2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

ඉරාජ්ගේ සින්දුවෙන් ගැහුවේ වික්ටර්ටද?

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 384

ඉරාජ් වීරරත්න... ඔයාගේ අලුත් වීඩියෝව දැනුණා මේ රටේ ඉන්න ප්‍රවීණ කලාකරුවෙකුගේ ජීවිත කතාව අලලා නිර්මාණය වූවක් නේද...? ඇයි එහෙම කරන්න හිතුණෙ...?
මේක කාටවත් මඩ ගහන්න කරපු මියුසික් වීඩියෝ එකක් නෙමේ. මේක රටේ පසුගිය දවස්වල අපි දැකපු අද දකින සිදුවීම් පෙළක් අලලා කරපු නිර්මාණයක්. අපි දැක්කා පසුගිය දවස්වල දරුවන් අම්මා තාත්තලාව පාරට දාලා යන සිදුවීම්. ඒක සම්බන්ධව මේ මියුසික් වීඩියෝව හරහා මට කතා කරන්න ඕන වුණා. ඒ වගේම පහුගිය දවස්වල අප රටේ එක්තරා කලාකරුවෙකුට සමාජ වෙබ් අඩවි වලින් තරුණියක් විවාහ කරගත්තා කියලා පහර ගැහුවා. ඉතින් ඒ ඔක්කොම පදනම් කරගෙන හදපු මියුසික් වීඩියෝ එකක් තමයි ඔය.

ඒ කියන්නේ ඔබ මේ මියුසික් වීඩියෝව හරහා වික්ටර් රත්නායකගේ ජීවිත කතාව නිර්මාණය කළා...?
මම කිව්වනෙ... මම කාටවත් මඩ ගහන්න කරපු නිර්මාණයක් නෙමෙයි කියලා. ඕකෙ තියෙන්නෙ මගේ මතයයි. ඒ තමයි වයසට ගියාට පස්සෙ කවුරුත් බලාගන්නෙ නැතිව පාරට යනවට වඩා තරුණියක් හෝ විවාහ කරගන්න එක සංස්කෘතියට පටහැනියි කියලා කෑගැහුවට ඒකෙ වරදක් නෑ කියන දේ තමයි මම ඒකෙන් පෙන්නලා දුන්නෙ.

මියුසික් වීඩියෝවේ එක්තරා තැනකදී චෙක්පතක් ලියද්දි Hector Rathnayake කියලා නමක් සඳහන් කරනවා. ඒක මනඃකල්පිත නමක් වෙන්න බෑ නේද...?
ඒක මනඃකල්පිත නමක් තමයි. කාවවත් අලලා හදපු නමක් නෙමෙයි ඒ. 

නිර්මාණයේදි ඔබ ඇතැම් සිදුවීම් ව්‍යංගාර්ථව ලිංගිකත්වය ඉස්මතු කරන ලෙස භාවිත කරලා තිබුණා. ?
මේක කැත හිතින් බැලුවොත් ඒක ඒ විදිහට පෙනෙයි. සාමාන්‍ය විදිහට බැලුවොත් ඒක සාමාන්‍ය විදිහට පෙනෙයි. ඒක ඉතින් වීඩියෝ එක බලන කෙනාගේ කෝණය අනුව තීරණය කරාවි. හැබැයි ඉතින් දැන් පවුල් පිටින් ගෙවල්වල රූපවාහිනියේ බලන බොලිවුඩ් චිත්‍රපටවල තියෙන ඒවා බැලුවාම අපිට හිතෙනවා අපි මොනවද කරලා තියෙන්නෙ කියලා.

ඉරාජ් මේ විදිහේ වීඩියෝ එකදිගට නිර්මාණය කරන්නෙ පොරක් වෙන්න තියෙන ආසාව නිසාද... කතා කරන චරිතයක් වෙන්නද...?
මම හදපු හැම මියුසික් වීඩියෝවකම ලොකු කතාවක් ඇතුළෙ තියෙනවා. හැබැයි මම හදන මියුසික් වීඩියෝ මිනිස්සු ගන්නෙ දකින්නෙ ඉස්සෙල්ලාම වෙන දෙයක්. මම මිනිස්සුන්ව ඒ මියුසික් වීඩියෝ ආකර්ෂණය කරගන්න ඒවා ඇමක් විදිහට ගන්නටත් ඇති. හැබැයි මට ඕන දේවල් මම හැම මියුසික් වීඩියෝ එකේම සමාජගත කරලා තියෙනවා. 

බල්ලො වෙනවද මිනිස්සු වෙනවද කියන එක අපේ තීරණයක් 

ඉරාජ්ගෙ කතා තේමාව හරි වුණාට ඒ වෙනුවෙන් මේ රටේ ප්‍රවීණ කලාකරුවෙකුගේ චරිතය අලලා මෙය නිර්මාණය කිරීම සම්බන්ධව වැරැද්දක් දකින්නෙ නැද්ද...?
නෑ... රටේ ප්‍රවීණ කලාකරුවෙකුගෙ නමක් මේකට සම්බන්ධ කරලා නැහැනෙ. ඉතින් බලන අයට කියන්න පුළුවන් මේක මේ පුද්ගලයාට අදාළයි කියලා. එක එක්කෙනාට එක එක කතා කියන්න පුළුවන්.

මෙවැනි මියුසික් වීඩියෝ කරන්නෙ මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන්ම නේද...?
නෑ... මුදල් උපයන්නම කියලා දෙයක් නෑ. මෙහෙමයි මම මියුසික් වීඩියෝවක් කරන්නෙ මගේ අදහස අනුව මොකක් හරි පණිවිඩයකුත් එක්කයි. ටී.වී. රේඩියෝ චැනල්වලට මුදල් දීලා පැකේජ් ක්‍රමයට සින්දු ගස්සන්නෙ නෑ. ඉතින් මම යූටියුබ් චැනල් එකෙන් විතරයි මගේ නිර්මාණ දුන්නෙ.

