අඹු සැමි ප්‍රේමයේ බලාපොරොත්තුව වන්නේ තරුණ වියේ පටන් එකිනෙකා සමඟ ගෙවූ ජීවිතය, ජීවිතයේ අවසාන සමය දක්වාම එකට ගෙවා දමමින් එකිනෙකාගේ සුවදුක් බෙදාගනිමින් ජීවත් වීමය. එහෙත් බොහෝ ප්‍රේමවන්තයින්ට තම ‘growing old together’ සිහිනය හරිහැටි හැබෑ කරගන්නට අවස්ථාව ලැබෙන්නේ නැත. ඒ දෙදෙනාගෙන් කවුරුන් හෝ අකාලයේ මියයාම නිසාය.
‘දෙදෙනා එකට වයස්ගත වීමේ පෙම්වත් සිහිනය හැබෑ කරගත් නමුත් එම සිහිනයේ තවදුරටත් රැඳෙනු කැමැත්තෙන් පසුවන යුවළක් ගැන මේ තොරතුරු වාර්තා වනුයේ අමෙරිකා එක්සත් ජනපදයේ යුටා ප්‍රදේශයෙනි.
හැත්තෑ හතර හැවිරිදි වියේ පසුවන වේන් වින්ටර්ස්ගේ ආදරණීය බිරිඳ ඩීනන් දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන්නීය. පස්වැනි ආසාදන මට්ටමේ පවතින ඇගේ වකුගඩු ආබාධය නිසා ඇයට හැකි ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළ යුතුය යන්න වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී තිබේ. අවුරුදු විසි හයක් පුරා තමන් හා රැඳී සිටි තම ආදරිය තවදුරටත් රැකගැනීම උදෙසා වින්ටර්ස් අපූරු උපායක් යෙදුවේය. ඒ තම බිරිය වෙනුවෙන් වකුගඩුවක් ඉල්ලා පාරට බැසීමය. ඔහු පාරට බැස්සේ තම අවශ්‍යතාව සඳහන් කළ විශාල පුවරුවක් ද බෙල්ලේ එල්ලා ගනිමිනි.
‘මගේ බිරිඳට A නෙගටිව් වකුගඩුවක් ඕනෑ’ එම පුවරුවේ ඉදිරිපස විශාල අකුරින් ලියා තිබිණි. දැන් දින කිහිපයක් තිස්සේ යුටාහි ෆාර් වෙස්ට් නගරයේ වීථිවලට මෙම දැවැන්ත පුවරුව ගෙලෙහි එල්ලාගත් වයස්ගත මිනිසාගේ දර්ශනය ඉතා හුරුපුරුදු දසුනක් වී තිබේ. සවස 3ත් 6ත් අතර නගරයේ වීදි කාර්යබහුල වන වේලාවට නගර මධ්‍යයේ සිට වීදි දිගේ ඉහළට පහළට ගමන් කරන මේ සොඳුරු ආදරවන්තයාගේ එකම අරමුණ තම බිරිය තවදුරටත් ජීවත් කරවීමය. පුවරුවක් එල්ලාගත් මේ අරැම පුදුම මිනිසා දකින බොහෝ දෙනා සංවේදී වන අතරම ඔහු වෙනුවෙන් අස්වැසුම් බස් දොඩන්නට පුරුදු වී සිටිති.
‘මගේ බිරිඳ දැනට ජීවත් වෙන්නේ යන්ත්‍රයක ආධාරයෙන්. එයා ඒ විදිහට ජීවත්වෙනවා දකින එක මට දරාගන්න බැහැ. පුළුවන් ඉක්මණින් එයාව සාමාන්‍ය තත්ත්වයට ගේන්න ඕනෙ. ඒ වෙනුවෙන් තමයි මම හැමදේම කරන්නෙ’ වින්ටර්ස් පවසයි.
මෙවැනි දැවැන්ත පුවරුවක් හරහා සමාජය දැනුම්වත් කිරීමේ අදහස ඔහුට පහළ වී ඇත්තේ වරක් රූපවාහිනියෙන් එවැනි විශාල පුවරුවක් එල්ලාගෙන වීදි දිගේ යන මිනිසෙකු දැකීම තුළිනි. මෙසේ ෆාර් වෙස්ට් නගරයේ වීදි දිගේ දිනක් ඇවිද යනවිට ඔහුට වකුගඩුවක් දන් දීමට කැමැති අයෙකු හමුවුණද පසුව බලන විට ඔහුගේ ලේ වර්ගය නොගැලපුණු නිසා තවදුරටත් තම සෙවීම කරගෙන යන්නට වින්ටර්ස්ට සිදුව තිබේ.
‘එයාට ගැලපෙන විදිහේ වකුගඩුවක් ලැබේවි කියලා මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. එතකල් මම මේ ගමන යනවා’ ඔහු කියන්නේ දැඩි අදිටනෙනි.
ඇතැම්විට මේ වනවිටත් ඔහුගේ බලාපොරොත්තුව සඵල වී තිබීමට ඉඩ ඇත. එසේ නොවී නම් ඉක්මණින්ම එය එසේම වේවා යන්න අපගේ ද පැතුමයි!
(ඩේලිමේල් ඇසුරිණි)
►Text - Rajitha