අපේ තරුණ කලා ශිල්පීන් පිරිසක් පහුගිය දවසක පිටරටකට ගියාලු කලා කටයුත්තකට. වැඩේ අතරතුර කාලය ගොඩාක් තිබුණු නිසා ඒ රටේ හැමතැනම ඇවිදින්න මේ සෙට් එක අමතක කළේ නැහැ.
ඔන්න ඒ රටේ අගනුවර තිබුණු ලොකුම සාප්පු සංකීර්ණයටත් මේගොල්ලො ගියා. ඒ රටේ මිනිස්සු අපේ කට්ටිය අඳුනන්නෙ නැති නිසා හරිම සැහැල්ලුවෙන් නිදහසේ තමයි කාලය ගත කරලා තියෙන්නෙ.
දැන් අර සුප්‍රසිද්ධ සාප්පු සංකීර්ණයට ගිය කට්ටිය සෙල්ෆියක් ගන්න තීරණය කළාලු. හොඳ තැනක් එහෙම බලලා සෙල්ෆි කීපයක් ගත්තලු එක එක්කෙනාගෙ ෆෝන්වලින්.
හැබැයි පුදුමෙ කියන්නෙ මේගොල්ලො සෙල්ෆි ගන්නවා බලන්න ඒ රටේ මිනිස්සු ගොඩදෙනෙක් ඇවිත් ඉන්නවලු.
මුන් අපිව අඳුරනවා වගේ බං අපේ එක්කෙනෙක් කිව්වලු.
ඒත් එක්කම ටිකක් වයසක පහේ මනුස්සයෙක් ඇවිත් එක්ස්කියුස් මී කියලා අපේ කලා ශිල්පියෙකුට යමක් කිව්වලු.
කට්ටිය මෙතනින් යමු. වෙන තැනකට ගිහින් සෙල්ෆි ගමු...
ඇයි මොකද්ද අවුල..
අපි වොෂ් රූම් එකට යන පාර අවහිර කරගෙන නෙ සෙල්ෆි අරන් තියෙන්නෙ. මේ කට්ටිය ඇවිත් ඉන්නෙ අපිව බලන්න නෙවෙයි.. වොෂ් රූම් යන්න...
මෑතකදි විවාහ දිවියට ඇතුළත් වූ ජනප්‍රිය නළුවෙක් චිත්‍රපටයක රෑ ගැන්වීමක් සඳහා මහනුවර පැත්තෙ වැඩ කරනවලු.
ඔන්න දැන් එයා මේකප් දාන ගමන් නෝනගෙන් ජංගම දුරකතනයට කෝල් එකක් ඇවිත්.
ගුඩ් මෝනිං... ඔහු කියනවා.
මමද? මම දැන් ඔන්චිල්ලාව පැදලා ඉවර වුණා විතරයි. ඊළඟට ලිස්සන බෝට්ටුවේ යනවා... ඊටපස්සෙ කතුරු ඔන්චිල්ලාව...
ඔහු එහෙම කිව්වම එකපාරටම ලයින් එක කට් වුණා. වේෂනිරූපණ ශිල්පියාට හිනාලු. ඒත් ඉතින් මුකුත් ඇහුවෙ නැහැ. නළුවාම හිනාවෙවී විස්තරේ කිව්වලු.
පැයෙන් පැයට කෝල් කර කර අහනවා මොනවද කරන්නෙ කියලා. දන්නවනෙ මම ඇවිත් ඉන්නෙ ෂූටිංවලට කියලා. ඉතින් ඇත්ත කිව්වමත් විස්තර ගොඩාක් කියන්න ඕනෙ. මෙහෙම උත්තර දීපු ගමන් ලයින් එක කට් කරනවා. නළුවා කිව්වලු.
කලා ලෝකෙ ජනප්‍රිය ශිල්පිනියකගෙ උපන් දිනය සමරන්න එයාගෙ ගෙදර පුංචි සාදයක් පැවැත්වුවලු ළඟම හිතවතුන්ට.
හවස්වෙලා එයාගෙ යාළුවො කීපදෙනෙක්ම පවුල් පිටින් පාටියට ආවලු.