ඔබ කරපු මියුසික් වීඩියෝ බොහොමයක් ඒ ගායකයා ඉස්මතු වෙන්නෙවත් ජනප්‍රිය වෙන්නෙවත් නෑ. බොහෝ වෙලාවට මිනිසුන් අතරට යන්නෙ ඔබේ ආන්දෝලනාත්මක මියුසික් වීඩියෝව පමණයි...?
ඒක ගැන නම් මම දන්නෙ නෑ. මම මියුසික් වීඩියෝවෙවත් නෑ. මේ මියුසික් වීඩියෝවෙත් කොතැනකවත් මම නෑ. මම සින්දු වීඩියෝව හැදුවා විතරයි. හැබැයි මිනිස්සු පහර ගහන්නෙ මට විතරයි. මොකද මම වෙනස් විදිහේ දෙයක් කරන නිසා.

ඉරාජ්... ඔබේ පියාත් ණ කලාකරුවෙක්. ඔබේ පියාත් මවත් මේ වීඩියෝ එක දැක්කද...?
නෑ... මගේ මියුසික් වීඩියෝ ගැන එහෙම කවුරුත් මට කිසි දෙයක් කියන්නෙ නෑ. මගේ තාත්තා අම්මවත් ඒ දේවල් ගැන කියන්නෙ නෑ. මම මගේ මතයේ ඉඳලා තමයි බොහෝ නිර්මාණ කරන්නෙ. 
ඉරාජ්ගෙ මෙම මියුසික් වීඩියෝව ගැන මේ රටේ ඉන්න ජනප්‍රිය කලාකරුවෙකු වූ පේෂල මනෝජ්ගෙන්ද හදසර විමසීමක් කළා...
ඇත්තටම මම ඔය වීඩියෝව කලින් දැක්කෙ නෑ. බොරු කියන්න ඕනෙ නෑ... එහෙම දැක්කනම් මම ඉරාජ්ට කියනවා ඕක කරන්න එපා කියලා. මම කියන්නෙ මේ මියුසික් වීඩියෝව වැරදිම කියලා නෙමේ. මම කියන්නෙ අපිට අනුන්ගෙ පෞද්ගලික ජීවිත වැඩක්ම නැහැනෙ. කවුරු හරි හොඳ නිර්මාණයක් කළොත් ඔච්චර කට්ටිය හොයන්නෙත් නැහැනෙ. හැබැයි කාගේ හරි කුණුගොඩක් හරි කුණුහරුපයක් හරි ඇඳුම් ගලවනවා හරි තිබ්බොත් තමයි අපේ රටේ මිනිස්සු ඒක බලන්නෙ.

මේ වීඩියෝව ප්‍රචාරය වුණාට පස්සෙ පේෂල මේක දැක්කද...?
දැක්කා... දැක්කා... ඊයෙ පෙරේදා මම දැක්කා තව කෙනෙක් ඇඳුම් ගලවන වීඩියෝ කරනවා කරනවා ඉවරයක් නෑ. මේවා මොන පරමාර්ථයෙන් මොනවට කරනවද කියලා මම දන්නෙ නෑ. ඒවා වල සින්දුවේ වැඩකුත් නෑ. ගායකයෙක්ගෙ වැඩකුත් නෑ. ඒ අයට පැවැත්මකුත් නැහැනෙ. මම පහුගිය දවස්වල දැක්කා ඒ වගේ කිසිම වැඩකට නැති වීඩියෝ නිර්මාණය වෙනවා. මිනිස්සු බලනවා. Views වැඩිවෙනවා. සල්ලි හම්බවෙනවා. ඉතින් හිතන්නෙ අපි තමයි කලාකරුවෝ කියලා. මට තේරෙන්නෙ නෑ... මේ රටේ අයට මේ මොකද වුණේ කියලා.

මේ පවතින රැල්ල ගැන පේෂල ඉන්නෙ කලකිරීමෙන්...?
ඔව්... ඇත්තටම අද අර අඳෝනා සින්දුනෙ තියෙන්නෙ. වැඩිපුරම තියෙන්නෙ නහයෙන් අඬන සින්දු. එහෙම නැත්නම් මේ වගේ කෙල්ලො ඇඳුම් ගලවන සින්දු. අපි මිනිස්සුනෙ... ඉතින් අපි මිනිස්සු වුණාම අපි හැංගිලා කරන්න ඕනෙ දේවල් තියෙනවා. අපි හැමෝටම පේන්න පෝරුවෙ කසාද බැන්ඳා කියලා හනිමුන් එක යන්නෙ නැහැනෙ මිනිස්සුන්ට පේන්න. අපි බුද්ධිමත් මිනිස් ජාතියක්නෙ. බල්ලොත් එහෙම නැහැනෙ. බල්ලො ඒ වැඩේ කරන්නෙ පාරෙද කොහේද කියලා කිසි ප්‍රශ්නයක් නෑ. ඌට ඕන තැනක ඒ ඕන වැඩක් කරන්න පුළුවන්. ඉතින් අපි තීරණය කරන්න ඕනෙ අපි බල්ලො වෙනවද මිනිස්සු වෙනවද කියලා. ඉන්දියාව තම සංගීතය ප්‍රබල තැනකට ගෙනල්ලා තමයි ලෝකෙට යන්නෙ. ඉතින්... අනේ මන්දා මෙහෙම ගියොත් අපේ කලාවට මොකද වෙන්නෙ. ඒ ගැන ඇත්තටම දුකයි.

► Text - Jayamali / Pic - Internet