මම මගේ කාමරයට ගිහින් දොර වහගන්න හදද්දී ජානා කතා කළා.
කොහෙද ගියේ?
ඒක මගේ ගමනක්.
ඒක මම දන්නවා... ඒත් අපි එක ගෙදරක ඉන්නකොට දැනගන්නම ඕන ටික හරි මම දැනගන්න ඕන.
මම ඔයා යන එන තැන් හොයන්නෙ නෑනේ ජානා.
මතක තියාගන්න මම ඉන්නේ ඔයාගේ ගෙදර නෙවෙයි ඔයා ඉන්නෙ මගේ ගෙදර.
මගේ හිතට එකපාරටම දැනුණේ වේදනාත්මක හිරිවැටීමක්. මම කාමරයට නොගිහින් ජානා ළඟට ගියා.
මට පුංචි කාලයක් දෙන්න.. මම ඉක්මනට තැනක් හොයාගන්නම්.
මම ඔයාට ගෙදරින් යන්න කියන එක නෙවෙයි කීවේ දුල්යානා... මම කීවේ අපි එක ගෙදරක ජීවත් වෙනකොට ඉන්න ඕන විදිහක් තියෙනවා.
මම හුඟක් නිදහසේ ඉන්න කැමති කෙනෙක්.
ඒ නිදහස පල්ලියේත් තිබුණද?
නිදහසක් නොතිබුණත් එතන මට මගේම තැනක් වුණා.
අර මැරිච්ච රෝස්ගේ අවතාරේ නිතරම පල්ලියේ සොහොන් බිමේදී හම්බවුණ නිසා වෙන්න ඇති....
මැරිච්ච මිනිස්සුන්ට බණින්න එපා.... ඒ අයගේ අසරණකමට අනුකම්පා කරන්න.
මැරිච්ච මිනිස්සුන්ට නෙවෙයි මම බණින්නේ, මරණය හොයාගෙන ගිය මිනිස්සුන්ට.
රෝස් විතරක් නෙවෙයි ජානා මේ මුළු ලෝකෙම අසාධාරණයි... කොච්චර ආදරේ කළත් අන්තිමේදී කවුරුත් කාටවත් ආදරේ කරලා නෑ.
ඔච්චර කලකිරීමෙන් කතා කරන්න ඔයා කවුද හම්බවෙලා ආවේ.
මට හැමදේම කියන්න හිටපු එකම එක්කෙනා....
කියපන් කව්ද?
ආදේශ්....
මොන පිස්සුවකටද දාලා ගිය උන්ව ආයෙත් හොයාගෙන ගියේ.
දාලා ගියත් ළඟ වෙන කෙනෙක් නැති හින්දා.
මොනවා ඉල්ලන්නද ආයෙත් ගියේ?
මට මෙහෙන් යන්න ඕන ජානා.
කොහේ යන්නද?
වෙනස්ම රටක වෙනස්ම මිනිස්සු අතරට මට යන්න ඕන.
ආදේශ් ළඟ හිටියත් නැතත් උඹට කවදාවත් එයාගෙන් ඈත්වෙලා යන්න දෙන්නේ නෑ.
මම ගැඹුරෙන් හුස්මක් අරන් ඇය දෙස බැලුවා. ඇගේ දෙනෙත් මත රැඳී තිබුණු කලකිරීම් සහගත බව මට වඩාත් තදින් දැනෙන්න පටන් ගත්තා.
දුල්යානා ඔයා කැමතිනම් අපි දෙන්නම මෙහෙන් යමු.
ඒ කීවේ.....
මාත් එන්නම් ඔයා එන තැනකට.
ඔයා මොකටද එහෙම කරන්නේ? ඔයාට ඉන්න තැනක් වාහනයක් රස්සාවක් ඔක්කොම තියෙනවා... මට ඒ මුකුත්ම නෑ.... මට මගේ කියන්න කිසි කෙනෙක් කිසි දෙයක් නෑ.... මම ඒකයි යන්න හදන්නේ... මම යන්න හදන්නේ තේරුමක් ඇතුව.
මම යන්න හදන්නෙත් තේරුමක් ඇතුව... ඒත් ඒක මටම ඇරෙන්න වෙන කාටවත් තේරෙන්නෙත් නෑ.
ජානා උඹ මාව විහිළුවකට අරන්.
විහිළුවක් නෙවෙයි මම අවුරුදු ගාණක් රස්සාව කළා. මේ ගෙදර තනියෙන් ජීවත් වුණා. බොන්න හිතුණොත් බීවා. කන්න හිතුණොත් කෑවා. හැමදේම තනියෙන්. මටත් දැන් හිතෙනවා මොකක්ද මේ ජීවිතේ කියලා. මටත් උඹට වගේම වෙනස් වෙන්න ඕන. හැමදේම වෙනස් කරගන්න ඕන. ජීවිතේ ගැන දැනෙන මේ කලකිරීමෙන් ඈතකටම යන්න ඕන.
මම ජානා දිහා බලාගෙන හිටියේ මහා පුදුමයකින් වගේ....
ඔයා ඔය ඇත්තමද කියන්නේ ජානා.
ඔව්...
මට වෙලාවකට හිතෙනවා පල්ලියකට ගිහින් සිස්ටර් කෙනෙක් වෙන්න.
මොකක්...?
ඔව්.
උඹ පල්ලියේ ජීවිතයට කොච්චර සමච්චල් කළාද? උඹ මට කොච්චර බැන්නද? හිනාවුණද? දැන් මේ මොනවද කියන්නේ? දෙවියන් වහන්සේ විශ්වාස නොකරන උඹ කොහොමද සිස්ටර් කෙනෙක් වෙන්නේ.
ජීවිතේ එක කාලෙකදී අපි වෙනස් වෙනවා.... මම දන්නේ නැහැ අපිව වෙනස් කරන්නේ කව්ද? අපි වෙනස් වෙන්නේ කොහොමද කියලා... ඒත් අපි වෙනස් වෙනවා... මට නිදහසට වඩා සැනසීම වටිනවා කියලා දැන් හිතෙනවා.