2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

රූපය නිසා දහ දුක් විඳ ලාේකය දිනූ ගැහැනිය

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 246

“මාව ඉපදුණු වෙලාවෙදිම වෛද්‍යවරු අම්මටයි තාත්තටයි මගේ අසාමාන්‍ය ලෙඩේ ගැන කියලා තියෙනවා. ඒ වගේ වෙලාවකදි සාමාන්‍ය අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කරන දේ තමයි අඬන දොඩන එක. හැබැයි මගෙ අම්මයි තාත්තයි ඊට වෙනස්. එයාලා ඩොක්ටර්ට කියලා තියෙන්නෙ, දුවට මොන ප්‍රශ්නෙ තිබුණත් කමක් නෑ, අපි පුළුවන් උපරිමයෙන් එයාව බලාගන්නවා කියලයි. ඒ කිව්වා වගේම ඒ ගොල්ලො කිසිම අඩුවක් නොදැනෙන්න මාව උස් මහත් කළා”.

ලොව පුරා ආදර්ශමත් පුද්ගල චරිත සෙසු ලෝකය සමඟ යා කරන ටෙඩ් ටෝක්ස් (Tedx) දේශන මාලාව හා එක්වෙමින් ලිසී වෙලස්කුවෙස් කීවේ සභාවේ සිටි බොහෝ දෙනෙකු හැඟුම්බර කරමිනි. වර්තමානයේදී ලොව පුරා දේශන පවත්වන්නියක ලෙස ජනප්‍රියත්වයට පත්ව සිටින ඇය මීට අවුරුදු කිහිපයකට පෙර ලොව කැතම ගැහැනිය ලෙස කවුරුන් හෝ අයෙකු විසින් යූ ටියුබ් සමාජ ජාලය හරහා නම් කර තිබුණි. උපතේ සිටම බර වැඩි නොවීමේ අසාමාන්‍ය රෝගයකට ගොදුරු වී හුන් ඇගේ රූපකාය ඇත්තෙන්ම ඇසට ප්‍රිය උපදවන්නක් නොවේ. එහෙත් බාහිර රූපයට එහා ගිය ධෛර්යයක්, අධිෂ්ඨානයක් සිතේ රඳවාගත් මේ තරුණ කෙල්ලගේ අනාගතයට හොඳ පදනමක් දමන්නට පෙර කියූ යූ ටියුබ් වීඩියෝව උපකාරී විය. 

“මම පොඩි කාලෙ ඉඳන්ම ගොඩක් අයගේ කවටකම්වලට උසුළු විසුළු කිරීම්වලට ලක්වුණා. විශේෂයෙන්ම ඉස්කෝලෙ කාලෙදිත් තරුණ වයසෙදිත් මට ඒ විහිළු දරාගෙන ඉන්න බැරි තරමට තිබුණා. මම කොලේජ් එකේ ඉන්න කාලෙදි දවසක් මාව කවුරුහරි කෙනෙක් යූ ටියුබ් එකට දාලා තිබුණා. ඒ වීඩියෝවෙ නම තිබුණේ ‘ලෝකෙ කැතම ගෑනි’ කියලයි. තත්ත්පර අටේ ඒ වීඩියෝව පොඩි කාලෙකින් නැරඹුම් වාර ලක්ෂ 40ක් ඉක්මවලා තිබුණා. ඒ වීඩියෝවෙ පහල කමෙන්ට් එකක් තිබුණා. ලිසී කරුණාකරලා අපිට උදව්වක් විදිහට ඔයාගෙ ඔළුවට වෙඩි තියාගෙන ඒක පුපුරුවලා දාන්න කියලා. මට ඒ අය ගැන කිසිම තරහක් නැහැ. අම්මයි තාත්තයි මට ජීවත් වෙන්න සියලු දේ දරාගන්න අවශ්‍ය ශක්තිය ලබාදුන්නා.”
ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් නගරයේ වාසය කරන ඇගේ සිරුරේ බර කිසි දිනෙක කිලෝ ග්‍රෑම් 29කට වඩා වැඩි වී නැත. ඇගේ දකුණු ඇස ද නොපෙනී ගොසින් සෑහෙන කලකි. දැන් එම ඇසේ කළු ඉංගිරියාව වටා ඝන සුදු පටලයක් පැතිර පවතී. අනතුරුව තම ළමා කාලයේ අත්දැකීම් අළලා ඇය රචනා කළ Dare to be Kind කෘතිය ද පිටපත් දහස් ගණනින් අලෙවි විය. 

“ගොඩක් ළමයින්ට වගේ තරුණ කාලෙදි මට පෙම්වතෙක්ගේ ආදරයක් ලැබුණෙ නැහැ. මම ඉස්සර නම් ඒ ගැන ගොඩක් දුක්වුණා. හැබැයි තවදුරටත් එහෙම දුක් වීමක් නැහැ. මම කැමතියි මට සැබෑ ආදරයක් ලැබෙනවා නම්. හැබැයි ඒ ආදරය දැන් මට ලැබිලා තියෙන ප්‍රසිද්ධිය නිසා එන ආදරයක්ද කියන එක ගැන මම ගොඩක් සැළකිලිමත් වෙනවා. මාව අඳුනන්නෙවත් නැති කෙනෙකුගෙන් එන ආදරයක් තමයි මගේ බලාපොෙරාත්තුව.”

අපි සමාජයේ පුද්ගලයන් හඳුනාගන්නේ, ඔවුන්ගේ බාහිර පෙනුමෙනි. කතාකරන ආකාරයෙනි. එහෙත් පුද්ගලයෙකුගේ චරිතය වනාහි ඔහු හෝ ඇය සිතන පතන ආකාරය මිස අනෙකක් නොවේ. ලිසීගේ වර්තමානය කැපවී ඇත්තේ නොයෙක් කවටකම්, හිරිහැර කිරීම් නිසා පීඩාවට පත්වන දරුවන්ට හා තරුණ පිරිසට යහපත් අනාගතයක් උදාකරදීම වෙනුවෙනි. තම ජීවිතය සෙසු ලෝකය ඉදිරියේ පාඩම් පොතක් සේ දිගහැරුමට ඈ පෙළඹී සිටින්නේ ද එනිසාය. 


► Text - Rajitha