සිටින බව දරු මුණුපුරන් සියලු දෙනාට ද රෝහල් සේවක මණ්ඩලයට ද පසක් වී තිබුණි.
බ්‍රිතාන්‍ය ජාතික සෝන්ඩර්ස් තම ජීවිත කාලයෙන් වැඩි හරියක් ගත කළේ අසුන් සමඟය. ඔහුට තම බිරිඳ මුණගැසී තිබුණේ ද අශ්වයින් පිට යාමේ පුහුණුවක් අතරතුරදී ය. එනිසාම අශ්වයින් හා සෝන්ඩර්ස් අතර තිබුණේ වෙන් කළ නොහැකි දැඩි සම්බන්ධතාවයකි.
තම ජීවිතයේ අවසාන දින කිහිපය ගත කරමින් සිටි සෝන්ඩර්ස් තම ජීවිතය හා බැඳුණු රසවත් සිදුවීම් රෝහල් කාර්ය මණ්ඩලයේ අය සමඟ ද බෙදා ගනිමින් සිටියේය. තමා මුල්වරට අසෙකු පිට නැඟුණු අයුරු, තමන්ගේ පෙම්වතිය මුණගැසුණු අයුරු ඔහු විස්තර කළේ දිලිසෙන දෙනෙතිනි. මේ මිනිසා ලෝකයේ වැඩියෙන්ම වැදගත් කොට තකන්නේ අසුන් ගැන බව එම දින කිහිපය තුළ රෝහලේ හෙදියන්ට පවා හොඳින් තේරුම් ගොස් තිබුණි.
තවත් දිනකට හිරු උදාවිය. වෙනදා මෙන්ම උදෑසනින්ම බෙහෙත් පංගුව ලබාගත් සෝන්ඩර්ස් තම සයනේ වැතිර උන්නේ ය. තමා අසලට පැමිණි හෙදියක් එක්වනම ඔහු නිදාසිටි ඇඳ තල්ලු කරගෙන යන්නට විය. මේ කුමක් වන්නට යන්නේදැයි සෝන්ඩර්ස් දැන සිටියේ නැත.
“මේ මොකක්ද ඔයා කරන්න හදන්නෙ?” ඔහු ඇසුවේ විමතියෙනි.
“පොඩ්ඩක් ඉන්නකො සෝන්ඩර්ස් මහත්තයා. අපි ඔයා ගොඩක් ආස කරන දෙයක් ඔයාට ගෙනාවා. අපි චුට්ටක් එළියට යමුකො” හෙදිය කීවේ සිනාසෙමිනි.
මොහොතකින් සෝන්ඩර්ස් මහතාගේ ඇඳත් තල්ලු කරගෙන හෙදිය රෝහල් ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණියාය.
සෝන්ඩර්ස් මහතාට තම දෙනෙත් අදහාගත නොහැකි විය. වසර ගණනකින් අසෙකු පිට නැඟිම තබා අසෙකු සමඟ සමීපයෙන් මොහොතක් ගත කිරීමට නොහැකිව හුන් ඔහුගේ ඇඳ අබියස උන්නේ දුඹුරු පැහැ තරුණ අශ්වයෙකි. කඩවසම් අශ්වයාද මේ අපූරු මිතුරා කලෙක පටන් දැන හුන් අයෙකු වෙත එන්නාක් මෙන් සෝන්ඩර්ස් අසලටම පැමිණියේය.
සෝන්ඩර්ස් අසු වෙත අත දිගු කරද්දී අසු ද සෙනෙහෙ පාමින් ඔහුගේ අත්ල සිපගත්තේය. සෝන්ඩර්ස් සතුටෙන් ඉපිළ ගොස් තිබුණි. තවත් මොහොතක් අසු සමඟ ඔහු සුරතල් වූයේය. ඔහුගේ දෑසින් සතුටු කඳුළු ගලා එමින් තිබුණි. මරණය එනතෙක් මඟ බලා සිටින අශ්ව මිතුරාට තම ජීවිතයේ අවසාන දින කිහිපය තුළදී අශ්වයෙකු හා සමීප වන්නට අවස්ථාවක් ලැබිණ.
ඒ අපූර්ව මොහොත තම සිතින් තුරුුලු කරගත් සෝන්ඩර්ස් ඉන් දින හතරකට පසු දෙව්ලොව කරා ගමන් කළේ සතුටු සිතින් බවට නම් සැක නැත.
► Text - Rajitha