අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනපති බැරැක් ඔබාමා තමන්ගේ ධූරයෙන් සමුගන්නා විටත් ජනප්‍රියත්වයේ ඉහළින්ම හිටි ජනාධිපතිවරයෙක් විදිහට ප්‍රසිද්ධයි. ඔබාමාගේ බිරිය, මිෂෙල් ඔබාමා ඔහුගේ මේ ජනප්‍රියත්වයට ලොකු හේතුවක් වුණු බවත් කියැවෙනවා. කොහොම නමුත් ජනාධිපති ඔබාමා සමඟ බොහෝ දෙස් විදෙස් සංචාරවලට එකතු වුණු ඈ එහිදී පෙන්නුම් කළ සුහදශීලී හැසිරීම නිසාම බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත්තා.
මිෂෙල් ඔබාමා ධවල මන්දිරයේ ගත කළ කාලයේදී ඇගේ පෞද්ගලික ඡායාරූප ශිල්පිනිය වූ ඇමැන්ඩා ලුසිඩන්, මිෂෙල් ඔබාමාගෙන් ඇය දුටු සුන්දර හැසිරීම පින්තූර එකතුවක් ලෙස කෘතියකින් එළිදක්වලා තියෙනවා. ඇය මේ කෘතිය නම් කරලා තියෙන්නේ Chasing Light (ආලෝකය හඹායාම) නමිනුයි.
“ධවල මන්දිරයේ ගත කරපු කාලය මගේ ජීවිතයට ලොකු වෙනසක් ඇතිකළා. වෙලාවට සහ පිළිවෙළට වැඩ කරන්න, අරමුණු ඉලක්ක කරා යන්න මට එහිදී ලොකු හුරුවක් ලැබුණා. ඇගෙන් පෞද්ගලිකවත් මට ගොඩක් ගුරුහරුකම් ලැබුණා. විශේෂයෙන්ම අනවශ්‍ය බියකින් තොරව අභියෝග භාරගනිමින් ඉදිරියට යන්න මට පුරුදු කළේ ඇයයි” ඇමැන්ඩා තමා ධවල මන්දිරය තුළ ගෙවූ ජීවිතය සිහිකරන්නේ ඉතා සතුටෙන්.
මිෂෙල් ඔබාමා තරමක් උස කාන්තාවකි. ඇගේ උස අඩි හයකට ආසන්නය. එම උස නිසා තමා අපහසුතාවට පත්වූ අවස්ථා ද ඇමැන්ඩා සිහිකරන්නීය.
“ඇය ගොඩක් උසයි. නමුත් මගේ උස අඩි පහයි හතරයි. ඒ නිසා ඈ එක්ක මට ඇවිදින්න අමාරුයි. ඇය ඇවිදිද්දි මට දුවන්න සිද්ධ වුණා” ඇමැන්ඩා කියන්නේ හිනැහෙමින්.
මිෂෙල් ඔබාමා බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත්තේ ඇය තම සංචාරවලදී සාමාන්‍ය ජනතාව අතරට පවා පිවිස ඔවුන් හා මුහුවෙමින් කටයුතු කළ නිසාය. විශේෂයෙන්ම විදෙස් සංචාර අතරතුරදී සාමාන්‍ය ජනතාවගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණයටත් පාසල් ළමුන් මුණගැසීමටත් මිෂෙල් ඔබාමා පෙන්නුම් කළේ වැඩි කැමැත්තක්.
“ඕනම තැනකට ඔබින විදිහට අඳින්න පළඳින්න වගේම හැසිරෙන්නත් ඇයට පුදුමාකාර හැකියාවක් තිබුණා. ඒ හැම වෙලාවකදිම ඇය කටයුතු කළේ අව්‍යාජවයි. එයාගේ ඇත්ත හැඟීම් හැමවෙලාවෙදිම ප්‍රකාශ කළා. ඒ වගේම ජනාධිපති ආර්යාව ගොඩක් විනෝදයට බර කෙනෙක්”.
මිෂෙල් ඔබාමාගේ පින්තූර එකතුවට Chasing Light යන නම ඇය යොදා ඇත්තේත් ඒ අනුවයි. එනම් මිෂෙල් ඔබාමා සමාජයේ අනෙක් බොහෝ කාන්තාවන්ට ආදර්ශයක් කරගත හැකි චරිතයක් බව ඇමැන්ඩාගේ අදහසයි.
“අපි හැමෝම අප තුළ තිබෙන ආලෝකය සොයා යනවා. ඒ ආලෝකය එළියට ගන්න උත්සාහ කරනවා. අපට අනෙත් අයගේ ආලෝකයත් ඒ සඳහා උදව් වෙනවා. මිෂෙල් ඔබාමා කියන්නේ ඒ වගේ කෙනෙක්. ඇයට පුළුවන් වුණා මා තුළ සැඟවී තිබුණු ආලෝකය, ශක්තිය එළියට ගන්න. ඒ සිතුවිල්ල උඩයි මේ වගේ නමක් පොතට දැම්මෙ”.
ඇමැන්ඩා පොතක් ලෙස එළිදැක්වූ මේ පින්තූර එකතුවේ මින් පෙර අන් කිසිදු තැනක පළ නොවූ මිෂෙල් ඔබාමාගේ ඡායාරූප 150ක් පමණ අඩංගුයි. ඇය ධවල මන්දිරයේදී ජනාධිපති බැරැක් ඔබාමා සහ දියණියන් දෙදෙනා සමඟ ගත කළ අවස්ථාවන් වගේම අමෙරිකා එක්සත් ජනපදයේ විවිධ ප්‍රාන්ත පුරා කළ සංචාරවලදීත් විදෙස් සංචාරවලදීත් ගනු ලැබූ ඡායාරූප ගොන්නක් ඊට ඇතුළත්.
(ඩේලිමේල් ඇසුරෙන්)
► Text - Rajitha