කේක් බිස්කට් එහෙම කට්ටියට අල්ලද්දි එක ජනප්‍රිය ශිල්පියෙක් කියනවලු, අනේ බිස්කට් නම් එපා. බිස්කට් කෑවම මට වමනෙට එනවා, කියලා.
එහෙනම් අර සැර ඔසුපැන් නම් කොහොමටවත් මෙයාට දෙන්න එපා වමනෙට එනවනම්, තවත් යාළුවෙක් කිව්වලු.
නැහැ නැහැ.. ඒකට කිසිම අවුලක් වෙන්නෙ නෑ. බිස්කට්වලට විතරයි එහෙම වෙන්නෙ, අර ශිල්පියා කලබලෙන් කිව්වලු.
මේක කියද්දි අපිට එකපාරටම මතක් වුණේ අර කේක් නම් ෂෝක් ඒත් අරක්කු ඇයි පරක්කු? කතාව.
අපේ රටේ බලාගෙන ගියාම හැමදේකම කොලිටිය බාලවෙලා කියලා මිනිස්සු කියනවා අපි අනන්තවත් අහලා තියෙනවනෙ. අධ්‍යාපනයෙ ඉඳලා කලා නිර්මාණවලද, මිනිස්සුන්ගෙ ගතිගුණවලද, මේ හැමදේකම මොකක් හරි ලොකු අඩුවක් තියෙනවා කියලා අපිටත් තේරෙනවනෙ.
ඔය අපේ රටේ සම්මාන උළෙලවල් ගැන කතා කරන්න ගියත් ඔය ටිකම තමයි කියන්න වෙන්නෙ.
ළඟදි පවත්වපු ප්‍රධාන පෙළේ කලා සම්මාන උළෙලක සම්මානවලට නිර්දේශ වුණු ශිල්පීන්ටවත් ආරාධනා කරලා නැහැ. උළෙලෙන් පස්සෙ පත්තරවල නිර්දේශ නම් ගියාම තමයිලු ඒගොල්ලොත් දැනගෙන තියෙන්නෙ.
ඒ වගේම තමයි ජීවිතේට එක්වරක් පමණක් පිදෙන යාවජීව සම්මානයත් එක්තරා ප්‍රවීණ රංගන ශිල්පියෙකුට ලැබෙන බව පත්තරවලත් දාලා තිබුණා.
අනේ ඒත් ඒ සම්මාන උළෙලට මේ ප්‍රවීණයාට කියලත් නෑ, අන්තිමේදි සම්මානෙකුත් නැහැලු.
අපි පහුගිය සතියෙත් කතා කළානෙ දේශීය සිනමා කර්මාන්තයේ තිබෙන අර්බුද ගැන.
මේ අර්බුදකාරී තත්ත්වයෙන් අපේ සිනමාව ගොඩගන්න නම් මේ කර්මාන්තයට සම්බන්ධ හැමෝම අවංකව දායක වෙන්න ඕනෙ.
අපි පහුගිය සතියෙ කිව්වනෙ ඇතැම් පාර්ශ්ව විසින් සිංහල සිනමාව ජංගම දුරකතනයට ගෙන ඒමේ උත්සාහයක් ගැන.
මෙවැනි අවස්ථාවක ජාතික චිත්‍රපට සංස්ථාව ඉන්න ස්ථාවරය ගැන මුළු රටම බලන් ඉන්නවා. ඒත් ඉතින් අපේ සිනමාව ජංගම දුරකතනයට මුදාහැරීමේ මංගල මොහොතට ප්‍රධාන අමුත්තා හැටියට එන්නෙ ජාතික චිත්‍රපට සංස්ථාවෙ සභාපතිතුමන් නම්, ඒ ගැන ආයෙත් කතා කළ යුතුද?
අපේ රටේ සිනමාහල් වැඩි කරලා ප්‍රේක්ෂකයන් සිනමාහල් කරා ඇදගැනීමයි සිනමාව ගොඩනගන්න මූලික පියවර විය යුත්තෙ.
ඒත් අලුත් සිනමාහල් හදන, අපේ සිනමාව ගැන කැක්කුමක් තියෙන අයට ජාතික චිත්‍රපට සංස්ථාවෙන් දාන හරස් පොලු ටික දැක්කම පුදුමත් හිතෙනවා. ඒ ගැන විස්තර ලබන සතියට ඉතිරි කරමු.
► Text - Mithra