මම ජානා දිහා බලාගෙන හිටියෙ පුදුමයෙන් වගේ. ඒත් ඇගේ දෑස් මත අලුත් බලාපොරොත්තුවක් දිලිසෙමින් තිබුණා. ඔයා වගේ කෙනෙකුට කවදාවත් සිස්ටර් කෙනෙක් වෙන්න බෑ ජානා... පල්ලියේ ජීවිතය කියන්නේ නීතිවලින් බැඳිච්ච ජීවිතයක්. ලෙහෙසියෙන් කෙනෙක්ට ඒ ජීවිතේට හුරු වෙන්න බෑ.....
ජීවිතේ අත්දැකීම් එක්ක අපිට පුළුවන් වෙනස් වෙන්න....
ඒත් ජීවිත කාලයක් අපි පුරුදු වෙච්ච දේවල් වලින් අපිට එකපාරටම වෙනස් වෙන්න බෑ ජානා.
ඔයා ඔච්චර සම්ප්‍රදායික විදිහට හිතන්න එපා.... අපි වෙනස් විදිහකට හිතන්න බලමු.
වෙනස් විදිහට හිතන දේවල් වෙනස් විදිහට කරන්නයි අමාරු....
දුල්යානා අපි යමුද පල්ලියට....
උඹම නේද මට කීවෙ ආය කවදාවත් පල්ලියට යන්න එපා කියලා.... අනිත් එක සිස්ටර් සේරා මට පල්ලියට එන්න එපා කියලා තියෙන්නේ.
සිස්ටර් සේරට මොකක්ද තියෙන අයිතිය එහෙම කියන්න... ඔයා පුංචි දවස්වල ඉඳන් පල්ලියේ හැදුන ළමයෙක්.
ඒත් අපිට හැමදාම පල්ලියේ ඉන්න අයිතියක් නෑ....
ඔයා එතන රස්සාවකුත් කළා....
ඒත් සිස්ටර් සේරා හිතන විදිහට මම එයාට ලොකු වැරැද්දක් කළා.... මම හිතුවක්කාර වැඩ කළා.... අනිත් එක සිස්ටර් සේරා මට අංජලී ගැන ඇත්ත හැංගුවා.. අංජලී නැති වුණා කියලා සිස්ටර් සේරා කියන්නේ බොරුවක්... මම දන්නෙ නෑ සිස්ටර් සේරා අංජලීට මොකද කළේ කියලා.. පව් කාත් කවුරුත් නැති අසරණී.. අදටත් මගේ හිත විඳවනවා මම ඒකිට අසාධාරණයක් කළා කියලා... මට දැනගන්න ඕන අංජලීට වුණේ මොකක්ද කියලා විතරයි... ඒ කෙල්ල හැමෝගෙන්ම හුදෙකලා වෙච්ච අසරණියක්..... මම මුලින් හිතාගෙන හිටියේ අංජලී මගේ ළඟට ගන්න.... ඒත් සිස්ටර් සේරා ඒකට කැමති වුණේ නෑ...
කාගෙවත් දරුවෙක් තමන්ගේ කරගන්න හදන්න එපා දුල්යානා... සමහරවිට ඒ දරුවම කවදා හරි තමන්ගේ අයිතිය හොයාගෙන යනවා...
ගෑනියෙකුට බිරිඳක් වෙන්න නැති වුණත් අම්මා කෙනෙක් වෙන්න අයිතියක් තියෙනවා... අයිතියක් කියන්න නැති පිරිමියෙක්ගෙන් හරි දරුවෙක් ලබාගන්න ඕනැම ගෑනියක් ආසයි... මම මගේ ජීවිතයට එකතු කරගත්තේ හොඳ පිරිමියෙක්... ඒත් වැරදි පිරිමියෙක්....
හරි පිරිමි වැරදි පිරිමි කියලා හොයන්න බෑ.. කොච්චර හරියි කියලා හිතන එකා වුණත් වැරදි වෙන්න පුළුවන්... වැරදියි කියලා හිතන එකා වෙලාවකට හරි වෙන්න පුළුවන්.. ජාතක වුණත් අවජාතක වුණත් දරුවා දරුවමයි....
අපි දැන් ඕවා කතා කරලා වැඩක් නෑ... මම දැන් වෙන දෙයක් පිළිගන්න හිත හදාගෙන ඉන්නේ.
මම මරණයවත් පරාජයක් විදිහට බාරගන්න අකමැති ගෑනියක් දුල්යානා.... මම පරාජය බාරගන්න කැමති නෑ..... මට හිතෙනවා මෙහෙම ගියොත් මම කවදාහරි පැරදෙනවා පැරදෙයි කියලා... එදාට මට හුඟක් අඬන්න වෙයි දුල්යානා කාත් කවුරැත් නැතුව මට තනියෙන් අඬන්න වෙයි... මට බෑ එහෙම අඬන්න. එදාට මට සිය දිවි නසාගන්න හිතෙයි... ඊට ඉස්සර මට මේ ජීවිතේ වෙනස් කරගන්න ඕන... අපි යමු දුල්යානා පල්ලියට... මට අද පල්ලියට යන්නම ඕන.
ඔයා යන්න, මම එදා පල්ලියෙන් ආවේ ආය කවදාවත් පල්ලියට යන්නෙ නෑ කියලා හිතාගෙන...
මං වෙනුවෙන් යමු.
මම කොහොමද ජානා මාව එලවලා දැම්ම තැනකට ආපහු යන්නේ.
එතකොට ඔයාට බෑ මාත් එක්ක එන්න...
වෙන ඕන තැනකට එන්නම් ඒත් මට ආයෙත් එතෙන්න යන්න බෑ.
උඹ ජීවිතේ ආදරේ කරපු හැමදෙනාම ඉන්නේ එතන.
ඒත් ඒ කවුරුත් දැන් මට අයිති නෑ.
අයිතියක් තිබුණත් නැතත් අපි ආදරේ කළ මිනිස්සු අපිට හැමදාම අයිතියි... ජීවත් වුණත් නැතත් ඒ මතක වුණත් අපිට අයිතියි.
කවදාවත් නැතුව මොනවද අද උඹ මේ අමුතු දේවල් කියවන්නේ.
ජානා අමුතු හිනාවක් එක්ක මගේ දිහා බැලුවා.