2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

දැහැන

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 40

දන්න කියන පුංචි පැටියෙක්ට  අකුරු කියවන නැකතක් ළඟ ළඟම එනවා කියන එක දැනගත්තම මට හරි ආදරයක් දැනුණා. ඒ පුංචි කොලු පැටියා ඉපදුණ ගමන්ම වගේ මම ගියා බලන්න. නිල්පාටට ඇස් කරකව කරකවා එදා ඇඳේ හිටපු පුංචි පැටියව මම වඩා ගත්තා. කිරි සුවඳයි. දැන් ඒ පුංචා දඟ මල්ලක්. ජීවිතේ දවස් ඉක්මනින් ගෙවිලා යනවා. පුංචෝ ලොකු වෙද්දී අපි වසන්තයෙන් නික්මෙන දවස් ළඟ ළඟම එනවා. ඒ සමහර දවස් හරි සීතලයි. තවත් සමහර දවස් හරිම උණුසුම්. ජීවිතෙත් හරියට කාලගුණය වගේ කියලා හිතෙනවා. ගඟක් වගේ ගලායන්නේ කුණාටුවක් මැද්දෙන්.

පුංචි දරුවෙකුට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අකුරු කියවන්නේ කොච්චර බලාපොරොත්තුවකින්ද? අ යන්න කියවන්න නැකතක් හදවගන්නෙ දාහක් බලාපොරොත්තු හිතේ තියාගෙන. හීන කන්දරාවක් දරුවන්ගේ හදවතේ තියලා අම්මා තාත්තා බලාගෙන ඉන්නවා දරුවන් ඒ හීන එකින් එක ළඟට ඉගිල්ලිලා යනකම්. නැතිබැරිකම් දුප්පත්කම් දරාගෙන දරුවන්ට සුව සදන්න මං හොයනවා... කවර අරුමයක්ද? කුමන දිරියක්ද? මොන ශක්තියක්ද? කියලා වෙලාවකට හිතෙනවා... අඬන්නෙත් හිනාවෙන්නෙත් දරුවන් වෙනුවෙන්. ඒ වගේම දරුවන්ව වීසි කරන අහකට දාන මරවන අම්මලා තාත්තලා දැක්කම හිතෙනවා කොහොමද එහෙම කරන්නේ කියලා. ඒත් ආදරය සහ අනාදරය අතරේ දරුවන්ගේ ජීවිත ගලාගෙන යන්නේ ඒ සැලකීම් සහ නොසැලකීම් අතරේ. ඒක තමා ඇත්ත.

ගුරු ගීතයේ අැඳුරන් අපිට ඇත්ත ජීවිතයේදී හමුවෙන්නේ හුඟක් කලාතුරකින්. නගරයේ දරුවන්ටත් වඩා ඈත හද්ද පිටිසර ගම්වල දරුවන් දුක් විඳිනවා ජීවිතේ අඳුර මත පහනක් දල්වන්න අකුරක් ඇහිඳගන්න. අම්මගේ තාත්තාගේ කුඹුරු වැඩවලට උදව් කරලා එළවළු ටික කඩාගන්න උදව් කරලා රූට තාත්තත් එක්ක පැල් රැකලා උදේට ඉස්කෝලේ යන දරුවන් ඉන්නවා. හැතැප්ම ගාණක් ඉස්කෝලෙට පයින් යන දරුවන් ඉන්නවා. උදේ පාන්දර පහට විතර ඉස්කෝලේ යන්න ඒ දරුවන් පයින් යන්නේ බස් ගාස්තුව ඉතුරු කරගන්න. තේ වතු යායවල් මැද්දෙන් යද්දී සුදු ගවුම අන්තිමේදී තෙත රෙද්දක් වෙලා. ඒක වේලාගන්න ඉස්කෝලෙට ගිහින් අව්වේ හිටගෙන ඉන්නවා. සපත්තු ඉක්මනට කැඩුණොත් ගන්න විදිහක් නැති නිසා සපත්තු දෙක ඉස්කෝලෙට යනකම් අතින් අරන් යන දරුවෝ ඉන්නවා. ගඩා ගෙඩියක් කාලා ටැප් වතුර ටිකක් බීලා බඩගින්න යන්තම් පිරිමහගන්න දරුවෝ ඉන්නවා. ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලත් අම්මා තාත්තත් එක්ක කුලී වැඩ කරන්න යන දරුවෝ ඉන්නවා. මේ හැම දුකක්ම විඳගෙන ඉගෙනීමෙන් ජීවිතය දිනන්න වෙර වීරිය ගන්න දරුවෝ ඉන්නවා.

දුප්පත්කමට අසරණකමට සිහින සින්න නොකරන දරුවන් ඉන්නවා. අවසානයේ ඔවුන්ට ඔටුනු හොයාගෙන යන්න වෙන්නෙත් ඛේදවාචකයක් වෙච්ච සමාජයක් ඔස්සේ. ඒ ගමන හරි දුෂ්කරයි. දිනන උන් වගේම පරදින උනුත් ඉන්නවා. පරදින උන් සීයක් මැද්දේ දිනන එකෙක් වෙන්න උත්සාහ කරන්න. මම හැමදාමත් කියනවා වගේ කටු අත්තක වුණත් මල් පුබුදන්න පුළුවන්.

I Sanju