සනිධප යනු මෙරට ප්‍රසංග වේදිකාවට නැවුම් පෙරළියක් ගෙන ආ සංගීත කණ්ඩායමකි. සංගීත් විජේසූරියගේ නායකත්වයෙන් පෙරට පැමිණි සනිධප කණ්ඩායමේ සුක්කානම අද භාරව ඇත්තේ ෂාන් ඩයස් වෙතය. සනිධප කණ්ඩායමට විදෙස් සංචාර බහුල මේ වකවානුවෙදී අප ෂාන් මුණගැසුණේ විදෙස් සංචාර හා බැඳුණු සනිධපලාගේ තොරතුරු විමසා බැලීමේ අදහසිනි.
සනිධප මේ දවස්වල රටේ නැහැ කියලා ආරංචියි...
ඔව් අපි ඔක්තෝබර් පළමුවැනිදායින් පටන් ගත්තු විදෙස් සංචාර කිහිපයක්ම මේ කාලය පුරාවටම යෙදිලා තියෙනවා. ඔක්තෝබර්, නොවැම්බර් මාසවලත් දෙසැම්බර් මුල් සතියේත් අපි ලංකාවෙ නැහැ.
කොයි කොයි රටවලටද යන්නෙ?
අපි පහුගියදා කොරියාවට ගියා. ඉන්පස්සෙ ඉතාලියෙත් නැවතත් නොවැම්බර්වල අයර්ලන්තයේත් ජපානයේත් ප්‍රංශයේත් දෙසැම්බරයේ ස්විස්ටර්ලන්තයේත් ඩුබායි සහ අබුඩාබිවලත් සංචාරය කරනවා. නැවත ලංකාවට එන්නෙ දෙසැම්බර් දහවැනිදායි.
අයර්ලන්තය ස්විස්ටර්ලන්තය කියන්නෙ අපේ සංගීත කණ්ඩායම් එච්චර යන එන රටවල් නෙමෙයි නේද?
අයර්ලන්තයට යන එක ඇත්තටම වෙනසක්. මම දන්න තරමින් අපි තමයි අයර්ලන්තයට සංගීත ප්‍රසංගයක් වෙනුවෙන් සංචාරය කරන පළමු ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායම.
ඒ රටවල් ගොඩක් ලාංකිකයෝ ඉන්න රටවලුත් නෙමේ. ඇයි ඒ රටවල් තෝරගත්තෙ?
ඇත්තටම ඒ රටවල් වල ඉන්න ලාංකිකයෝ පිරිස බොහොම සීමිතයි. ඒ අයගෙනුත් ගොඩක් අඩු පිරිසක් තමයි මේ විදිහට සංගීත ප්‍රසංගයකට එන්නෙ. ගණනින් කිව්වොත් උපරිම දෙසිය පනහක් තුන්සීයක් සහභාගි වේවි. හැබැයි වියදමත් එක්ක බැලුවම එයාලට කවදාවත් තනි ප්‍රසංගයක් විදිහට අපිව එයාලගෙ රටට ගෙන්වන්න අමාරුයි.
සනිධප ලංකාවෙ කරන ප්‍රසංගවලයි පිටරට කරන ප්‍රසංගවලයි වෙනසක් තියෙනවද?
ඔව් වෙනසක් තියෙනවා. අපි කවදාවත් පිටරට ප්‍රසංගයකට යද්දි කලින් ප්ලෑන් කරගෙන යන්නෙ නෑ. අපි ප්‍රසංගයේදී කොයි වගේ ඉදිරිපත් කිරීමක් ද කරන්නෙ කියන එක තීරණය කරන්නෙ වේදිකාව උඩට ගියාට පස්සෙයි. මෙතැනට ඇවිත් ඉන්නෙ කොයි වගේ රසික පිරිසක් ද කියලා අපි පොඩි අධ්‍යයනයක් කරලා තමයි වැඩ පටන්ගන්නෙ. ඉතාලියේ කොරියාවෙ අය ලංකාවෙ රසික පිරිසට සමානයි. නමුත් ප්‍රංශය, ස්විස්ටර්ලන්තය, ඔස්ට්‍රියාව, අයර්ලන්තය වගේ රටවල රසික පිරිස වෙනස් නිසා අපි ලංකාව කරන ප්‍රසංගවලට වඩා වෙනසක් එතැනදි තියෙනවා.
කොයි විදිහෙ වෙනස්කම් ද කිව්වොත්?
ඉතාලියෙදි අපි ලංකාවෙ වගේම කොට කලිසමක් ගහගෙන වුණත් දුවලා පැනලා වාදන කටයුතු කරනවා. නමුත් මම කලින් කියපු අනිත් යුරෝපා රටවල්වල ඉන්න ලාංකිකයන්ට අවශ්‍ය වෙනස් සංගීත රටාවන්. ඒ රටවල ඉන්න ගොඩක් අය අවුරුදු විස්සකින් තිහකින් ලංකාවට ආපු නැති අය. ඉතින් ලංකාවෙ අලුත් සින්දු එකක්වත් එයාලා දන්නෙ නෑ. හැත්තෑව අසූව දශකවල සින්දු තමයි එයාලට අවශ්‍ය. ඉතින් ඒ විදිහට වෙනස්වීම් තියෙනවා. අනික එයාලාට ඕන එළිමහන් ප්‍රසංග නෙමේ. බොහොම හොඳට සුවපහසුවට වාඩිවෙලා අහගෙන ඉන්න පුළුවන් ප්‍රසංග. එහෙමත් නැත්නම් රාත්‍රී භෝජනය ගන්න ගමන් අහගෙන ඉන්න පුළුවන් සංගීතයක්. ඉතින් අපි ඔවුන්ගේ රුචිකත්වය අනුව අවශ්‍ය දේ ලබාදෙනවා.
පිටරට ප්‍රසංග බලන්න ඒ රටවල ජීවත්වෙන ලාංකිකයෝ නොවන පිරිස් එන්නෙ නැද්ද?
බොහොම අඩුවෙන් තමා එහෙම පිරිස් එන්නෙ. ඒ ආවත් එන්නේ ප්‍රසංගයට එන කවුරුහරි ලංකාවෙ කෙනෙක් එක්කන් ආවොත් තමයි.
ලංකාවෙ ප්‍රසංගවල වගේ පිටරට ප්‍රසංගවල ප්‍රේක්ෂකයෝ ගෝරි දාගන්නෙ නැද්ද?
රණ්ඩු සරුවල් නැත්තෙත් නෑ. ඉතාලියේ වගේ රටවල්වලදි ඒ වගේ අවස්ථාවන් ඇතිවෙනවා. සමහර වෙලාවට ප්‍රසංගය පටන් අරන් පැය භාගයක් යද්දි ගෝරියක් නිසා ප්‍රසංගය නවත්තන්න සිද්ධ වුණු වෙලාවල් තියෙනවා. සංවිධායකයන්ටත් කෝටි ගාණක් පාඩුයි. සමහර රටවල් දැන් ලංකාවෙ ප්‍රසංගවලට ශාලා දෙන්නෙත් නැහැ. ඒ වගේ තත්ත්වයක් ඇතිවෙලා.
දැන් රටවල් කීයකට විතර ප්‍රසංග සඳහා ගිහින් තියෙනවද?
රටවල් විදිහට ගත්තොත් 30කට විතර ගිහින් තියෙනවා. හැබැයි සමහර රටවල්වලට දහ දොළොස් සැරයක් ගිය අවස්ථා තියෙනවා. ඉතින් විදේශ සංචාර විදිහට ගත්තොත් සීයක් විතර ගිහින් තියෙනවා.
පිටරට ගිය අවස්ථාවල සිද්ධ වෙච්ච අමතක නොවෙන දේවල් එහෙමත් ඇති?
ඔව් එහෙම අවස්ථා නම් ගොඩක් තියෙනවා. සමහර ඒවා ප්‍රසිද්ධියේ කියන්නත් බැරි ඒවා. එක අවස්ථාවක් තමයි අපි මැදපෙරදිග සංචාර ගිය වෙලාවට එක සනිධප සාමාජිකයෙක් ඉන්නවා, හොඳට අරාබි භාෂාව කතාකරන්න පුළුවන්. ඉතින් එයා කරන්නෙ තමන්ගෙ හෝටල් කාමරේ තියෙන ෆෝන් එකෙන් අනිත් අයට අරාබියෙන් කතා කරලා බයිට් කරනවා. ගොඩක් වෙලාවට ඒවට අපේ කට්ටිය අහුවෙනවා. තව කොරියාවෙ ගිය අවස්ථාවකදී මරු වැඩක් වුණා. අපිව ප්‍රසංගය තියෙන ශාලාවට එක්කගෙන ආවෙ වෑන් දෙකකින්. කොහොම හරි ප්‍රසංගය පටන් අරන් පළවෙනි සින්දුව වාදනය කරන්න හදද්දි තමයි අපි දැනගත්තෙ අපේ බේස් ගිටාරිස්ව හෝටලේ දාලා ඇවිත් කියලා. පස්සෙ ආපහු වාහනයක් යවලා එයාව ගෙන්නගත්තා. ඒ සිද්ධියෙන් පස්සෙ අපි කවදාවත් වාහන දෙක තුනක යන්නෙ නෑ.
► Text – Rajitha / Pic - Samantha